6. නතංදළ්හ වර්‍ගය
1. බන්‍ධනාගාර ජාතකය (201)
න තං දළ්හං බන්‍ධනමාහු ‘ධීරා’ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් බන්ධනාගාරයක් මුල් කරගෙන දේශනා කළ සේක. ඒ කාලයේ බොහෝ ගෙවල් බිඳින, මං පහරණ, මිනිස් ඝාතන සිදුකරන සොරුන් අල්ලාගෙන අවුත් කොසොල් රජතුමාට දැක්වූහ. රජතුමා දම්වැලෙන් බැඳීම, රැහැන්වලින් බැඳීම, හැකිල්ලෙන් මාංචු ලෑම යන බන්‍ධනවලින් ඔවුන් බැන්දවීය. තිහක් පමණ ජනපද භික්‍ෂූහු බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට කැමතිව අවුත් දැක වැඳ දෙවන දවසේ පිඬු පිණිස හැසිරෙන්නාහු රජුගේ හිරගෙදරට ගොස් ඒ සොරුන් දැක පිණ්ඩපාතය නිමවා දන් වළඳා පැමිණ හවස් කාලයෙහි තථාගතයන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි! අද පිඬු පිණිස හැසිරෙන අප විසින් හිරගෙදර බොහෝ සොරු යදම් බැදුම් ආදියෙන් බඳින ලද්දාහු මහ දුකක් විඳිනු දක්නා ලදහ. ඔවුහු ඒ බැමි සිඳ පලායන්නට අපොහොසත් වෙති. මේ බන්‍ධනවලට වඩා දැඩිවූ වෙනත් බන්ධනයක් ඇත්දැයි විමසූහ. එවිට ශාස්තෲන් වහන්සේ මහණෙනි! මේවා කිනම් බන්ධනද? යම් ඒ ධන ධාන්‍ය අඹුදරු ආදීන් කෙරෙහි තෘෂ්ණා සංඛ්‍යාත කෙළෙස් බන්ධනයක් වේද එය මේ බන්ධනවලට වඩා සියදහස් ගුණයකින් දැඩිය. මෙසේ ඒ මහත් වූද ඒ සිඳලිය නොහැකි බන්ධනය පෙර සිටි පඬිවරු සිඳ දමා හිමාල වනයට පිවිස පැවිදි වූවාහු යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක් දුප්පත් ගෘහපති කුලයක උපන්හ. වැඩිවියට පත් ඔහුගේ පියා කලුරිය කෙළේය. ඔහු බැලමෙහෙර කර මව පෝෂණය කෙළේය. ඉක්බිති මව ආවාහයකට අකමැත්තා වූම ඔහුට එක් කුලදුවක ගෙදරට කැඳවා පසුකලෙක කලුරිය කළාය. ඔහුගේ බිරිඳගේ කුසෙහි දරුගැබක් පිහිටියේය. ඔහු ගැබ පිහිටි බව නොදන්නේ ඇය අමතා සොඳුරිය, නුඹ කුලියක් මලියක් කර ජීවත් වෙව. මම පැවිදි වන්නෙමියි කීවේය. ඈ ද මට දරුගැබක් පිහිටියේය. දරුවා බිහිවූවාට පසුව දරුවා දැක පැවිදි වන්නෙහියයි කීවාය. ඔහු යහපතැයි පිළිගෙන ඇගේ දරු ප්‍රසූතියෙන් පසුව සොඳුරිය, නුඹ සුවසේ දරුවා බිහි කළෙහිය. දැන් මම පැවිදි වන්නෙම්දැයි විචාළේය. ඉක්බිති ඈ පුතාගේ කිරිබොන කාලය නිම වනතුරු නවතින්නැයි ඔහුට කියා නැවතත් ගැබ් ගත්තීය.
ඔහු මැය කැමති කරවාගෙන නම් යන්නට නොහැකිය. මැයට නොකියාම පලාගොස් පැවිදි වන්නෙමියි සිතුවේය. ඔහු ඇයට නොකියාම රාත්‍රී කාලයේ නැගිට පලා ගියේය. එසේ යනවිට නගර ආරක්ෂකයෝ ඔහු අල්ලා ගත්තාහුය. හෙතෙම ස්වාමීනි, මම මවට උපස්ථාන කරන්නෙක්මි. මා නිදහස් කරවයි කියා ඔවුන් අතින් තමන් නිදහස් කරවාගෙන එක්තරා ස්ථානයක නතර වී සිට ප්‍රධාන දොරටුවෙන්ම නික්මී හිමාල වනයට ගොස් තාපස පැවිද්දෙන් පැවිදිව අභිඥා සහ සමාපත්ති උපදවාගෙන, ධ්‍යාන ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරමින් (ධ්‍යානසුව විඳිමින්) විසීය. ඔහු එහි වාසය කරමින් මෙබඳු සිඳලීමට අපහසු අඹුදරු බන්‍ධනය කෙලෙස් බන්‍ධනය කපා දැමුවෙමියි උදන් අනමින්,
නතං දළ්හං බන්‍ධනමාහු ධීරා, යදා යසං දාරුජං බබ්බජඤ්ච,
සාරත්ත රත්තා මණිකුණ්ඩලෙසු, පුත්තෙසු දාරෙසුච යා අපෙක්ඛා.
එතං දළ්හං බන්‍ධනමාහු ධීරා, ඔලාරිනං සිථිලං දුප්පමුඤ්චං,
එතම්පි ජෙත්‍වාන වජන්ති ධීරා, අනපෙක්ඛිනො කාමසුඛං පහායා.
