3. ඛන්‍ධවත්ත ජාතකය (203)
විරූපක්ඛෙහි මෙ මෙත්තං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා භික්‍ෂු කෙනෙකුන් අරබයා දේශනා කළ සේක. ඔහු ගිනිහල් ගෙයි දොරටුවෙහි දර පලනවිට දිරූ දරකඩක් තුළින් එක් සර්පයෙක් අවුත් පයේ ඇඟිල්ලකට දෂ්ට කෙළේය. ඒ භික්‍ෂුව සර්ප විෂ වැදී එහිම අපවත් විය. උන්වහන්සේගේ අපවත් වීම විහාරය පුරාම ප්‍රකට විය. දම්සභාවෙහිදී භික්‍ෂූහු ඇවැත්නි! අසවල් භික්‍ෂුව වනාහි ගිනිහල් ගේ ඉදිරිපිට දර පලන්නේ සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේ එහිම අපවත් වී යයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි ඉදින් මහණෙනි, ඒ භික්‍ෂුව සතර සර්පරාජ කුලයන් අරබයා මෙත් සිත වැඩුවේ නම් ඔහුට සර්පයා දෂ්ට නොකරන්නේය. පැරණි තවුසෝද බුදුවරු නොමැති කාලවලත් සර්පරාජ කුල සතර කෙරෙහි මෙත් සිත වඩා ඒ සර්පරාජ කුලයන් නිසා උපදින බියෙන් මිදුනාහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජකරන කාලයේදී බෝසතාණන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්වූවාහු කම්සුව හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව අභිඥා ද සමාපත්තීන්ද උපදවා හිමවත් පෙදෙසෙහි ගඟක් නවතින එක්තරා තැනක පන්සලක් තනවාගෙන ධ්‍යාන සුවයෙන් පසුවන්නේ තාපස පිරිස පිරිවරාගෙන වාසය කළ සේක. එකල්හි ගංඉවුරෙහි නොයෙක් ආකාර සර්පයෝ තාපසවරුන්ට අනතුරු කරත්. බොහෝවිට සෘෂිවරු මරණයට පත්වෙති. තාපසවරු ඒ කරුණ බෝසතාණන් වහන්සේට සැල කළාහුය. බෝසතාණන් වහන්සේ සියලු තාපසවරු රැස්කරවා ඉදින් නුඹලා වනාහි සර්ප කුල හතර කෙරෙහි මෙත් සිත වඩන්නාහු නම් තොපට සර්පයෝ දෂ්ට නොකරන්නාහුය. ඒ නිසා මෙතැන් පටන් සර්පරාජ කුලයන් කෙරෙහි මෙසේ මෙත් වඩව් යයි කීහ.
විරූපක්ඛෙහි මෙ මෙත්තං මෙත්තං එරාපථෙහි මෙ,
ජබ්‍යාපුත්තෙහි මෙ මෙත්තං මෙත්තං කණ්හාගොතමකෙහිච.
යන මේ ගාථාව කී සේක.
“මාගේ මෛත්‍රිය විරූපාක්‍ෂ නම් නාරජ කුලයන් සමගද වේ. මාගේ මෛත්‍රිය ඒරාපථ නම් නාරජ කුලයන් සමගද වේ. මාගේ මෛත්‍රිය ඡබ්‍යාපුත්ත නම් නාරජ කුලයන් සමගද වේ. මාගේ මෛත්‍රිය කණ්හා ගෝතමක නම් නාරජ කුලයන් සමගද වේ.”
එහි, විරූපක්ඛෙහි මෙ මෙත්තං යනු විරූපාක්‍ෂ නම් නාගරාජ කුලයන් සමග මාගේ මෛත්‍රිය වේ. ඒරාපථ ආදි නාකුලයන් පිළිබඳවද මේ ක්‍රමයමයි. ඒරාපථ නාගරාජ කුලය ඡබ්‍යාපුත්ත නාගරාජ කුලය, කණ්හා ගෝතමක නාගරාජ කුලය යනු ඒ නාගරාජ කුලයෝය.
මෙසේ නාගරාජ කුල සතර දක්වා ඉදින් තෙපි මොවුන් කෙරෙහි මෛත්‍රිය වඩන්න හැකිවන්නාහු නම් දීර්ඝ ජාතික සත්තු තොපට දෂ්ට නොකරන්නාහුය. වෙහෙසට පත් නොකරන්නාහුයයි කියා දෙවන ගාථාව කී සේක.
