7. ගුථපාණක ජාතකය (227)
සූරො සූරෙන සංගම්ම යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් එක්තරා භික්ෂුවක අරබයා වදාළ සේක. එකල ජේතවනාරාමයේ සිට ගව්වක් හා අඩ යොදුනක් (ගව් 3ක්) පමණ ඈතින් එක් නියම්ගමක් ඇත. එහි බොහෝ සලාක බත් (තැන්පත් ලැබුණු භික්ෂූන්ට දෙන දානය) ඇත. ප්රශ්න අසන එක්තරා කොට මිනිසෙක් වාසය කරයි. ඔහු සලාක බත පිළිගැනීමට හා පක්ඛික බත හෙවත් පක්ෂයකට අයත් (පක්ෂයකට මාස භාගයයි. දින 15 යි. එයින් 5, 8, 14, 15 යන දිනවලදී දෙන) බත පිළිගැනීමට වැඩම කළ නවක භික්ෂූන්ගෙන්ද සාමණේර හිමිවරුන්ගෙන්ද කවුරු (කැවිලි) කත්ද කවුරු බොත්ද කවුරු (බත් ආදිය) අනුභව කරත්ද යනුවෙන් ප්රශ්න අසා පිළිතුරු දීමට නොහැකි වූ අය ලජ්ජාවට පත් කළේය. ඒ භික්ෂු-සාමණේර හිමිවරු ඔහුට බියෙන් සලාක බත් හෝ පක්ඛිත බත් හෝ ලබාගැනීමට ඒ ගමනට නොයත්. ඉක්බිති එක් දිනක් එක් භික්ෂුවක් සලාක බෙදන තැනට ගොස් ස්වාමීනි! අසවල් ගමෙහි සලාක බත් හෝ පක්ඛිත බත් හෝ පක්ඛිත බත් හෝ ඇද්දැයි විමසා ඇවැත්නි! ඇත. එහෙත් එහි එක් කොර මිනිසෙක් ප්රශ්න අසයි. උත්තර දීමට නොහැකි වූ අයට අක්රොස කරයි. අපහාස කරයි. ඒ නිසා ඔහුට බියෙන් කිසිවෙකු එහි යන්නට නොහැකි වෙතියි කී කල්හි, ස්වාමීනි එහි බත මට පවරනු මැනවි. මම ඔහු සමනය කොට එතැන් පටන් ඔබවහන්සේලා දැක පලායන කෙනෙකු බවට පත්කරන්නෙමියි කීය. භික්ෂූහු යහපතැයි පිළිගෙන ඔහුට එහි සලාක බත පැවරූහ.
ඒ භික්ෂූන් වහන්සේ එහි වැඩමවා ගම් දොරටුවේදී (ගමට ඇතුල්වන තැනදී) සිවුරු පෙරවූ සේක. උන්වහන්සේ දැක ප්රශ්න අසන්නා නපුරු බැටළුවෙකු මෙන් වේගයෙන් ළඟට අවුත්, ශ්රමණයන් වහන්ස! මගේ ප්රශ්නයට පිළිතුරු දෙන්නැයි කීවේය. උපාසකයෙනි! ගමෙහි ඇවිද කැඳ බත් ලබාගෙන ආසන ශාලාවට එන තෙක් මට අවකාශ දෙන්නයි කීහ. ඔහු කැඳ ලබාගෙන ආසන ශාලාවට පැමිණි භික්ෂුවට එසේම කීවේය. ඒ භික්ෂූන් වහන්සේද ඔහුට මට කැඳ වළඳන තෙක් ඉඩ දෙන්න, ආසන ශාලාව අමදින තෙක් ඉඩ දෙන්න, සලාක බත ලබාගෙන එනතෙක් ඉඩ දෙන්නැයි කියා සලාක ගෙනවුත් ඔහු ලවාම පාත්රය ගෙන්වාගෙන, එව නුඹේ ප්රශ්නවලට උත්තර දෙන්නෙමියි ගමින් බැහැරට කැඳවාගෙන අවුත් සිවුර ඒකාංශ කරගෙන ඔහුගේ අතින් පාත්රය ගෙන සිටි සේක. එහිදීද ඔහු ඒ භික්ෂුවට ශ්රමණය! මගේ ප්රශ්නයට උත්තර කියන්නැයි කීවේය. ඉක්බිති ඔහුට ඔබේ ප්රශ්නයට පිළිතුරු කියන්නෙමියි එක් පහරින්ම බිම හෙලා ඇට පොඩිකරමින් තලා මුඛයෙහි අශූචි දමා මෙතැන් පටන් මේ ගමට වඩින කිසිම භික්ෂුවකගෙන් ප්රශ්න ඇසුවොත් (තට කරන දේ) දැන ගන්නෙමියි තර්ජනය කොට ගිය සේක. ඔහු එතැන් පටන් භික්ෂූන් දුටුවිටම පලා යයි. පසුකලෙක ඒ භික්ෂුවගේ ක්රියාව භික්ෂු සංඝයා අතර ප්රකට විය. ඉක්බිති එක්දිනක් සම්සභාවෙහිදී ඇවැත්නි! අසවල් භික්ෂුව වනාහි ප්රශ්න අසා භික්ෂූන් පීඩාවට පත්කළ කොටාගේ මුඛයෙහි අසූචි දමා ගියේයයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! කවර කථාවකින් යුක්තව මෙහි දැන් සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! ඒ භික්ෂුව ඔහුට අසූචිවලින් හිරිහැර කළේ දැන් පමණක් නොවේ. පෙරත් හිරිහැර කළේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස අංග මගධ වාසීහු ඔවුනොවුන්ගේ රටට යන්නාහු එක් දිනක් දෙරටේ සීමාවෙහි (මායිමේ) එක් විලක් නිසා වාසයකොට සුරා පානය කොට, මස් මාලු අනුභව කොට උදෙන්ම වාහන (කරත්ත) යොදාගෙන ගියාහුය. ඔවුන් ගියකල්හි එක් අසූචි කන පණුවෙක් අසූචි ගඳට අවුත් මගීන් විසින් සුරාපානය කළ ස්ථානයේ ඉවත දමන ලද සුරාව දැක පැන් පිපාස නිසා පානයකොට මත් වී අසූචි පිඩක් මත නැංගේය. තෙත අසූචි පිඩ මත නැංගවිට ටිකක් ඇලවිය. ඒ පණුවා මාව දරා සිටීමට පොළොව අසමත් යයි කෑගැසුවේය. ඒ අවස්ථාවේදී මද වෑහෙන ඇතෙක් ඒ ප්රදේශයට පැමිණ අසූචි ගඳ ආඝ්රාණය වී පිළිකුල් කරමින් ආපසු හැරුණේය. පණුවා ඒ දැක මොහු මා දැක බියෙන් පලා යන්නේ යයි හැඟීමෙන් මා විසින් මොහු සමග යුද්ධ කරන්නට වටින්නේ යයි ඇතා කැඳවමින්
සූරො සූරෙන සංගම්ම වික්කන්තෙන පහාරිනා,
එහි නාග නිවත්තස්සු කින්නු භීතො පලායසි,
පස්සන්තු අංග මගධා මම තුය්හඤ්ච වික්කමං
එහි නාග නිවත්තස්සු කින්නු භීතො පලායසි,
පස්සන්තු අංග මගධා මම තුය්හඤ්ච වික්කමං