6. කෝසිය ජාතකය (226)
කාලෙ නික්ඛමණාසාධු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වෙසෙනා සමයෙහි කොසොල් මහරජතුමා මුල් කරගෙන වදාළ සේක. කොසොල් රජතුමා පසල් දනව්වක් සංසිඳවීම සඳහා නොකල්හි නික්මුණේය. (වත්මන්) කථා පුවත යට (මුලින්) කියන ලද ක්රමයට සමානය.
බුදුරජාණන් වහන්සේ අතීත කථාව ගෙනහැර දක්වා වදාළ සේක. මහරජ! යටගිය දවස බරණැස් රජතුමා නොකල්හි නික්මී උයනෙහි කඳවුරු පිහිටවීය. එකල එක් බකමුහුණු පක්ෂියෙක් උණ ලැහැබකට පිවිස සැඟවුනේය. කවුඩු පිරිසක් අවුත් ඉන් නික්මෙනවිටම ඌ අල්ලා ගන්නෙමුයි වට කළේය. බකමූණා හිරු බැස යාම ගැන නොසලකාම කල් ඇතිව නික්මී පලායාමට පටන් ගත්තේය. ඉක්බිති කවුඩෝ ඌ වටකරගෙන හොටවලින් අනිමින් බිම හෙළූහ. රජතුමා බෝසතාණන් වහන්සේ අමතා පඬිතුමනි! මේ කවුඩන් බකමූණා බිම හෙළුවේ ඇයිදැයි විචාළේය. බෝසතාණන් වහන්සේ, මහරජ! නොකල්හි සිය වාසස්ථානයෙන් නික්මෙන්නේ මෙබඳු දුක් ලබන්නේමය. ඒ නිසා නොකල්හි තමන් වසන තැනින් නික්මෙන්නට නොවටීයයි මේ කාරණය ප්රකාශ කරන
කාලෙ නික්ඛමණා සාධු - න කාලෙ සාධු නික්ඛමො,
අකාලෙනහි නික්ඛම්ම - එකකම්පි බහූජනො,
න කිඤ්චි අත්ථං ජොතෙති - ධංකසෙනාව කොසියං
අකාලෙනහි නික්ඛම්ම - එකකම්පි බහූජනො,
න කිඤ්චි අත්ථං ජොතෙති - ධංකසෙනාව කොසියං
ධීරොව විධිවිධානඤ්ඤු - පෙරසං විවරන්තගු,
සබ්බා මිත්තෙ වසී කත්වා - කොසියොව සුඛී සියා
සබ්බා මිත්තෙ වසී කත්වා - කොසියොව සුඛී සියා
යන මේ ගාථා දෙක කීහ.
සුදුසු කාලයෙහි නික්මීම නොහොත් පරාක්රමය යහපත් වේ. අකාලෙහි වාසස්ථානයෙන් නික්මීම නොහොත් පරාක්රමය යහපත් නොවේ. අකාලයෙහි නික්ම නොහොත් වීර්යය කොට කිසි දියුණුවක් නොබබළයි නොහොත් නොලබයි. නොකල්හි නික්මුණු බකමූණා නැසූ කපුටු සේනාව මෙන් (නොකල්හි) හුදකලා වූවහු (වීර්ය කළද) බොහෝදෙනා වටකොට විනාශයට පමුණුවන්නාහ.
පැරණි පඬිවරුන් ව්යවස්ථාකොට තබන ලද විධි විධාන දන්නා වූ (විධාන ක්රම දන්නා වූ) අන්යයන්ගේ සිදුරු දන්නා වූ නුවණ ඇත්තා සියලු සතුරන් වසඟකොට නුවණැති බකමුහුණා මෙන් සුවපත් වූයේ වන්නේයි.
එහි, කාලෙ නික්ඛමණා සාධූ යනු මහරජතුමනි! නික්මීම නම් පිටතට යාම හෝ වීර්ය කිරීම හෝ සුදුසු කාලයේ යහපත්ය. නාකාලෙ සාධු නික්ඛමො යනු නොකල්හි වීර්ය කිරීම හෝ යහපත් නොවේ. අකාලෙනහී යනු මුල් සතර හතරවන පේළියද යොදා මෙසේ අර්ථ දතයුතුයි. තමන් වාසය කරන ස්ථානයෙන් පුරුෂයා නොකල්හි නික්ම හෝ, න කිඤ්චි අත්ථං ජොතෙති තමන්ට ස්වල්පමාත්ර වූද අභිවෘද්ධියක් ඇතිකරගන්නට නොහැකි වෙයි. ඉක්බිති, එකකම්පි බහූජනො බොහෝ වූ ඒ සතුරු ජනයා නොකල්හි නික්මෙන හෝ උත්සාහ කරන හුදකලා වූ ඔහුට පහරදී මහා විනාශයකට පමුණුවත්. මේ එහි උපමාවයි. ධංකසෙනාව කොසියං යම්සේ මේ කපුටු රැළ නොකල්හි නික්මෙන උත්සාහ කරන මේ බකමුහුණාට හොටවලින් අනිත්ද, මහා විනාශයකට හෙළත්ද එසේය. ඒ නිසා තිරිසන් සතුන් මුල්කොට ඇති කිසිවෙකු විසින් නොකල්හි තමන්ගේ වාසස්ථානයෙන් නොනික්මිය යුතුයි. උත්සාහද නොකළ යුතුයි.
