9. කක්කර ජාතකය (209)
දිට්ඨා මයා වනෙ රුක්ඛා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ අතවැසි ලාබාල භික්ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්ෂුව වනාහි තමන්ගේ සිරුර ආරක්ෂා කර ගැනීම් ක්රියාවෙහි දක්ෂ විය. මගේ ශරීරයට සැපයක් නොවන්නේ යයි බියෙන් ඉතා සීත දේවල් හෝ ඉතා උෂ්ණ දේවල් පරිහරණය සීත උෂ්ණ දෙකින් සිරුර වෙහෙසෙන්නේ යයි බියෙන් බැහැර නොනික්මෙයි. ඉතා තෙත් වූ නොතැම්බුණු ආහාර නොවළඳයි. ඒ භික්ෂුවගේ සිරුර ආරක්ෂා කිරීමේ දක්ෂ බව සංඝයා අතර ප්රකට විය. දම්සභාවෙහි භික්ෂූහු ඇවැත්නි! අසවල් ලාබාල භික්ෂුව වනාහි සිරුර ආරක්ෂා කිරීමේ කටයුතුවල දක්ෂයෙකි යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා, මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! මේ ලාබාල භික්ෂුව සිරුර ආරක්ෂා කිරීමෙහි දක්ෂයෙක් වූයේ දැන් පමණක් නොවේ. පෙරත් දක්ෂයෙක්ව සිටියේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහ බෝසතාණන් වහන්සේ වනගත ප්රදේශයක රුක් දෙවියෙක් වී උපන්නෝය. ඉක්බිති කුරුළු වැද්දෙක් එක් කොරවක් දෙනක් රැගෙන අශ්ව කෙඳිවලින් කළ රැහැණ ද (වාළපාසය) යෂ්ටියද ගෙන කැලයෙහි කොරවකුන් බඳින්නේ පලාගොස් කැලයට පිවිසි එක් පරණ කොරවක්කෙකු බැඳගැනීමට පටන් ගත්තේය. ඒ කොරවකා වාළහිසයෙහි දක්ෂ නිසා තමන් බඳින්නට නොදෙයි. උඟුල් උඩින් පැන පැන සැඟවෙයි. වැද්දා තම කය කොළ අතුවලින් වසාගෙන නැවත නැවතත් යෂ්ටිය ද උගුල ද අටවයි. කොරවකා වැද්දාට ලජ්ජා කරවනු කැමැත්තේ මිනිස් වචන පිටකරමින්
දිට්ඨා මයා වනෙ රුක්ඛා අස්සකණණ විභීටකා,
නතානි එවං සක්කන්ති යථා ත්වං රුක්ඛ සක්කසී
නතානි එවං සක්කන්ති යථා ත්වං රුක්ඛ සක්කසී
යන පළමු ගාථාව කීවේය.
“වෘක්ෂය! මා විසින් වනයෙහි දක්නා ලද අශ්වකර්ණ (සල්) නම් වූද බුළු නම් වූද වෘක්ෂයෝ වෙති. ඒ ගස් ඔබ හැසිරෙන අයුරින් නො ඇවිදියි.”
එහි අර්ථය, යහලු වැද්දාණනි! මයා මා විසින් මේ වනෙ වනයෙහි හටගත් බොහෝ සල් ගස්ද බුළු ගස් ද පෙර දැක ඇත. තානි ඒ ගස්, යථා තං සක්කසි ඔබ එහා මෙහා හැසිරෙන්නේ යම්සේද එවං නසක්කන්ති එසේ නොහැරෙන්නේය යනුයි.
මෙසේ කියා ඒ කොරවකා පලාගොස් වෙන තැනකට ගියේය. ඌ පලාගිය අවස්ථාවේදී වැද්දා
පුරාණ කක්කරො අයං හෙත්වා පඤ්ජරමාගතො,
කුසලො වාළපාසානං අපක්කමති භාසති.
කුසලො වාළපාසානං අපක්කමති භාසති.
යන දෙවන ගාථාව කීවේය.
“මැදිරිය බිඳගෙන ආ මේ පුරාණ කොරවක්කා (සේවටුවා) වාලයෙන් ඇඹරූ පාසයෙන් ගැළවීමෙහි දක්ෂ වූයේ පලා යයි. (මිනිස් බසින්) කියන්නේය.”
එහි, කුසලො වාළපාසානං යනු අස්ලොමින් කළ මරුවැල් (තොණ්ඩු) ආදියෙහි දක්ෂව තමා බඳින්න ඉඩ නොදී, අපක්කමති ඉවත් වේ. භාසතිච ප්රකාශකොට පලා යයි. මෙසේ කියා වැද්දා වනයෙහි හැසිර ලද දේ ගෙන ගෙදරම ගියේය.
බුදුරජාණන් මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක නිමවා වදාළ සේක. එකල වැද්දා දෙව්දත්ය. කොරවකා වූයේ සිරුර ආරක්ෂා කරගැනීමට දක්ෂ වූ ලාබාල භික්ෂුවයි. ඒ කරුණ ප්රත්යක්ෂ වශයෙන් දුටු රුක්දෙවියා වනාහි ලොව්තුරා බුදුවූ මම ම වූවෙමි යි වදාළ සේක.
10. කන්දගලක ජාතකය (210)
අම්භො කො නාමායං රුක්ඛො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් බුද්ධ ලීලාවක් මුල් කරගෙන වදාළ සේක. එකල්හි බුදුරජාණන් වහන්සේ දෙව්දත් තෙර බුද්ධ විලාශය කළේයයි අසා, මහණෙනි! දෙව්දත් මාව අනුකරණය කරමින් විනාශයට පත්වූයේ දැන් පමණක් නොවේ. පෙරත් විනාශයට පැමිණියේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් නම් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමවත් ප්රදේශයේ ගස්වලට කොටන කුරුළු යෝනියෙහි (කෑරලෙක්ව) ඉපදී කිහිරි වනයෙහිම ගොදුරු ගත්තේය. මොහු ‘කදිරවනිය’ යයි නමක් විය. ඔහුට එක් කන්දගලක නම් යහලුවෙක් සිටියේය. හෙතෙම පාළිභද්දක (එරමුදු) නම් වනයෙහි ගොදුරු ගනියි. ඌ එක් දවසක් ඛදිරවනියගේ සමීපයට ගියේය. ඛදිරවනිය තම සහායකයා ආවේයයි කන්දගලක රැගෙන කිහිරි වනයට පිවිස කිහිරි කඳකට හොටෙන් පහරදී ගසෙන් පණුවන් පිටතට ගෙන දුන්නේය. කන්දගලක තමාට දුන් දුන් පණුවන් මිහිරි කැවුම් කන්නා සේ කඩ කඩා කෑවේය. මේ කද්දීම කන්දගගලකට මාන්නයක් උපන්නේය. මොහුත් ගස්වලට කොටන යෝනියෙහි උපන්නෙකි. මමත් එසේය. ඒ නිසා මොහු විසින් දෙන ලද ගොදුරුවලින් මට කවර ප්රයෝජනයක්ද? තමාම කිහිරි වනයෙහි ගොදුරු සොයා ගන්නෙමියි සිතා හේ කදිරවනියට යහලුව! නුඹ දුක් නොවිඳින්න. මම ම කිහිරි වනයෙහිදී ගොදුරු සොයා ගන්නෙමියි කීවේය.