4. කුම්භීල ජාතකය (224)
යස්සෙ තෙ චතුරො ධම්මා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් වහන්සේ අරබයා දේශනා කළ සේක.
යස්සෙතෙ චතුරො ධම්මා වානරින්ද යථා තව,
සච්චං ධම්මො ධිති චාගො දිට්ඨං සො අතිවත්තති
සච්චං ධම්මො ධිති චාගො දිට්ඨං සො අතිවත්තති
යස්ස චෙතෙ නවිජ්ජන්ති ගුණා පරම භද්දකා,
සච්චං ධම්මො ධිති චාගො දිට්ඨං සො නාතිවත්තති
සච්චං ධම්මො ධිති චාගො දිට්ඨං සො නාතිවත්තති
වානරේන්ද්රය! වාක් සත්යය ද, පරීක්ෂා ඤාණය ද, ධෛර්යය ද, ත්යාගය ද යන මේ ධර්මයෝ සතර දෙන තට මෙන් යම් පුද්ගලයෙකුට විද්යමාන වෙත්ද හෙතෙම සතුරා ඉක්මවා පවතී.
වාක් සත්යයද, පරීක්ෂා ඥානයද, ධෛර්යයද, ත්යාගයද යන මේ අති සුන්දර වූ මේ ගුණයෝ යමෙක් හට විද්යමාන නොවෙත්ද හෙතෙමේ සතුරා ඉක්මවා නොපවතී.
එහි, ගුණා පරම භද්දකා යනු රාශියක් යන අර්ථයෙන් පිණ්ඩයක් යන අර්ථයෙන් මේ අති සුන්දර වූ ගුණ සතර යමෙකුට නැද්ද ඔහු සතුරා ඉක්මවන්නට නොහැකි වෙයි. මෙහි ඉතිරි සියල්ල යට (මුලින්) කුම්භීල ජාතකයෙහි කියන ලද ක්රමය සමග ගළපා ගතයුතුය.
5. ඛන්තිවණ්ණන ජාතකය (225)
අත්ථි මෙ පුරිසො දෙව යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් කොසොල් රජතුමා අරබයා වදාළ සේක. ඒ රජුට බොහෝ උපකාර කරන එක් ඇමතියෙක් අන්තඃපුරය දූෂණය කළේය. රජතුමා තමන්ට උපකාර කරන්නා බව දැනගෙනත්, ඉවසා බුදුරජාණන් වහන්සේට දන්වා සිටියේය. එවිට බුදුරජාණන් වහන්සේ මහරජතුමනි! පෙර රජවරු පවා මෙසේ ඉවසූහයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී ඒ රජුගේ එක් ඇමතියෙක් අන්තඃපුරය දූෂණය කළේය. ඇමතියාගේ සේවකයෙක්ද ඇමති නිවස ද දූෂණය කළේය. හෙතෙම ඔහුගේ අපරාධ ඉවසිය නොහැකි වන්නේ රජු සමීපයට ගොස් දේවයන් වහන්ස! මගේ එක් උපස්ථායකයෙක් සියලු කටයුතු කරන්නේ වෙයි. ඔහු මගේ ගෙයි දූෂණය කළේය. ඔහුට කුමක් කරන්නට වටීදැයි විමසමින්
අත්ථි මෙ පුරිසො දෙව, සබ්බතිච්චෙසු ව්යාවටො,
තස්ස චෙකො පරාධත්ථි තත්ථ ත්වං කින්ති මඤ්ඤ
තස්ස චෙකො පරාධත්ථි තත්ථ ත්වං කින්ති මඤ්ඤ
යන පළමු ගාථාව කීවේය.
“දේවයනි! මාගේ හැම කටයුත්තකම යෙදුණු පුරුෂයෙක් ඇත. ඔහුගේද එක් අපරාධයක් ඇත. ඒ අපරාධයෙහිලා ඔබ කුමක් සිතන්නෙහිද? (කවර නම් දඬුවමක් අනුමත කරන්නෙහිද?)
