10. දෙවන පලාසි ජාතකය (230)
ධජමං පරිමිතං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් පලාගිය පිරිවැජියෙකු අරබයා වදාළ සේක. මේ කථා වස්තුවෙහි ඒ පිරිවැජියා දෙව්රමට පිවිසියේය. ඒ අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ මහජනයා විසින් පිරිවරන ලද්දාහු සරසන ලද ධර්මාසනයෙහි වැඩසිටිමින් සිරියල් තලාවක සිංහනාද කරන සිංහ පොව්වෙකු මෙන් ධර්මදේශනා කරන සේක. පරිබ්රාජකයා දසබලධාරීන් වහන්සේගේ බ්රහ්මයෙකුගේ ශරීරයට සමාන වූ රූපශ්රීයක්ද, පුන්සඳ මඬලේ සෝභාවෙන් යුත් මුහුණද, රන් පටක් හා සමාන වූ නළල්තලයද දැක කවරෙක් මෙබඳු උත්තම පුරුෂයෙකු දිනන්නට සමත් වන්නේදැයි නැවතී පිරිස අතරට පිවිස පලා ගියේය. මහජනයා ඔහු ලුහුබැඳ නවත්වා බුදුරජාණන් වහන්සේට ඒ සිද්ධිය සැලකළහ. බුදුරජාණන් වහන්සේ ඒ පිරිවැජියා දැන් පමණක් නොව පෙරත් මගේ රන්වන් මුහුණ දැක පලා ගියේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.**
යටගිය දවස බෝසතාණන් වහන්සේ බරණැස් නුවර රාජ්යය කරවීය. තක්සලා නුවර එක් ගන්ධාර රටවැසි රජ කෙනෙක් විය. ඔහු බරණැස් රාජ්යය ගන්නෙමියි සිව්රඟ සෙනඟ පිරිවරා අවුත්, නුවර වටකොට, නුවර දොරටුව ළඟ සිටියේ තමන්ගේ බල වාහන බලා, මෙතෙක් බල වාහන (පරදවා) දිනන්නට කවරෙකු හට හැකිවන්නේදැයි තමන්ගේ සේනාව වර්ණනා කොට
ධජමපරිමිතං අනන්තපාරං, දුප්පසහං ධංකෙහි සගාරමිව,
ගිරිමිව අභිලෙන දුප්පනසහො, දුප්පසහො අහමජ්ජ තාදිසෙන
ගිරිමිව අභිලෙන දුප්පනසහො, දුප්පසහො අහමජ්ජ තාදිසෙන
යන පළමු ගාථාව කීයේය.
“රථවල නගන ලද ධ්වජ අපමණය. මාගේ සේනාව කෙළවරක් නැත්තේය. මහමුහුද ඉක්මවා යාමට අසමත් කපුටා මෙන් සතුරන් විසින් මැඩලිය නොහැක්කේය. පර්වත සෙලවීමට අසමත් සුළඟ මෙන් මාගේ සේනාව තා විසිනුත් විනාශ කළ නොහැක්කේය. මම අද ඔබ වැනි අය විසින් මැඩලිය නොහැක්කෙම් වෙමි.”
එහි ධජමපරිමිතං යනු පළමුකොට මගේ රථවල ඇති මොණර පාදයෙහි (මොණකර පාදයට සමාන අයුරින් සකස්කළ කොටසෙහි) තබා ඔසවන ලද මේ කොඩි අප්රමාණය, බොහෝය. සිය ගණනක් ඇත. අනන්තපාරං යනු මගේ බලවාහන ද මෙපමණ ඇතුන්ය. මෙපමණ අසුන්ය යනුවෙන් ගණනෙහි සීමාවක් නැත. අනන්තය. දුප්පසහං යනු සතුරන් විසින් ඉවසන්නට මැඩපවත්වන්නට නොහැකිය. කෙසේද? ධංකෙහි සාගරමිව යනු බොහෝ කපුටන් විසින් මුහුදේ වේගය යටපත් කිරීම් වශයෙන් හෝ මුහුදෙන් එතෙරට යෑමෙන් හෝ මැඩපවත්වන්නට අපහසුය. මෙසේ “දුප්පසහං” නම් වෙයි. ගිරිමිව අගිලෙන දුප්පසභො යනු වාතයෙන් සෙළවිය නොහැකි හෙයින් පර්වතයක් යම්සේ මැඩලිය නොහැකිද, එසේම මගේ මේ බලකාය අනිත් බලකායකින් මැඩලිය නොහැකිය. දුප්පසහො අපමජ්ජ තාදිසෙන යනු මේ බලයෙන් යුක්ත වූ ඒ මම අද ඔබවැන්නකු විසින් මැඩලිය නොහැකිය. අට්ටාලයෙහි සිටි බෝසතුන් වෙනුවෙන් කියයි.
