8. කාමනීත ජාතකය (228)
තයො ගිරිං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් ‘කාමනීත’ නම් බමුණා අරබයා වදාළ සේක. වර්තමාන කථා වස්තුවත් අතීත කථා වස්තුවත් දොළොස්වන නිපාතයෙහි කාම ජාතකයෙහි මතු සඳහන් වන්නේය. ඒ රාජපුත්රයන් දෙදෙනා අතුරෙන් වැඩිමහලු පුතා අවුත් බරණැස් නුවර රජවිය. කණිටු පුත්රයා යුවරජ විය. ඔවුන් අතුරෙන් රජතුමා වස්තුකාම ක්ලේශ කාමයන්හි තෘප්තියට පත් නොවූයේ ධනයට ලොල් විය. එකල්හි බෝසතාණන් වහන්සේ සක්දෙව් රජවී දඹදිව දෙස බලන්නේ ඒ රජතුමා දෙපරිදි වූ කාමයන්හිම අතෘප්තිමත් බව දැන, මේ රජුට නිග්රහ කොට ලජ්ජාවට පමුණුවන්නෙමියි බමුණු මානව වේශයෙන් අවුත් රජතුමා බැහැදුටුවේය. රජතුමාද මානවය! කුමක් සඳහා ආවේදැයි කී කල්හි මහරජතුමනි! මම ආරක්ෂා සහිත වූ ආහාර සුලබ වූ බොහෝ ඇත්, අස්, රිය, පාබල සේනා ඇති රන්, රුවන් අලංකාරයෙන් පිරුණු නගර තුනක් දුටුවෙමි. සුළු බලයකින් ඒ නගර අල්ලාගත හැකිය. ඒවා ලබාදීම සඳහා මම පැමිණියෙමියි කීය. කවදා යමුද? මානවකයයි කී කල්හි, මහරජතුමනි! හෙට යමුයි කීය. එසේනම් යව. උදෙන්ම එන්නැයි කීවේය. යහපත මහරජතුමනි! වහා බලසෙනඟ සූදානම් කරවයි කියා ශක්රයා සිය භවනටම ගියේය.
රජතුමා දෙවන දවසේ බෙර හසුරුවා බලසෙනඟ රැස්කරවා ඇමතියන් කැඳවා, ඊයේ එක් බමුණු තරුණයෙක් උතුරු පඤ්චාල නුවර, ඉඳිපත් නුවර, කෙකය යන මේ නගර තුනෙහි රාජ්යය ගෙන දෙන්නෙමියි කීවේය. ඒ තරුණයා සමග ගොස් නගර තුනෙහි රාජ්යය ගන්නෙමු. වහාම ඔහුව කැඳවන්නයි කීවේය. දේවයන් වහන්ස! ඔහුට කොතැනක නිවසක් දෙවන ලද්දේදැයි ඇසූහ. මවිසින් ඔහුට වාසයට ගෙයක් නොදෙවන ලදි. ආහාර සඳහා වියදම් දුන්නේද එයද නොදෙන ලදි. එසේනම් ඔහුව කොතැනක සිටීදැයි සොයන්නෙමුදැයි ඇසූහ. නුවර වීථිවල බලවයි කීවේය. ඔවුහු සොයමින් නොදැක, නුදුටුවෙමු මහරජතුමනියි කීහ. ඔහු නොදකින රජතුමාට මෙසේ මහත් සම්පත්තියකින් පිරිහුණෙමියි මහත් ශෝකයක් උපන්නේය. හදවත උණුසුම් විය. හදවතෙහි ලේ කුපිත විය. ලේ අතීසාරය ඇතිවිය. වෛද්යවරු පිළියම් කිරීමට නොහැකි වූහ.
එයින් දින තුනහතරකට පසු සක්දෙවිඳු ආවර්ජනා කරමින් ඔහුගේ ඒ රෝගය දැන ඔහුට බෙහෙත් කරන්නෙමියි බමුණු වෙසින් අවුත් දොරටුවෙහි සිට වෛද්ය බමුණෙක් නුඹවහන්සේට බෙහෙත් කිරීමට ආවේයයි දැනුම් දෙවීය. රජතුමා ඒ අසා ලොකු ලොකු රාජ වෛද්යවරුන්ට පවා මට බෙහෙත් කළ නොහැකි වූහ. ඔහුට මගවියදම් දෙවා පිටත් කරවයි කීවේය. ශක්රයා ඒ අසා මට සංග්රහ හෝ මගවියදම්වලින් ප්රයෝජනයක් නැත. වෙදකමට ලැබෙන ලාභයවත් නොගන්නෙමි. ඔහුට පිළියම් කරන්නෙමි. රජතුමා මට පෙන්වනු මැනවැයි කීවේය. රජතුමා ඒ අසා එසේනම් එවයි කීවේය. ශක්රයා පිවිස ජයපතා එකත්පසෙක සිටියේය. රජතුමා, නුඹ මට බෙහෙත් කරන්නෙහිදැයි ඇසීය. එසේය දේවයන් වහන්සයි කීය. එසේනම් පිළියම් කරවයි කීය. යහපති මහරජතුමනි! ආබාධයේ ලක්ෂණ මට කියනු මැනව. කුමන කරුණක් නිසා රෝගය හටගත්තේද? කන ලද බොන ලද කුමකින් උපන්නේද? නැතිනම් දුටු දෙයකින් ඇසූ දෙයකින්දැයි ඇසීය. දරුව! මගේ රෝගය යම්කිසිවක් ඇසීමෙන් උපන්නකියි කීය. ඒ ඇසූ දෙය කුමක්දැයි ඇසීය. දරුව! එක් තරුණයෙක් අවුත් මට නගර තුනක රාජ්යයන් රැගෙන දෙන්නෙමියි කීවේය. මම ඔහුට නැවතීමට තැනක් හෝ කෑම වියදම් හෝ නොදෙව්වෙමි. ඒ නිසා ඔහු මා කෙරෙහි කිපී අන් රජ කෙනෙකු සමීපයට ගියේ වන්නේය. ඉක්බිති මම මෙසේ මහත් සම්පත්තියකින් පිරිහුනෙමියි සිතන මට මෙම රෝගය උපන්නේය. ඉදින් ඒ කාම සිතුවිල්ල නිසා උපන් මගේ රෝගයට පිළියම් කරන්නට හැකිවෙහි නම් කරවයි ඒ කාරණය ප්රකාශ කරමින්