5. ගංගෙය්‍ය ජාතකය (205)
සොභති මච්ඡො ගංගෙය්‍යො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් ලාබාල භික්‍ෂූන් දෙනමක් මුල්කරගෙන වදාළ සේක. සැවැත් නුවරවාසී ඒ කුලපුත්‍රයෝ දෙදෙනෙක් සසුනෙහි පැවිදිව අසුභ භාවනාවෙහි නොයෙදී රූපයට ප්‍රශංසා කරන්නෝ ව රූපය වර්ණනා කරන්නෝ ව හැසුරුණාහ. ඔවුහු එක්දිනක් නුඹ ලස්සන නැත්තෙහිය. මම ලස්සන වෙමියි රූපය නිසා උපන් විවාදය, නුදුරෙහි සිටි එක් මහලු තෙර නමක් දැක මේ භික්‍ෂුව අපගේ ලස්සන බව හෝ අවලස්සන බව දන්නේ යයි ඒ තෙරුන් වෙත එළඹ ස්වාමීනි! අප දෙදෙනාගෙන් වඩා ලක්‍ෂණ කවරෙක්දැයි විචාළහ. ඒ මහළු භික්‍ෂුව ඇවැත්නි! තොප අතරින් මම ම වඩා ලක්‍ෂණ වෙමියි කීවේය. ලාබාල දෙනම, මේ මහල්ලා අප විසින් විචාරණ ලද කරුණු නොකියා නොවිමසූ දෙයක් කීවේ යයි ඔහුට අපහාස කොට ගියාහුය. ඔවුන්ගේ මේ ක්‍රියාව භික්‍ෂු සංඝයා අතරෙහි ප්‍රකට විය. ඉක්බිති එක්දිනක් දම්සභාවෙහි ඇවැත්නි! මහලු තෙරුන් වහන්සේ වනාහි රූපය ගැන සැලකිලිමත් ලාබාල තෙරුන් දෙනම ලජ්ජාවට පත් කළහ යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විමසා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! මේ ලාබාල භික්‍ෂූන් දෙනම රූපයට ප්‍රශංසා කරන්නාහු දැන් පමණක් නොවේ. පෙරත් රූපයම නළවමින් හෙවත් අගයමින් හැසිරුණාහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ ගංගානම් ගං තීරයේ රුක්දෙවියෙක් වී සිටියෝය. එකල ගංගා, යමුනා නදී දෙක එක්වන ස්ථානයෙහි ගංගෙය්‍ය ද යාමුන්‍යෙයද යන මසුන් දෙදෙනා මම ශෝභාමත් වෙමි. නුඹ ශෝභාවත් නොවෙහි යයි නුඹේ රූපය නිසා තර්ක කරමින් නුදුරෙහි ගංඉවුරෙහි කැස්බෙකු සිටිනු දැක, මොහු අපගේ ලස්සන බව හෝ අවලක්‍ෂණ බව හෝ දන්නේ යයි කැස්බෑවා වෙත ගොස් යහලු කැස්බෑවාණෙනි! ගංගෙය්‍ය ලස්සන ද නැතිනම් යාමුන්‍යෙය ලස්සනදැයි විචාළහ. එවිට කැස්බෑවා ගංගෙය්‍යද යාමුනෙය්‍යද දෙදෙනාම ශෝභමාන වෙති. එහෙත් නුඹලා දෙදෙනාටත් වැඩියෙන් මම ලස්සන වෙමියි යන මේ අර්ථය ප්‍රකාශ කරමින්
සොභති මච්ඡො ගංගෙය්‍යො අථො සොභති යාමුනා,
චතුප්පදායං පුරිසො නිග්‍රෝධ පරිමණ්ඩලො,
ඊසකායක ගීවො ච සබ්බෙව අතිරොචති.
යන පළමු ගාථාව කීවේය.
“ගංගාවෙහි මත්ස්‍යයාද බබළයි. යමුනාවෙහි උපන් මත්ස්‍යයාද බබළයි. නුගරුකක් මෙන් වටවූ කයක් ඇති ඒරියා කඳක් වැනි දිග බෙල්ලක් ඇති පා සතරක් ඇති මේ සතා හැමදෙනාටම වඩා බබළයි.”
එහි, චතුප්පාදායං යනු පා සතරක් ඇති මේ තෙමේ පුරිසො යනු තමන් සඳහා කියයි. නිග්‍රෝධ පරිමණ්ඩලො යනු මනාව වැඩුණු නුගගසක් මෙන් වටවූ ඊසකායතගීවො යනු රථයක ඒරියා කඳ මෙන් දිග බෙල්ලක් ඇති, සබ්බෙව අතිරොචති යනු මෙසේ සටහන්වලින් (ලකුණ) යුත් කැස්බෑවා සියල්ලන්ටම වඩා බබළයි. මම ම තෙපි සියල්ල ඉක්මවා බබළන්නෙමියි කියයි.
මාලුවෝ කැස්බෑවාගේ කථාව අසා එම්බා පව්කාර කැස්බෑවෙනි, අප විසින් ඇසූ ප්‍රශ්නයට උත්තර නොදී අනිකක්ම කීවේයයි කියා
යං පුච්ඡිතො නතං අක්ඛා අඤ්ඤං අක්ඛාසි පුච්ඡිතො,
අත්තප්පසංසකො පොසො නායං අසමාක රුච්චති.
යන දෙවන ගාථාව කීවාහුය.
“යමක් ඇසීද එයට උත්තර නොකීයේය. ඇසූවිට අනිකක් කීවේය. තමන් වර්ණනා කරගන්නා මේ පුද්ගලයා (කැස්බෑවා) අපට රුචි නොකරයි.”
එහි, අත්තප්පසංසකො යනු තමන් ප්‍රශංසා කරගන්නා සුලු තමා උසස්කොට කථාකරන පුද්ගලයා, නායං අස්මාක රුච්චති යනු මේ පව්කාර කැස්බෑවා අපට රුචි නොවෙයි. නොඉවසයි. කැස්බෑවාගේ මතුපිටට ජලය විසිකොට සිය ස්ථානවලටම ගියාහුය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල්හි මාලුවෝ දෙදෙනා මේ ලාබාල භික්‍ෂූන් දෙදෙනා වූහ. කැස්බෑවා මහලු භික්‍ෂුවය. මෙම කරුණ ප්‍රත්‍යක්‍ෂ කරගත් (ඇසින් දුටු) ගංතෙර උපන් රුක්දෙවියා මම ම වූවෙමි යි වදාළ සේක.
6. කුරුංගමිග ජාතකය (206)
ඉංඝ වද්ධමයං පාසං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත්, තෙරුන් අරබයා වදාළ සේක. එකල්හි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මැරවීමට දෙව්දත් උත්සාහ කරතියි මහණෙනි, මාව මරන්නට දෙව්දත් උත්සාහ කළේ දැන් පමණක් නොවේ. අතීතයේත් උත්සාහ කෙළේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.