3. පුටභත්ත ජාතකය (223)
නමෙ නමන්තස්ස යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් කෙළඹි පුත්‍රයෙකු අරබයා වදාළ සේක. සැවැත්නුවර වැසි එක් කෙළඹි පුත්‍රයෙක් පිටිසර ගම්වැසි කෙළඹි පුත්‍රයෙකු සමග වෙළඳාම් කෙළේය. හෙතෙම තමන්ගේ බිරිඳ රැගෙන ඒ ණයකරුවා සමීපයට ගියේය. ණයකරුවා ණය දෙන්නට නොහැක්කෙමියි කිසිවක් නුදුන්නේය. අනිත් තැනැත්තා (සැවතින් පැමිණි කෙළෙඹියා) බත් අනුභව නොකරම පිටත් විය. ඉක්බිති අතරමගදී කුසගින්නෙන් පෙළෙන ඔහු දැක මග යන මිනිස්සු බිරිඳත් සමග අනුභව කරවයි කියා බත්මුලක් දුන්නේය. ඔහු එය ගෙන බිරිඳට නොදෙනු කැමති වී සොඳුරිය! මේ සොරුන් සිටින ස්ථානයක්. ඒ නිසා නුඹ ඉදිරියෙන් යවයි පිටත්කරවා සියලු බත් අනුභව කොට හිස් මුල ඈ ඔහු විසින් තනිවම අනුභව කළ බව දැන දොම්නසට පත් වූවාය. ඔවුන් දෙදෙනා දෙව්රම් වෙහෙර පිටුපසින් යන්නාහු පැන් බොන්නෙමුයි දෙව්රමට පිවිසියහ.
බුදුරජාණන් වහන්සේ ද ඔවුන් දෙදෙනාගේ පැමිණීමම බලාපොරොත්තුවෙන් මග රැක සිටින වැද්දෙකු මෙන් ගඳකෙළි සෙවනේ වැඩහුන් සේක. ඔවුහු ශාස්තෲන් වහන්සේ දැක එළඹ වැඳ හිඳගත්තාහුය. උන්වහන්සේ ඔවුන් දෙදෙනා සමග පිළිසඳර කථාකොට උපාසිකාවනි! මේ නුඹේ ස්වාමි පුරුෂයා හිතවත්ද? ස්නේහ ඇත්තේදැයි විචාළ සේක. ස්වාමීනි! මම මොහුට ස්නේහ ඇත්තෙමි. නමුත් මොහු මට ස්නේහ නැත්තෙකි. වෙන දවස් තිබේවා! අදම මොහු එන අතරමගදී බත්මුලක් ලැබී මට නොදී තමා තනියම අනුභව කෙළේයයි කීවාය. උපාසිකාවනි! හැමකල්හි නුඹ මොහුට හිතවත් වූවාය. ස්නේහයෙන් යුක්ත වූවාය. මේ තෙමේ නුඹට ස්නේහ නැත්තෙක්ම විය. යම්කලෙක වනාහි නුවණ ඇති අය නිසා නුඹේ ගුණ දැනගනීද? එකල ඔබට සියලු වස්තුව පවරා දෙන්නේ යයි වදාරා ඇය විසින් ඉල්වන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඇමති කුලයෙහි ඉපදී වැඩිවියට පැමිණියාහු රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූහ. එකල්හි රජතුමා තමන්ගේ පුත්‍රයා තමන්ට ද්‍රෝහීකම් කරන්නේ යයි සිතා සැක කරමින් නෙරපා හැරියේය. ඔහු තම බිරිඳද රැගෙන නුවරින් නික්මී කසීරට එක් ගමක වාසය කෙළේය. ඔහු පසුකලෙක පියා කලුරිය කළ බව අසා කුලසන්තක රාජ්‍යය ගන්නෙමියි බරණැස් නුවරට ආපසු එන්නේ අතරමගදී බිරිඳට ද දී අනුභව කරවයි බත්මුලක් ලැබ ඇයට නොදී තමන් තනියම එය අනුභව කෙළේය. ඈ ඒකාන්තයෙන් මොහු කර්කශ පුද්ගලයෙක් යයි දොම්නසට පැමිණියාය. ඔහු බරණැස් නුවර රාජ්‍යය ගෙන ඇය අග මෙහෙසුන් තනතුරෙහි තබා මෙපමණක්ම ඇයට ප්‍රමාණවත් යයි වෙනත් සත්කාර සම්මාන කිසිවක් නොකරයි. කෙසේ යැපෙන්නේ දැයි යන්නවත් නොවිචාරයි.
බෝසතාණන් වහන්සේ සිතූ සේක. මේ අපගේ දේවිය රජතුමාට බොහෝ උපකාර කරන ස්නේහ ඇති තැනැත්තියකි. නමුත් රජතුමා ඇය කවර තැනැත්තියකද කියාවත් නොසිතයි. ඇයට සත්කාර සම්මාන කරවන්නෙමියි සිතූ සේක. (එසේ සිතා) ඇය වෙත එළඹ ගරුසරු දක්වා එකත්පසෙක සිට කිම දරුවයි (ඇය) කී කල්හි කථාව පටන් ගැනීම පිණිස දේවීන් වහන්ස! අපි නුඹවහන්සේට උපස්ථාන කරමු. කිම මහලු පියවරුන්ට වස්ත්‍ර කෑල්ලක් හෝ බත්පිඩක් හෝ දෙන්නට නොවටින්නේදැයි කීහ. දරුව! මම මා පිණිසවත් කිසිවක් (රජුගෙන්) නොලබමි. තොපට කුමක් දෙන්නෙම්ද? ලැබුණු කාලයෙහි නුදුන්නෙම් වීද? දැන් මට රජතුමා කිසිවක් නොදෙයි. වෙන දීමනාවක් තිබේවා! රජකම ගන්නට එන අතරමගදී බත්මුලක් ලැබී බත් ස්වල්පයක්වත් මට නොදී තමන් තනියම අනුභව කෙළේයයි කීවාය. කෙසේද මෑණියනි! රජතුමා ළඟදීත් මෙසේ කියන්නට හැකිවන්නේදැයි ඇසීය. හැකිවන්නෙමි, දරුවයි කීවාය. එසේනම් අදම මා රජු සමීපයෙහි සිටින අවස්ථාවේදී මා විසින් ප්‍රශ්න කරන කාලයේදී මෙසේ කියනු මැනවි. අදම තොපගේ ගුණ දැන ගන්නට සලස්වමියි මෙසේ කියා බෝසතාණන් වහන්සේ කල්තියා ගොස් රජතුමා ළඟ සිටියහ. ඈද ගොස් රජතුමා සමීපයේ සිටියාය.