2. චුල්ලනන්දි ජාතකය (222)
ඉදං තදාචරියවචො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් මුල්කරගෙන වදාළ සේක. එක්දිනක් භික්ෂූහු දම්සභාවෙහි “ඇවැත්නි, දෙව්දත් තෙර කර්කශය, නපුරුය, සැහැසිය. සම්බුදුරජාණන් වහන්සේ මැරවීමට පුද්ගලයන් යෙදවීය. ගල් විද්දේය. නාලාගිරි ඇතා යෙදවීය. ඉවසීම, මෛත්රිය, දයානුකම්පා මාත්රයක්වත් ඔහුට තථාගතයන් වහන්සේ කෙරෙහි නැත යනුවෙන් කථාවක් මතු කළාහුය. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි දැන් පමණක් නොව පෙරත් දෙව්දත් තෙර කර්කශ, රළු, අකාරුණික කෙනෙක් යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්යය කරද්දී බෝසතාණන් වහන්සේ හිමාලය වන පෙදෙසේ ‘නන්දික’ නම් වඳුරෙකුව උපන් සේක. ඔහුගේ කණිටු සහෝදරයා චුල්ලනන්දික නම් විය. ඒ දෙදෙනාම අසූදහසක් වඳුරන් පිරිවරාගෙන හිමවත් පෙදෙසෙහි අන්ධ වූ මව පෝෂණය කරමින් වාසය කළාහුය. ඔවුහු මව නිදන ලැහැබෙහි තබා වනයට පිවිස මිහිරි ලොකු කුඩා පළතුරු ලැබ මවට එවති. ඒවා ගෙන එන වඳුරෝ ඇයට නොදෙති. ඈ සාගින්නෙන් පෙළෙන්නී ඇටත්, හමත්, ඉතිරිවූ වැඳිරියක වූවාය. ඉක්බිති ඇයට බෝධිසත්ත්වයන් වහන්සේ මෙසේ කී සේක. මෑණියනි! අපි නුඹවහන්සේට මිහිරි පලාඵල එව්වෙමු. නුඹ කුමක් නිසා වැහැරී ගියාද? දරුව! ඒ එවන ආහාර මම නොලැබුවෙමියි කීවාය. බෝධිසත්ත්වයන් වහන්සේ අප වඳුරු සමූහයා පාලනය කරන්නට ගියොත් අපේ මව නැසෙන්නීය. වඳුරු රැළ හැරදමා මව ම පෝෂණය කරන්නෙමි යනුවෙන් සිතූහ. ඔහු ‘චුල්ල නන්දිය’ කැඳවා දරුව! නුඹ වඳුරු රැළ පාලනය කරව. මම මව පෝෂණය කරන්නෙමියි කීවේය. ඔහු ද නන්දිය අමතා සොයුර! මට වඳුරු රැළ පාලනය කිරීමෙන් ඵලක් නැත. මම ද මව පිළිදැගුම් කරන්නෙමියි කීවේය. මෙසේ ඒ දෙදෙනාම ඒකමතිකව වඳුරු රැළ අතහැර මව රැගෙන හිමාල වනයෙන් බැස පිටිසරක පිහිටි නුගගසක වාසය කරමින් මව පෝෂණය කළාහුය.
