4. වීරක ජාතකය (204)
අපි වීරක පස්සෙසී යන මේ දේශනාව ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක් බුද්ධ ලීලාව දැක්වීමක් අරබයා වදාළ සේක. සැරියුත් මුගලන් මහා ශ්‍රාවක තෙරුන් වහන්සේලා දෙව්දත් භික්‍ෂුවගේ පිරිස රැගෙන වැඩම කළ කල්හි බුදුරජාණන් වහන්සේ ශාරිපුත්‍රයෙනි! තෙපි දැක දෙව්දත් කුමක් කළෙහිදැයි විමසා, ස්වාමීනි! සුගත් ලීලාව දැක්වීයයි කී කල්හි ශාරිපුත්‍රයෙනි, දෙව්දත් මා අනුකරණය කරමින් විනාශයට පත්වූයේ දැන් පමණක් නොවේ. පෙරත් විනාශයට පැමිණියේ යයි වදාරා, තෙරුන් වහන්සේලා විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමවත් පෙදෙසෙහි දියකාවන්ගේ යෝනියෙහි ඉපදී එක් විලක් ඇසුරුකොට විසූ සේක. ඔහුට වීරක යයි නම් විය. එකල්හි කසී රටේ දුර්භික්‍ෂයක් විය. මිනිස්සු කවුඩු බතක් දෙන්නට හෝ යකුන්, නාගයන් සඳහා බලිකර්ම කරන්නට හෝ නොහැකි වූහ. දුර්භික්‍ෂය ඇති රටෙන් කාක්කෝ බොහෝ සෙයින් වනයට පිවිසියහ. බරණැස වැසි සවිට්ඨක නම් එක් කපුටෙක් කැවිඩිය රැගෙන ‘වීරක’ නම් දියකාවා වසන තැනට ගොස් ඒ විල ඇසුරුකොට එකත්පසෙක වාසය කෙළේය. කවුඩා එක්දිනක් ඒ විලෙහි ගොදුරු ගනිමින් විලට බැස මසුන් කා ගොඩට පැමිණ සිරුර වේලන (අව්ව තපින) වීරකයා දැක, මේ දියකාවා නිසා බොහෝ මසුන් ලබන්නට හැකියයි සිතා මොහුට උපස්ථාන කරන්නෙමියි දියකාවා වෙත ගොස් යහලුව ඇයිදැයි විමසූ කල ස්වාමීනි, ඔබට උවටැන් කිරීමට කැමැත්තෙමියි කියා ඔහු විසින් යහපතැයි පිළිගත් කල්හි එතැන් පටන් උපස්ථාන කෙළේය. වීරකද එතැන් පටන් තමන්ට යැපෙන පමණට අනුභවකොට මාලුන් ගොඩදමා සවිට්ඨකට දෙයි. ඌද ඇති තරම් අනුභවකොට සෙස්ස කැවිඩියට දෙයි.
පසුකලෙක කපුටාට මේ තෙමේ දියකාවෙකි. කළුවන්ය. මමද කලුවන්ය. ඇස් හොට පාවලින් මොහුගේත් මගේත් වෙනසක් නැත. මෙතැන් පටන් දියකාවා විසින් අල්ලාගන්නා ලද මසුන්ගෙන් මට වැඩක් නැත. මම ම අල්ලා ගන්නෙමියි මානය උපන්නේය. ඌ වීරක වෙත ගොස් යහලුව, මෙතැන් පටන් මම ම විලට බැස මාලුන් අල්ලා ගන්නෙමියි කියා එසේ කියා යහලුව! නුඹ ජලයට බැස මසුන් අල්ලන කුලයෙහි උපන්නෙක් නොවේ. නැසෙන්නට එපායයි වළක්වද්දීම ඒ වචන ගණන් නොගෙන විලට බැස දිය යටට පිවිස උඩට එමින් දියසෙවෙල් සිඳගෙන මතුවන්නට නොහැකි විය. දියසෙවෙල් අතරෙහි රැඳුනේය. හොටේ අග පමණක් පෙනෙන්නට විය. කපුටා හුස්ම ගැනීමට නොහැකිව ජලය තුළදීම මරණයට පත්විය. ඉක්බිති කවුඩාගේ බිරිඳ පැමිණ කපුටා කවුඩා නොදක්නේ වූ දේ දේ ගැන ගන්නට වීරකයාගේ සමීපයට ගොස් ස්වාමීනි! සවිට්ඨක නොපෙනෙයි. ඔහු කොහිදැයි විමසමින්
අපි වීරක පස්සෙසි සකුණං මඤ්ජු භාණකං,
මයුරගීව සංකාසං පතිං මය්හං සවිට්ඨකං.