එහි, තස්ස චෙතො පරාධත්ථි යනු ඒ පුරුෂයාගේද එක් අපරාධයක් ඇත. තත්ථ ත්වං කින්ති මඤ්ඤසි යනු එහි ඒ පුරුෂයාගේ අපරාධයට නුඹ කුමක් කළ යුතුයයි ඔබවහන්සේ සිතන්නෙහිද? යම්සේ ඔබවහන්සේට සිතක් උපදීද එයට සුදුසු දඬුවමක් මොහුට පනවන්නැයි දක්වයි.
ඒ අසා රජතුමා,
අම්හාකඤ්චත්ථි පුරිසො එදිසො ඉධ විජ්ජති,
දුල්ලභො අංග සම්පන්නො ඛන්තිරසමාක රුච්චති
දුල්ලභො අංග සම්පන්නො ඛන්තිරසමාක රුච්චති
යන දෙවන ගාථාව කීවේය.
අපගේද මෙබඳු පුරුෂයෙක් ඇත. (හේ) මෙතන්හි ඇත. සකල ගුණාංගයන්ගෙන් සැදුණු පුද්ගලයෝ දුර්ලභයහ. (එබැවින් මෙබඳු අවස්ථාවන්හිදී) අපට ඉවසීම අභිමතයි. (සුදුසුයි)
එහි, අම්හාකම්පි රජවරුන් ලෙස සිටියත් අපගේද (අපටත්). එදිසො මෙබඳු බොහෝ උපකාර ඇති, නිවස දූෂණය කරන පුරුෂයෙක් ඇත. ඔහුද ඉධ විජ්ජති දැනුත් මෙහිම සිටී. අපි රජවරුන් ලෙස සිටියත් බොහෝ උපකාර ඇති බව සලකා ඉවසමු. රජෙකු නොවීත් ඔබට ඉවසීම භාරය. අංග සම්පන්නො සියලු ගුණ කොටස්වලින් යුක්ත පුරුෂයෙක් නම්. දුල්ලභො දුර්ලභය. ඒ කාරණයෙන්. අස්මාකං අපට මෙබඳු තැන්වලදී ඉවසීම ම. රුච්චති ඉති රුචි වෙයි යනුයි.
ඇමතියා රජතුමා විසින් කියන ලද්දේ තමන් සඳහාම බව දැන එතැන් පටන් අන්තඃපුරය (අන්තඃපුරයේ ස්ත්රීන්) දූෂණය කරන්නට අසමත් විය. ඔහුගේ ඒ සේවකයාද රජතුමාට කී බැව් දැන එතැන් පටන් ඒ ක්රියාව (ඇමති බිරිඳ දූෂණය) කරන්නට අසමත් විය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල මම ම බරණැස් රජ වූයෙමි. ඒ ඇමතියාද රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට කියන ලද බව දැන එතැන් පටන් ඒ ක්රියාව කරන්නට නොහැකි විය.
6. කෝසිය ජාතකය (226)
කාලෙ නික්ඛමණාසාධු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වෙසෙනා සමයෙහි කොසොල් මහරජතුමා මුල් කරගෙන වදාළ සේක. කොසොල් රජතුමා පසල් දනව්වක් සංසිඳවීම සඳහා නොකල්හි නික්මුණේය. (වත්මන්) කථා පුවත යට (මුලින්) කියන ලද ක්රමයට සමානය.