ඉක්බිති බරණැස් නුවර වැසි එක් බමුණු මානවයෙක් තක්සලා නුවර දිසාපාමොක් ඇදුරුතුමා වෙත සියලු ශිල්ප ඉගෙනගෙන ආපසු යන්නෙමියි ගුරුතුමාගෙන් විචාළේය. ඇදුරුතුමා විද්යා බලයෙන් ඔහුගේ කර්කශ, ඵරුෂය, සැහැසි බව දැන මෙසේ කීවේය. දරුව! නුඹ කර්කශය. ඵරුෂය. සැහැසිය. මෙබඳු ස්වරූප ඇති අයට හැමකල්හිම එක වගේම සමෘද්ධියක් වන්නේ නැත. මහා විනාශයකට, දුකකට පැමිණෙන්නේය. එම නිසා නුඹ කර්කශ නොවන්න. පසුතැවෙන දේ නොකරවයි අවවාද දී යැව්වේය. හෙතෙම ඇදුරුතුමා වැද බරණැසට ගොස් ගෘහවාසයට පැමිණ (විවාහ වී) වෙනත් ශිල්පයකින් දිවි ගෙවන්නට නොහැකි වන්නේ දුන්නෙන් ජීවත් වන්නෙමි. වැදිකම් කොට ජීවිකාව කරන්නෙමියි බරණැසින් නික්ම ප්රත්යන්ත (නගරයෙන් ඈත) ගමක වසමින් දුනු හියවුරෙන් සන්නද්ධව වනයට පිවිස නොයෙක් වන සතුන් මරා මස් විකිණීමෙන් දිවි ගෙව්වේය. ඔහු එක්දිනක් වනයෙහිදී කිසිවක් නොලබා එන්නේ පිට්ටනිය කෙළවර පිහිටි නුගගසක් දැක මෙහි යම් කිසිවක්, ඇතැයි සිතා නුගගස දෙසට පිටත්විය.
ඒ අවස්ථාවේ ඒ සහෝදරයෝ දෙදෙනා මවට පළතුරු කවා යුතුකම් කොට අතුවල හුන්නාහු එන්නා වූ ඒ පුරුෂයා දැක අපේ මව දැක මොහු කුමක් කරන්නේදැයි සිතා අතු අතර සැඟවුනාහුය. ඒ සැහැසි පුරුෂයාද ගස මුලට අවුත් ඔවුන්ගේ ජරා දුර්වල වූ මව දැක හිස් අතින් යාමෙන් ඇති ඵලය කුමක්ද? මේ වැඳරිය විද මරාගෙන යන්නෙමියි සිතීය. ඔහු ඇයට විදීම පිණිස දුන්න ගත්තේය. ඒ දැක බෝසතාණෝ දරුව චුල්ලනන්දිය! මේ පුරුෂයා මගේ මව විදිනු කැමැත්තේය. මම ඇයට ජීවිතය දෙන්නෙමි. නුඹ මගෙන් පසුව මව පෝෂණය කරවයි කියා අතු අතරින් නික්මී එම්බා පුරුෂය! මගේ මවට විදින්න එපා. ඈ අන්ධයි. ජරාවෙන් දුර්වලයි. මම ඈට දිවි දෙන්නෙමි. නුඹ ඇය නොමරා මා මරවයි ඔහුගෙන් පොරොන්දුවක් ගෙන ඊතලය ආසන්නයෙහි හිඳ ගත්තේය. ඒ අකාරුණික පුරුෂයා බෝසතාණන්ට විද හෙළා ඔහුගේ මවටද විදින්නට නැවත දුන්න සන්නද්ධ කළේය. (ඊතලය යොදා ගත්තේය.) එය දැක චුල්ලනන්දිය මොහු මගේ මවට විදිනු කැමැත්තේය. එකදිනක් හෝ මගේ මව ජීවත් වන්නී නම් ලබන ලද ජීවිත ඇත්තියකම වෙයි. ඇයට ජීවිත දානය දෙන්නෙමියි අතු අතරින් නික්මුණේය. එම්බා පුරුෂය, මගේ මවට විදින්න එපා. මම ඇයට ජීවිත දානය දෙමි. ඔබ මට විද සහෝදරයන් දෙදෙනා වන අප මරාගෙන අපගේ මවට ජීවිතදානය දෙන්නැයි ඔහුගෙන් පොරොන්දුවක් ගෙන ඊයට ආසන්නයේ හිඳගත්තේය. ඔහු ඌටද විද මරා, ගෙදර දරුවන් පිණිස වන්නේ යයි ඔවුන්ගේ මව් වැඳිරියටද විද හෙළා තිදෙනාම කදක දමාගෙන ගෙදර දිසාවට නික්මුණි.