ඉක්බිති ඔහු (බරණැස් රජු) පුන්සඳමඬල මෙන් සශ්රීක වූ තමන්ගේ මුහුණ පෙන්නා බාලය! නන් දොඩවන්න එපා. දැන් ඔබගේ බලසෙනඟ හා වාහනද මත්වූ උතුම් ඇතෙකු බටවනයක් පොඩි කරන්නාක් මෙන් විනාශ කරන්නෙමියි තැති ගන්වා
මාබාලියං විප්පලපි නහිස්ස තාදිසං, විලය්හසෙ නහි ලභසෙ නිසෙධකං,
ආසජ්ජසි ගජමිව එකචාරිනං, යො තං පදා නළමිව පොථයිස්සති
ආසජ්ජසි ගජමිව එකචාරිනං, යො තං පදා නළමිව පොථයිස්සති
යන දෙවන ගාථාව කීවේය.
“නුඹේ මෝඩකම් ප්රකාශ නොකරන්න. නුඹ වැනි පුරුෂයෝ රාජ්යය ගැන්මෙහි සමර්ථයෝ නොවෙත්. හුදෙක් ක්ලේශ දාහයෙන් දවනු ලැබෙහි, මා වලකන්නට නුසුදුස්සෙහිය. තනිව හැසිරෙන ඇත් රජකු සමීපයට මෙන් එන්නෙහිය. පාදයෙන් පොඩිකළ උණ වනයක් මෙන් හෙතෙම තා මැඩ සුණු විසුණු කෙරේ.”
එහි මා බාලියං විප්පලපි යනු තමාගේ බාල බව (මෝඩකම) නොකියන්න. න හිස්ස තාදිසං යනු එබඳු කෙනෙක් නො වන්නේය. මෙයම හෝ පාඨය වෙයි. මගේ බලවාහනං අනන්තයයි මෙලෙස තර්ක කරමින් රාජ්යය ගන්නට සමත් වූ එබඳු කෙනෙක් නම් නොවන්නේය. නැත යන අර්ථයයි. විළය්හසෙ යනු ඔබ වනාහි තනිකරම රාග දෝස මෝහ මාන යන කෙලෙස් දාහයෙන් දවනු ලබන්නෙහිමය. නහි ලභසෙ නිසෙධකං යනු මා වැන්නෙකු මැඩපවත්වා අභිභවනය කොට වළක්වන්නට පළමුකොට නොලබහි. අද ඔබ මා මගින්ම පලා යවන්නෙමි. ආසජ්ජසි යනු සමීපයට එන්නෙහිය. ගජමිව එකචාරිනං යනු තනිව හැසිරෙන, මදයෙන් යුක්ත වූ උතුම් ඇතෙකු මෙන්. යො තං පදා නළමිව පොථයිස්සසි යනු මදයෙන් යුක්ත (මත් වූ) යම් ඇතෙක් යම්සේ පාදයෙන් උණගස් පොඩිකර දමයිද, හොඳින් කුඩුකර දමයිද එසේ ඒ ගන්ධාර රජ පෙළන්නේය. ඔබ (ගන්ධාර රජ) ඔහු (බරණැස් රජ) ළඟට එන්නෙහි යයි තමා සඳහා කීහ.
මෙසේ තර්ජනය කරන්නා වූ මොහුගේ කථාව අසා ගන්ධාර දේශයේ රජතුමා බලන්නේ රන්පටක් හා සමාන වූ මහ නළල දැක තමන්ගේ ගන්නා ලද්දා වූ බිය ඇත්තේ නැවතී පළායන්නේ සිය නගරයටම ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල ගන්ධාර රජ පලාගිය පිරිවැජියා විය. බරණැස් රජ වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
අටවැනි කාසාව වර්ගය නිමියේය.
9. උපාහන වර්ගය
1. උපාහන ජාතකය (231)
යථාපි කීනා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. දම්සභාවෙහි භික්ෂූන් වහන්සේලා ඇවැත්නි! දෙව්දත් තෙර ගුරුවරයා ප්රතික්ෂේප කොට තථාගතයන් වහන්සේට විරුද්ධ වී සතුරු වී මහත් විනාශයට පැමිණියේයයි කථාවක් ඉපදවූහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! දෙව්දත්, ගුරුවරයා ප්රතික්ෂේප කොට මට විරුද්ධ වී මහා විනාශයකට පත්වූයේ දැන් පමණක් නොවෙයි. පෙරත් විනාශයට පත්වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.