බුදුරජාණන් වහන්සේ අතීත කථාව ගෙනහැර දක්වා වදාළ සේක. මහරජ! යටගිය දවස බරණැස් රජතුමා නොකල්හි නික්මී උයනෙහි කඳවුරු පිහිටවීය. එකල එක් බකමුහුණු පක්ෂියෙක් උණ ලැහැබකට පිවිස සැඟවුනේය. කවුඩු පිරිසක් අවුත් ඉන් නික්මෙනවිටම ඌ අල්ලා ගන්නෙමුයි වට කළේය. බකමූණා හිරු බැස යාම ගැන නොසලකාම කල් ඇතිව නික්මී පලායාමට පටන් ගත්තේය. ඉක්බිති කවුඩෝ ඌ වටකරගෙන හොටවලින් අනිමින් බිම හෙළූහ. රජතුමා බෝසතාණන් වහන්සේ අමතා පඬිතුමනි! මේ කවුඩන් බකමූණා බිම හෙළුවේ ඇයිදැයි විචාළේය. බෝසතාණන් වහන්සේ, මහරජ! නොකල්හි සිය වාසස්ථානයෙන් නික්මෙන්නේ මෙබඳු දුක් ලබන්නේමය. ඒ නිසා නොකල්හි තමන් වසන තැනින් නික්මෙන්නට නොවටීයයි මේ කාරණය ප්රකාශ කරන
කාලෙ නික්ඛමණා සාධු - න කාලෙ සාධු නික්ඛමො,
අකාලෙනහි නික්ඛම්ම - එකකම්පි බහූජනො,
න කිඤ්චි අත්ථං ජොතෙති - ධංකසෙනාව කොසියං
අකාලෙනහි නික්ඛම්ම - එකකම්පි බහූජනො,
න කිඤ්චි අත්ථං ජොතෙති - ධංකසෙනාව කොසියං
ධීරොව විධිවිධානඤ්ඤු - පෙරසං විවරන්තගු,
සබ්බා මිත්තෙ වසී කත්වා - කොසියොව සුඛී සියා
සබ්බා මිත්තෙ වසී කත්වා - කොසියොව සුඛී සියා
යන මේ ගාථා දෙක කීහ.
සුදුසු කාලයෙහි නික්මීම නොහොත් පරාක්රමය යහපත් වේ. අකාලෙහි වාසස්ථානයෙන් නික්මීම නොහොත් පරාක්රමය යහපත් නොවේ. අකාලයෙහි නික්ම නොහොත් වීර්යය කොට කිසි දියුණුවක් නොබබළයි නොහොත් නොලබයි. නොකල්හි නික්මුණු බකමූණා නැසූ කපුටු සේනාව මෙන් (නොකල්හි) හුදකලා වූවහු (වීර්ය කළද) බොහෝදෙනා වටකොට විනාශයට පමුණුවන්නාහ.
පැරණි පඬිවරුන් ව්යවස්ථාකොට තබන ලද විධි විධාන දන්නා වූ (විධාන ක්රම දන්නා වූ) අන්යයන්ගේ සිදුරු දන්නා වූ නුවණ ඇත්තා සියලු සතුරන් වසඟකොට නුවණැති බකමුහුණා මෙන් සුවපත් වූයේ වන්නේයි.
එහි, කාලෙ නික්ඛමණා සාධූ යනු මහරජතුමනි! නික්මීම නම් පිටතට යාම හෝ වීර්ය කිරීම හෝ සුදුසු කාලයේ යහපත්ය. නාකාලෙ සාධු නික්ඛමො යනු නොකල්හි වීර්ය කිරීම හෝ යහපත් නොවේ. අකාලෙනහී යනු මුල් සතර හතරවන පේළියද යොදා මෙසේ අර්ථ දතයුතුයි. තමන් වාසය කරන ස්ථානයෙන් පුරුෂයා නොකල්හි නික්ම හෝ, න කිඤ්චි අත්ථං ජොතෙති තමන්ට ස්වල්පමාත්ර වූද අභිවෘද්ධියක් ඇතිකරගන්නට නොහැකි වෙයි. ඉක්බිති, එකකම්පි බහූජනො බොහෝ වූ ඒ සතුරු ජනයා නොකල්හි නික්මෙන හෝ උත්සාහ කරන හුදකලා වූ ඔහුට පහරදී මහා විනාශයකට පමුණුවත්. මේ එහි උපමාවයි. ධංකසෙනාව කොසියං යම්සේ මේ කපුටු රැළ නොකල්හි නික්මෙන උත්සාහ කරන මේ බකමුහුණාට හොටවලින් අනිත්ද, මහා විනාශයකට හෙළත්ද එසේය. ඒ නිසා තිරිසන් සතුන් මුල්කොට ඇති කිසිවෙකු විසින් නොකල්හි තමන්ගේ වාසස්ථානයෙන් නොනික්මිය යුතුයි. උත්සාහද නොකළ යුතුයි.