යන පළමු ගාථාව කීවාය.
“වීරක! මියුරු ලෙස හඬන, මොණර බෙල්ලකට බඳු පැහැ ඇති මගේ සැමියා වන සවිට්ඨක නම් පක්‍ෂියා දක්නෙහිද?”
එහි අපි වීරක පස්සෙසි යනු ස්වාමීනි! වීරක දුටුවෙහිද? මඤ්ජුභාණකං යනු මිහිරි ලෙස හඬන කැවිඩිය රාග වශයෙන් (සැමියා කෙරෙහි ඇති රාගය නිසා) මගේ සැමියා මිහිරි හඬ ඇති කෙනෙකැයි සිතයි. එහෙයින් මෙසේ කීවාය. මයුරගීව සංකාසං යනු මොණරකුගේ බෙල්ලට සමාන වර්ණය ඇති.
ඒ අසා වීරක ඔව්. නුඹේ ස්වාමි පුරුෂයා ගිය තැන දනිමි යයි කියා
උදකථලචරස්ස පක්ඛිනො නිච්චං ආමක මච්ඡ භොජිනො,
තස්සානුකරං සවිට්ඨකො සෙවාලෙ පළිගුණ්ඨිතො මතො.
යන දෙවන ගාථාව කීවේය.
“දියගොඩ දෙකේ හැසිරෙන නිතර අමු මසුන් ආහාරයට ගන්නා, දියකාවා අනුකරණයට ගිය සවිට්ඨක නම් කපුටා දිය සෙවෙල්වල පැටලී මළේය.”
එහි, උදකථල චරස්ස යනු දියෙහිද ගොඩබිමෙහිද හැසිරීමට සමත් යනුවෙන් තමා අරමුණුකොට කියයි. තස්සානුකරං ඔහු අනුකරණය කරන්නේ පළිගුණ්ඨිතො මතො යනු ජලයෙහි පිවිස දියසෙවෙල් කඩාගෙන මතුවන්නට නොහැකි වන්නේ දියසෙවල්වලින් වෙළෙන ලද්දේ ජලය යටදීම මළේය. බලව. ඌගේ හොටය පෙනේ යනුයි. ඒ අසා කැවිඩිය වැළපී බරණැසටම ගියාය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල සවිට්ඨක දෙව්දත් තෙරය. වීරක වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
5. ගංගෙය්‍ය ජාතකය (205)
සොභති මච්ඡො ගංගෙය්‍යො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් ලාබාල භික්‍ෂූන් දෙනමක් මුල්කරගෙන වදාළ සේක. සැවැත් නුවරවාසී ඒ කුලපුත්‍රයෝ දෙදෙනෙක් සසුනෙහි පැවිදිව අසුභ භාවනාවෙහි නොයෙදී රූපයට ප්‍රශංසා කරන්නෝ ව රූපය වර්ණනා කරන්නෝ ව හැසුරුණාහ. ඔවුහු එක්දිනක් නුඹ ලස්සන නැත්තෙහිය. මම ලස්සන වෙමියි රූපය නිසා උපන් විවාදය, නුදුරෙහි සිටි එක් මහලු තෙර නමක් දැක මේ භික්‍ෂුව අපගේ ලස්සන බව හෝ අවලස්සන බව දන්නේ යයි ඒ තෙරුන් වෙත එළඹ ස්වාමීනි! අප දෙදෙනාගෙන් වඩා ලක්‍ෂණ කවරෙක්දැයි විචාළහ. ඒ මහළු භික්‍ෂුව ඇවැත්නි! තොප අතරින් මම ම වඩා ලක්‍ෂණ වෙමියි කීවේය. ලාබාල දෙනම, මේ මහල්ලා අප විසින් විචාරණ ලද කරුණු නොකියා නොවිමසූ දෙයක් කීවේ යයි ඔහුට අපහාස කොට ගියාහුය. ඔවුන්ගේ මේ ක්‍රියාව භික්‍ෂු සංඝයා අතරෙහි ප්‍රකට විය. ඉක්බිති එක්දිනක් දම්සභාවෙහි ඇවැත්නි! මහලු තෙරුන් වහන්සේ වනාහි රූපය ගැන සැලකිලිමත් ලාබාල තෙරුන් දෙනම ලජ්ජාවට පත් කළහ යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විමසා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! මේ ලාබාල භික්‍ෂූන් දෙනම රූපයට ප්‍රශංසා කරන්නාහු දැන් පමණක් නොවේ. පෙරත් රූපයම නළවමින් හෙවත් අගයමින් හැසිරුණාහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.