8. සුංසුමාර ජාතකය (208)
අලමෙතෙහි අම්බෙහි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දේවදත් තෙරුන් බුදුරජුන් මැරීමට ගත් උත්සාහය මුල් කරගෙන වදාළ සේක. එකල්හි බුදුරජාණන් වහන්සේ දෙව්දත් තමන් වහන්සේ මැරිමට උත්සාහ කරන්නේ යයි අසා මහණෙනි! දෙව්දත් මාව මරන්නට උත්සාහ කෙළේ දැන් පමණක් නොවෙයි. පෙරත් උත්සාහ කළේමය. එහෙත් අඩු තරමින් බිය වැද්දීමක්වත් කරන්නට නොහැකි වී යයි වදාරා අතීත සිද්ධියක් ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී හිමාල වන පෙදෙසෙහි බෝසතාණන් වහන්සේ වඳුරු යෝනියෙහි ඉපදී ඇතෙකුට තරම් බලය ඇති ශක්ති සම්පන්න මහත් සිරුරක් ඇති සෝභා සම්පන්න වඳුරෙක් වී ගංගා නැවැත්මක වන රොදක වාසය කළහ. එකල ගඟෙහි කිඹුලෙක්ද විසීය. ඉක්බිති උගේ බිරිඳ බෝසත් වඳුරාගේ සිරුර දැක ඌගේ හදවත කෑමට දොළදුකක් උපදවාගෙන කිඹුලාට ස්වාමීනි! මම ඒ වඳුරු රජුගේ හෘදය මාංශය කනු කැමැත්තෙමියි කීවාය. එවිට කිඹුලා, සොඳුරිය! අපි ජලයෙහි හැසිරෙන්නෝ වෙමු. වඳුරා ගොඩබිම හැසිරෙන්නෙකි. ඒ නිසා ඌ අල්ලා ගන්නට කෙසේ හැකි වන්නෙම්ද? යම්කිසි උපායකින් අල්ලා ගන්න. ඉදින් නොලබන්නෙම්ද මැරෙන්නෙමියි කීවාය. එසේනම් භය නොවන්න. එක් උපායක් ඇත. ඌගේ හෘදය මාංශය ඔබට කන්නෙමියි කිඹුලිය සනසවා, බෝසතාණන් වහන්සේ ගඟින් පැන් බී ගංතෙර සිටින අවස්ථාවක සමීපයට ගොස් මෙසේ කීවේය. වඳුරාණෙනි! මේ පෙදෙසෙහි කසට රස ඇති ගෙඩි කන්නේ කිම? නුඹ පුරුදු තැනම හැසිරෙන්නෙහිද? ගඟින් එගොඩ අඹ දෙල් ආදී මිහිරි පළතුරුවල කෙළවරක් නැත. කිම නුඹට එහි ගොස් ලොකු කුඩා ගෙඩි කන්නට නොවටින්නේද? කිඹුල් රජාණෙනි! ගඟ මහදිය පැතිරී ඇත. කෙසේ එහි යන්නෙම්ද? ඉදින් යන්නෙහි නම් මම නුඹව පිට මත තබාගෙන ගෙන යන්නෙමියි කීය. වඳුරා ඒ කීම අදහමින් යහපතැයි පිළිගත්තේය. එසේ නම් එව, මගේ පිටමතට නගින්නයි කී කල්හි එසේ නැංගේය. කිඹුලා ටිකදුරක් ගෙනගොස් දිය යට ගිල්ලවන්නට විය.