දෙවන ගාථාවෙහි, ධීරො යනු නුවණ ඇත්තා, විධි යනු පැරණි නුවණ ඇත්තන් විසින් පිහිටුවන ලද නියමයන්, විධානං යනු කොටසක් හෝ නියම කිරීමක් හෝ, විවරන්තගූ යනු සිදුරක් (වරදින තැනක්) අනුව යමින් (එය) දැනගන්නා තැනැත්තා සබ්බාමිත්තෙ යනු සියලු සතුරන් වසී කත්වා යනු තමන්ගේ වසඟයෙහි තබාගෙන, කොසියොව යනු මේ මෝඩ බකමූණා මෙන් නොව නුවණ ඇති වෙනත් බකමූණෙකු මෙන් මේ අදහස කියන ලදි. යම්කිසි පණ්ඩිතයෙක් මේ කාලයෙහි නික්මිය යුතුය. උත්සාහ කළ යුතුය. මේ කාලයෙහි නොනික්මිය යුතුය. උත්සාහ නොකළ යුතුයයි පැරණි පඬිවරුන් විසින් තබා ඇති ප්රවේණි සංඛ්යාත විධි (නියමයන් සම්ප්රදාය) හෝ කොට්ඨාස සංඛ්යාත විධානයන් හෝ ඒ විධාන පිළිබඳ නියම කිරීමක් ඒ අනුව පැවතීමක් දනියිද හෙතෙම විධිවිධානඥයෙකි. හෙතෙම තම සතුරන්ගේ දුර්වලකමක් දැක රාත්රිය නමැති තමාට අයත් කාලයෙහි නික්ම උත්සාහකොට ඒ ඒ තැන නිදා සිටින කපුටන්ගේ හිස් සිඳිමින් ඒ සියලු සතුරන් වසඟකොට සුඛී සියා සුවපත් වන්නේය. මෙසේ නුවණැත්තා නියම කාලයෙහි නික්ම උත්සාහ කොට තමාගේ සතුරන් වසඟකොට සැප ඇත්තෙක් දුක් නැත්තෙක් වන්නේය. රජතුමා බෝධිසත්ත්වයන් වහන්සේගේ වචනය අසා (යුද්ධයට නොගොස්) නැවතුනේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල රජතුමා ආනන්දයි. නුවණ ඇති ඇමතියා මම ම වූයෙමි යි වදාළ සේක.
7. ගුථපාණක ජාතකය (227)
සූරො සූරෙන සංගම්ම යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් එක්තරා භික්ෂුවක අරබයා වදාළ සේක. එකල ජේතවනාරාමයේ සිට ගව්වක් හා අඩ යොදුනක් (ගව් 3ක්) පමණ ඈතින් එක් නියම්ගමක් ඇත. එහි බොහෝ සලාක බත් (තැන්පත් ලැබුණු භික්ෂූන්ට දෙන දානය) ඇත. ප්රශ්න අසන එක්තරා කොට මිනිසෙක් වාසය කරයි. ඔහු සලාක බත පිළිගැනීමට හා පක්ඛික බත හෙවත් පක්ෂයකට අයත් (පක්ෂයකට මාස භාගයයි. දින 15 යි. එයින් 5, 8, 14, 15 යන දිනවලදී දෙන) බත පිළිගැනීමට වැඩම කළ නවක භික්ෂූන්ගෙන්ද සාමණේර හිමිවරුන්ගෙන්ද කවුරු (කැවිලි) කත්ද කවුරු බොත්ද කවුරු (බත් ආදිය) අනුභව කරත්ද යනුවෙන් ප්රශ්න අසා පිළිතුරු දීමට නොහැකි වූ අය ලජ්ජාවට පත් කළේය. ඒ භික්ෂු-සාමණේර හිමිවරු ඔහුට බියෙන් සලාක බත් හෝ පක්ඛිත බත් හෝ ලබාගැනීමට ඒ ගමනට නොයත්. ඉක්බිති එක් දිනක් එක් භික්ෂුවක් සලාක බෙදන තැනට ගොස් ස්වාමීනි! අසවල් ගමෙහි සලාක බත් හෝ පක්ඛිත බත් හෝ පක්ඛිත බත් හෝ ඇද්දැයි විමසා ඇවැත්නි! ඇත. එහෙත් එහි එක් කොර මිනිසෙක් ප්රශ්න අසයි. උත්තර දීමට නොහැකි වූ අයට අක්රොස කරයි. අපහාස කරයි. ඒ නිසා ඔහුට බියෙන් කිසිවෙකු එහි යන්නට නොහැකි වෙතියි කී කල්හි, ස්වාමීනි එහි බත මට පවරනු මැනවි. මම ඔහු සමනය කොට එතැන් පටන් ඔබවහන්සේලා දැක පලායන කෙනෙකු බවට පත්කරන්නෙමියි කීය. භික්ෂූහු යහපතැයි පිළිගෙන ඔහුට එහි සලාක බත පැවරූහ.