යන මේ ගාථා කීවේය.
යකඩයෙන් කළ බන්ධනයද, දැවයෙන් කළ බන්ධනයද, වැහැරි ආදියෙන් කළ බන්ධනයද දැඩි බන්ධනය යයි නුවණැත්තෝ නොකියත්. මණිකුණ්ඩලයන්හි (ආභරණවලට) දැඩි ඇල්මක් ඇත්ද? අඹුදරුවන් කෙරෙහි යම් අපේක්ෂාවක් ඇද්ද?
(මුලින් කී) මේ බන්ධනය දැඩි යයි නුවණ ඇත්තෝ කියත්. ඔබිනොබ ඇදහෙළන්නා වූ සිථිල වූ (සිනිඳු වූ) මුදාලිය නොහැක්කා වූ යම් ක්ලේශ බන්ධනයක් ඇද්ද එයද සිඳ කාමයන්හි අපේක්ෂා නැති නුවණැත්තෝ කම්සුව හැරපියා තපසට යෙති.
එහි දිරිය ඇති අය යන අර්ථයෙන් ධීරා නම් වේ. නින්දා කරන ලද පව් ඇත්තෝය යන අර්ථයෙන් ධීරා නම් වේ. නැතහොත් ප්‍රඥාවට ‘ධී’ යයි කියනු ලැබේ. ඒ ප්‍රඥාවෙන් යුක්ත වූවාහු ‘ධීරා’ නම් වෙයි. බුදු, පසේබුදු, බුදුසව්, බෝසත් යන මේ අය ධීරයෝ නම් වෙති. යදායසං යන ආදියෙහි යං සංඛලික සංඛ්‍යාත යකඩින් කරන ලද ආයසං දම්වැලින් බැඳීම නම් වූ දාරුජං බබ්බජඤ්ච යනු බබ්බජ නම් වූ තණවලින් හෝ සෙසු වැහැරි පට්ටා ආදියෙන් යම් ලණුවක් තනා කරන ලද රැහැන් බැඳුම (රජ්ජු බන්ධනය) තං ධීරා දළ්හං ධීරයෝ ඒ බන්‍ධනය දැඩියයි නාහු නො කියති. සාරත්ත රත්තා යනු දැඩි ඇලීමෙන් යුතුව ඇලුණු, බහුල වූ රාගයෙන් ඇලුණු යන අර්ථයි. මණිකුණ්ඩලෙසු යනු මැණික් කෙරෙහිද ආභරණ කෙරෙහිද නැතහොත් මැණික් යෙදූ ආභරණ කෙරෙහි
එතං දළ්හං යනු යමෙක් මැණික් කුණ්ඩලාභරණ කෙරෙහි දැඩි ඇලීමෙන් යුතුව ඇලුණාහු ද ඔවුන්ගේම යම් රාගයක් වේද යා ඔවුන්ගේ අඹුදරුවන් කෙරෙහි යම් අපෙක්ඛා තෘෂ්ණාවක් වේද, කෙලෙස්වලින් හටගත් බැම්ම දැඩියයි ස්ථිරයයි නුවණ ඇති අය කීවාහුය. ඔහාරිනං යනු ඇදගෙන ගොස් සතර අපායවල හෙළන බැවින්, පහතට ගෙනයයි, යටට ගෙනයයි යන අර්ථයෙන් ‘ඔහාරිතං’ වේ. සිථිලං යනු බඳින තැන සිවිය, මස්, හම නොසිඳියි, ලේ පිටතට නොගනියි. බැඳපු බවක්වත් නොදන්වයි යන අර්ථයෙන් ‘සිථිල’ නම් වේ. දුප්පමුඤ්චං යනු තෘෂ්ණා ලෝභ වශයෙන් එක්වරක් හෝ උපන් කෙලෙස් බැම්ම, දෂ්ට කළ තැනින් මුදාහැරීමට අපහසු කැස්බෑවකු මෙන් මුදාහැරීමට අපහසු වෙයි යන අර්ථයෙන් ‘දුප්පමුඤ්චං’ නම් වේ. එතම්පි ඡෙත්‍වාන කෙසේ මෙසේ දැඩි වූද ඒ කෙලෙස් බන්‍ධනය නුවණ නමැති කඩුවෙන් සිඳ යකඩ දම්වැල් කඩා දමා යන මත් ඇතුන් මෙන්ද කූඩු කඩාගෙන ඉවත්ව යන සිංහ පෝතකයන් මෙන්ද අශූචි දමන භූමියක ජීවත්වීම පිළිකුල් කරන්නාක් මෙන් අනපෙක්ඛිනො තෘෂ්ණාව නැති අය වී කාමසුඛං පහාය වජන්ති කම්සුව හැර යත්, හැරගොසින් නොනැවතී හිමවතට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදිව ධ්‍යාන සුවයෙන් කල්ගෙවති යන අර්ථයි.
මෙසේ බෝසතාණන් වහන්සේ මේ උදානය ප්‍රකාශකොට නොපිරිහුණු ධ්‍යාන ඇත්තාහු බඹලොව උපන් සේක.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය දේශනා කළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර සමහරෙක් සෝවාන් වූහ. සමහරෙක් සකෘදාගාමී වූහ. සමහරෙක් අනාගාමී වූහ. සමහරෙක් රහත් වූහ. එකල මව මහාමායා දේවිය වූවාය. පියා සුද්ධෝදන මහරජය. භාර්යාව රාහුල මාතාවය. පුතා රාහුලය. අඹුදරුවන් හැරදමා නික්මී පැවිදි වූ තැනැත්තා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.