6. කුරුංගමිග ජාතකය (206)
ඉංඝ වද්ධමයං පාසං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත්, තෙරුන් අරබයා වදාළ සේක. එකල්හි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මැරවීමට දෙව්දත් උත්සාහ කරතියි මහණෙනි, මාව මරන්නට දෙව්දත් උත්සාහ කළේ දැන් පමණක් නොවේ. අතීතයේත් උත්සාහ කෙළේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කුරුංග නම් මුවෙකුව වනයෙහි එක් විලක් නුදුරෙහි එක් ලැහැබක වාසය කළ සේක. ඒ විල අසලම එක් ගසෙක කෑරලෙක් ද විලෙහි ඉබ්බෙක් ද වාසය කළහ. මෙසේ මේ තිදෙනාම යහලුව, ඔවුනොවුන් ප්රියමනාපයෙන් වාසය කළාහුය. ඉක්බිති එක් මුව වැද්දෙක් වනයෙහි හැසිරෙන්නේ පැන් තොටෙහි (දිය බීමට එන තැන) බෝසතාණන් වහන්සේගේ පාසටහන දැක ලෝහයෙන් තැනූ දම්වැලකට සමාන වූ හම්පටින් තැනූ මරුවැල අටවා ගියෙය්. බෝසතාණන් වහන්සේ දිය බීමට පැමිණි මුල් අවස්ථාවේදීම මලෙහි බැඳී බැගෑ හඬ පැතිරවූහ. මුවාගේ ඒ හඬින් ගස මුදුනේ කෑරලාද දියෙන් ඉබ්බාද අවුත් කුමක් කළ යුතුදැයි සාකච්ඡා කළහ. ඉක්බිති කෑරලා ඉබ්බා අමතා යහලුව, නුඹට දත් ඇත. නුඹ මේ මලපුඩුව කපව. මම ගොස් යම්සේ වැද්දා නොඑයිද එසේ බාධා කරන්නෙමි. මෙසේ අප දෙදෙනාම කරන ලද උත්සාහයෙන් අපගේ යාලුවාගේ ජීවිතය ලබන්නේ යයි කියා මේ කරුණ ප්රකාශ කරමින්,
ඉංග වද්ධමයං පාසං ඡින්ද දන්තෙහි කච්ඡප,
අහං තථා කරිස්සාමි යථා නෙහිති ලුද්දකො.
අහං තථා කරිස්සාමි යථා නෙහිති ලුද්දකො.
යන පළමු ගාථාව කීවේය.
“එබැවින් ඉදිබුවාණෙනි! වරපටින් ඇඹරූ පුඩු දත්වලින් කපව. යම්සේ වැද්දා නො එන්නේද, එපරිදි (පමා කිරීම) මම කරන්නෙමි.”
ඉබ්බා සම්පටිය කන්නට (සිඳලන්නට) පටන් ගත්තේය. කෑරලා වැද්දා වාසය කරන ගමට ගියේය. වැදිපුත්රයා ඉතා පාන්දරින්ම උල් අවියක් රැගෙන නික්මුණේය. කෑරලාද ඔහුගේ නික්මෙන වේලාව දැන හඬලා පියාපත් ගසා දමා, ඉදිරිපස දොරටුවෙන් නික්මෙන ඔහුගේ මුහුණෙහි හැප්පුනේය. වැදිපුත්රයා, මේ කාලකණ්ණි පක්ෂියා මගේ ඇඟේ හැපුනේ යයි නැවතී ටික වේලාවක් නිදාගෙන නැවතත් උල් ආයුධය රැගෙන නැගිට්ටේය. කෑරලා, මොහු පළමුව ඉදිරිපස දොරටුවෙන් නික්මුණු නිසා දැන් පසුපස දොරටුවෙන් නික්මෙන්නේ යයි දැන ගෙයි පසුපස සැඟවී හුන්නේය. වැද්දා ද ඉදිරිපස දොරටුවෙන් නික්මෙන මා විසින් කාලකණ්ණි කුරුල්ලා දක්නා ලදි. දැන් පසුපස දොරෙන් නික්මෙන්නෙමියි පසුපස දොරටුවෙන් නික්මුනේය. කෑරලා නැවතත් හඬාගෙන ගොස් මුහුණෙහි හැප්පුනේය. වැද්දා නැවතත් කාලකණ්ණි කුරුල්ලා විසින් මම පහර ලද්දෙමි. මොහු මට යන්නට නොදෙන්නේ යයි නැවතී අරුණු නැගෙන තෙක් නිදා අරුණු නැගුණු පසු නැගිට ආයුධය රැගෙන නික්මුනේය. කෑරලා වේගයෙන් පියාඹා ගොස් වැද්දා එන්නේ යයි බෝසතාණන් වහන්සේට කීවේය.
ඒ අවස්ථාවෙහි ඉබ්බා විසින් එක වරපටක් හැර සෙසු වරපටවල් හපා සිඳින ලදි. ඉබ්බාගේ දත් වැටෙන තරමට පත්ව මුඛය ලෙයින් තෙත් විය. බෝසතාණන් වහන්සේ වැදිපුත්රයා උල් ආයුධය රැගෙන හෙණ වේගයෙන් එනු දැක ඒ වරපටත් සිඳගෙන වනයට පිවිසියේය. කෑරලා ගස මුදුනේ ඉඳගත්තේය. ඉබ්බා වනාහි මහන්සි වැඩිකමට ඒ අසලම සිටියේය. වැදිපුත්රයා ඉබ්බා පසිම්බුවක දමා එක් කණුවක එල්ලුවේය. බෝසතාණන් වහන්සේ නැවතී බලන්නේ ඉබ්බා අල්ලා ගත් බව දැන සහායකයාට ජීවිතය රැක දෙන්නෙමියි දුර්වලයෙකු මෙන් අඟවා වැද්දාට පෙනෙන්නට සැලැස්වීය. වැද්දා මේ මුවා දුර්වලයෙකු වන්නේ යයි ඌ මරන්නෙමියි සිතා ආයුධය ගෙන ලුහුබැන්දේය. බෝසතාණන් වහන්සේත් ඉතා ළං වන්නේත් නැතිව දුර වන්නේත් නැතිව යන්නේ වැද්දා රැගෙන කැලයට පිවිසියේය. දුරට ගිය බව දැන පා වංචාකොට අන් කෙටි මගකින් පවනට බඳු වේගයෙන් ගොස් අඟින් පසිම්බුව ඔසවා බිම දමා පලා ඉබ්බා එළියට දැම්මේය. කෑරලාද ගසින් බැස්සේය. බෝසතාණන් වහන්සේ දෙදෙනාටම අවවාද දෙමින් මම නුඹලා නිසා පණ රැකගතිමි. තොප විසින් යහලු වූ මට කළයුතු දේ කරන ලදි. දැන් වැද්දා අවුත් තොප අල්ලා ගත්තේය. ඒ නිසා යහලු කෑරලා නුඹ තමන්ගේ දරුවන් රැගෙන අන් තැනකට යව. යහලු ඉබ්බාණනි, නුඹද දියට පිවිසෙන්නයි කීවේය. ඔවුහු එසේ කළාහුය.