බෝසතාණන් වහන්සේ යහලුව! මා වතුරෙහි ගිල්වන්නෙහිද? මේ කිමදැයි කීවේය. මම නුඹව ධර්මයෙහි යහපත් බව සලකා රැගෙන නොයන්නෙමි. මාගේ බිරිඳට නුඹේ හදවත කෑමට දොළක් උපන්නේය. මම නුඹේ ඒ හදවත කවනු කැමැත්තෙමියි කීය. යහලුව! නුඹ විසින් මෙය කීමෙන් යහපතක් කරන ලදි. ඉදින් අපගේ බඩෙහි හදවත ඇතිනම් අතුඅග හැසිරෙන අපගේ එය සුණු විසුණු වන්නේයයි කීය. බෝසතාණන් වහන්සේ නුදුරෙහි තොපි එය කොතැනක තැබුවාහුද? තිබූ පොකුරු පිටින් ඉදී ඇති එක් දිඹුල් ගසක් පෙන්වමින් බලව ඒ අපගේ හදවත. ඒ දිඹුල් ගසේ එල්ලෙතියි කීහ. ඉදින් මට හදවතක් දෙන්නෙහි නම් මම නුඹව නොමරන්නෙමියි කීය. එසේනම් එහි පමුණුවනු මම නුඹට ගසෙහි එල්ලෙන දෙකක් දෙන්නෙමියි කීහ. කිඹුලා වඳුරාව ගෙන එහි ගියේය. බෝසතාණන් වහන්සේ කිඹුලා පිටින් පැන තිඹිරි ගසෙහි හිඳ යහලු මෝඩ කිඹුලො! මේ සතුන්ගේ හදවත නම් ගසේ අතුඅග තිබේයි හැඟීමක් වීද? නුඹ බාලයෙකි. මම ඔබ රැවට්ටුවෙමි. නුඹේ පළතුරු නුඹටම වේවා! නුඹේ ශරීරය මහත් වූවාට නුවණ නැතැයි කියා මේ කරුණු පැහැදිලි කරමින්
අලමෙතෙහි අම්බෙහි ජම්බූහි පනසෙහිච,
යාති පාරං සමුද්දස්ස වරං මග්ගං උදුම්බරො.
මහතී වත තෙ බොන්‍දි නච පඤ්ඤා තදූපිකා,
සුංසුමාර වඤ්චිතො මෙසි ගච්ඡදානි යථා සුඛං
යන මේ ගාථා කීහ.
ගඟෙන් එතෙර ඇති යම් අඹ, ජම්බු, කොස් ආදියක් දක්නා ලදද ඒවායින් මට කම් නැත. මගේ දිඹුල් ගසම (මට) උතුම්ය.
නුඹේ ශරීරය මහත්ය. ඊට යෝග්‍ය පරිදි නුවණ නැත. මා විසින් ඔබ රවටන ලද්දෙහිය.
එහි, අලමෙතෙහි යනු නුඹ විසින් පෙන්වන ලද ඒ පළතුරු දක්නා ලදි. එයින් මට කම් නැත. වරං මය්හං උදුම්බරො යනු මට මේ දිඹුල් ගසම උතුම්ය. බොන්‍දි යනු සිරුරයි. තදූපිකා යනු ඔබේ නුවණ වනාහි ශරීරයට යෝග්‍ය පරිදි ප්‍රමාණවත්ව නැත. ගච්ඡදානි යථා සුඛං යනු දැන් සැපසේ යව. නුඹට හදවතක් ලැබෙන්නේ නැත. කිඹුලක් දහසින් පරාජිතයෙකු සේ දුක් දොම්නස් ඇතිව ශෝකයෙන් ලතවෙමින් තමන්ගේ වාසස්ථානයටම ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කිඹුලා දෙව්දත්ය. කිඹුලිය චිංචි මානවිකාවයි. වඳුරු රජා මම ම වූවෙමි යි වදාළ සේක.
9. කක්කර ජාතකය (209)
දිට්ඨා මයා වනෙ රුක්ඛා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ අතවැසි ලාබාල භික්‍ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව වනාහි තමන්ගේ සිරුර ආරක්‍ෂා කර ගැනීම් ක්‍රියාවෙහි දක්‍ෂ විය. මගේ ශරීරයට සැපයක් නොවන්නේ යයි බියෙන් ඉතා සීත දේවල් හෝ ඉතා උෂ්ණ දේවල් පරිහරණය සීත උෂ්ණ දෙකින් සිරුර වෙහෙසෙන්නේ යයි බියෙන් බැහැර නොනික්මෙයි. ඉතා තෙත් වූ නොතැම්බුණු ආහාර නොවළඳයි. ඒ භික්‍ෂුවගේ සිරුර ආරක්‍ෂා කිරීමේ දක්‍ෂ බව සංඝයා අතර ප්‍රකට විය. දම්සභාවෙහි භික්‍ෂූහු ඇවැත්නි! අසවල් ලාබාල භික්‍ෂුව වනාහි සිරුර ආරක්‍ෂා කිරීමේ කටයුතුවල දක්‍ෂයෙකි යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා, මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! මේ ලාබාල භික්‍ෂුව සිරුර ආරක්‍ෂා කිරීමෙහි දක්ෂයෙක් වූයේ දැන් පමණක් නොවේ. පෙරත් දක්‍ෂයෙක්ව සිටියේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.