10. කන්‍දගලක ජාතකය (210)
අම්භො කො නාමායං රුක්ඛො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් බුද්ධ ලීලාවක් මුල් කරගෙන වදාළ සේක. එකල්හි බුදුරජාණන් වහන්සේ දෙව්දත් තෙර බුද්ධ විලාශය කළේයයි අසා, මහණෙනි! දෙව්දත් මාව අනුකරණය කරමින් විනාශයට පත්වූයේ දැන් පමණක් නොවේ. පෙරත් විනාශයට පැමිණියේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් නම් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමවත් ප්‍රදේශයේ ගස්වලට කොටන කුරුළු යෝනියෙහි (කෑරලෙක්ව) ඉපදී කිහිරි වනයෙහිම ගොදුරු ගත්තේය. මොහු ‘කදිරවනිය’ යයි නමක් විය. ඔහුට එක් කන්දගලක නම් යහලුවෙක් සිටියේය. හෙතෙම පාළිභද්දක (එරමුදු) නම් වනයෙහි ගොදුරු ගනියි. ඌ එක් දවසක් ඛදිරවනියගේ සමීපයට ගියේය. ඛදිරවනිය තම සහායකයා ආවේයයි කන්දගලක රැගෙන කිහිරි වනයට පිවිස කිහිරි කඳකට හොටෙන් පහරදී ගසෙන් පණුවන් පිටතට ගෙන දුන්නේය. කන්දගලක තමාට දුන් දුන් පණුවන් මිහිරි කැවුම් කන්නා සේ කඩ කඩා කෑවේය. මේ කද්දීම කන්දගගලකට මාන්නයක් උපන්නේය. මොහුත් ගස්වලට කොටන යෝනියෙහි උපන්නෙකි. මමත් එසේය. ඒ නිසා මොහු විසින් දෙන ලද ගොදුරුවලින් මට කවර ප්‍රයෝජනයක්ද? තමාම කිහිරි වනයෙහි ගොදුරු සොයා ගන්නෙමියි සිතා හේ කදිරවනියට යහලුව! නුඹ දුක් නොවිඳින්න. මම ම කිහිරි වනයෙහිදී ගොදුරු සොයා ගන්නෙමියි කීවේය.
ඉක්බිති කදිරවනිය, කන්දගලකට යහලුව! නුඹ ඉඹුල්, ඉරමුදු ආදී වනයෙහි නිසරු ගොදුරු (ආහාර) ගන්නා කුලයෙහි උපන්නෙකි. කිහිරි නම් ගස් හටගත් අරටු ඇත්තේය. තදය එය ඔබට රුචි නොවේවායි කීවේය. කන්දගලක දැන් මම ගස්වලට කොටන යෝනියෙහි උපන්නේ වෙමියි ඔහුගේ වචනය නොසලකා වේගයෙන් ගොස් කිහිරි ගසකට හොටෙන් පහර දුන්නේය. ඒ අවස්ථාවේදීම කන්දගලකගේ හොට බිඳුනේය. ඇස් පිටතට නෙරා ගිය ආකාරයක් ඇතිවිය. හිස පැලුනේය. කන්දගලක ගසෙහි සිටින්නට නොහැකි වූයේ බිම වැටී
අම්භො කො නාමායං රුක්ඛො සීන පත්තො සකණ්ඨකො,
යත්‍ථ එකප්පහාරෙන උත්තමංගං විඝාටිතං.
යන පළමු ගාථාව කීවේය.
“පින්වත, යම් ගසකට ගසන ලද එක පාරින්ම හිස බිඳින ලදද සියුම් කොළ ඇති කටු සහිත මේ ගස කුමක්ද?”
එහි, අම්භො කො නාමායං රුක්ඛො යනු එම්බා කදිරවනිය! මේ කිනම් ගසක්ද? කොනාම සො යනුද පාඨයකි. සීනපත්තො යනු සියුම් කොළ. යත්‍ථ එකප්පහාරෙනා යනු යම් ගසකට දුන් එක පහරින්ම, උත්තමංගං විඝාටිතං යනු හිස බිඳින ලදි. හිස පමණක් නොව හොටයද කැඩුනේය. හෙතෙම වේදනාවෙන් මත්ව කිහිරි ගස කිනම් ගසක්දැයි දැන ගැනීමට නොහැකි වන්නේ වේදනාවෙන් මත්වී මේ ගාථාවෙන් දෙඩවීය.
ඒ අසා කදිරවනිය
අචාරිතායං විතුදං වනානි. කට්ඨංග රුක්ඛෙසු අසාරකෙසු,
අථාසදා ඛදිරං ජාතසාරං යත්‍ථබ්භි ගරුළො උත්තමංගං
යන දෙවන ගාථාව කීවේය.
“අරටු නැති නිසරු ලී ඇති ගස්වලට අනිමින් (විදිමින්) මේ වනයෙහි කන්දගලකයා ඇවිදින ලද්දේය. පසුව පක්‍ෂියා යම් රුකෙක්හි (ගසකට) ඇන හිස පලා ගත්තේය එසේ වූ හර ඇති කිහිරි රුකට පැමිණියේයි.”
එහි, අචාරිතායං යනු ඒකාන්තයෙන් මේ තෙමේ හැසිරුණේය. විතුදං වනානි යනු නිසරු ඉඹුල්, එරබුදු ගස් ඇති කැලෑ ආදිය (ගස්වලට) විදිමින් කට්ඨංග රුක්ඛෙසු අසාර කෙසු යනු අරටු නැති නිසරු දැව ඇති ගස්වල, අථාසදා ඛදිරං ජාතසාරං යනු පැල කාලයේ සිට අරටු සහිත කිහිරි ගස් ළඟට පැමිණියේය. යත්‍ථබ්භිදා ගරුළො උත්තමංගං යන තනි යත්‍ථබ්භිදා යනු යම් කිහිරි ගසක බින්දේය. පැලුවේය. ගුරුළො යනු පක්‍ෂියා. සියලු කුරුල්ලන්ට මෙය ගරුසහිත ආදර සහිත වචනයකි.
මෙසේ ඛදිරවනිය ඌට කියා එම්බා කන්දගලක! යම්තැනක නුඹේ හිස බිඳගත්තේද එය කිහිරි නම් අරටු ගස යයි කීවේය. ඔහු එහිම මරණයට පැමිණියේය.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කන්‍දගලක නම් දේවදත්ත විය. කදිරවනිය වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
සයවැනි නතං දළ්හ වර්ගය නිමියේය.