අපාදකෙහි මෙ මෙත්තං මෙත්තං දිපාදකෙහි මෙ,
චතුප්පදෙහි මෙ මෙත්තං මෙත්තං බහුප්පදෙහි මෙති
“පා නැතියන් සමගද මාගේ මෛත්‍රිය වේ. දෙපා ඇත්තන් සමගද මගේ මෛත්‍රිය වේ. සිවුපාවුන් සමගද මගේ මෛත්‍රිය වේ. බහුපා ඇති සතුන් සමග මගේ මෛත්‍රිය වේ.”
එහි පළමු පාදයෙන් (මෛත්‍රියෙහි) සීමාව දක්වා පා නැති සියලු දීර්ඝ ජාතික (බඩගා යන සර්ප ආදීන්) සතුන් කෙරෙහිද මසුන් කෙරෙහිද මෛත්‍රී භාවනාව දක්වන ලදි. දෙවන පාදයෙන් මිනිසුන් කෙරෙහිද කුරුළු ජාතීන් කෙරෙහිද, තුන්වන පාදයෙන් ඇත්, අස් ආදී සියලු සිවුපාවුන් කෙරෙහිද හතරවන පාදයෙන් ගෝණුස්සන්, පත්තෑයන්, දළඹුවන්, මකුණු, මකුළු ආදීන් කෙරෙහිද දක්වන ලදි.
මෙසේ ස්වරූප වශයෙන් මෛත්‍රී භාවනාව දක්වා දැන් ඉල්ලීම් (ආයාචනා) වශයෙන් දක්වමින්
මා මං අපාදකො හිංසි මා මං හිංසි දිපාදකො,
මා මං චතුප්පදො හිංසි මා මං හිංසි බහුප්පදො.
යන මේ ගාථාව කීහ.
“අපාදක සතෙක් මට හිංසා නොකෙරේවා. දෙපා සතෙක් මට හිංසා නොකෙරේවා. සිව්පා සතෙක් මට හිංසා නොකෙරේවා. බහුපා ඇති සතෙක් මට හිංසා නොකෙරේවා.”
එහි, මා මං යනු මෙසේ අපාදක ආදී ඒ සතුන් අතුරෙන් කිසියම් එක් සතෙක් හෝ මට හිංසා නොකෙරේවා. මා නොපෙලාවායි මෙසේ ආයාචනා කරමින් මෛත්‍රිය වඩව් යන අර්ථයි.
දැන් (මෛත්‍රියෙහි) සීමාවක් නොදැක්වීම් වශයෙන් භාවනාව දක්වන්නාහු
සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතාච කෙවලා,
සබ්බෙ භද්‍රාණි පස්සන්තු මා කඤ්චි පාප මාගමා.
යන මේ ගාථාව කීහ.
“සියලු සත්හුද, සියලු ප්‍රාණීහුද සියලු භූතයෝද යන සියල්ලෝම යහපතක්ම දකිත්වා. කිසිවෙකු කරා දුකක් නොපැමිණේවා!”
එහි, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සසරෙහි පඤ්චස්කන්ධයන්හි ඇලුණු, පැටලුණු යන අර්ථයෙන් සත්තා නම් වේ. ආශ්වාස ප්‍රශ්වාස පැවතීම් සංඛ්‍යාත පාණන (හුස්ම ගැනීම) වශයෙන් පාණා නම් වේ. මෙසේ වචනවල විශේෂය දතයුතුය. ඉපදීම් වැඩීම් වශයෙන් භූතා නම් වේ. මෙසේ අවිශේෂයෙන් (සාමාන්‍යයෙන්) ඒ සියලු පද සියලු සත්ත්වයන් ඇතුළත් වන පදයයි දතයුතුය. කෙවලා යනු සියලු. මෙය ‘සබ්බ’ ශබ්දයට පරියාය (සමාන) වචනයකි. භද්‍රානි පස්සන්තු යනු ඒ සියලු සත්ත්වයෝ සුන්දර වූවක්ම යහපත් වූවක්ම හොඳ දෙයක්ම දකිත්වා! මාකඤ්චි පාප මාගමා යනු මොවුන් අතුරෙන් කිසියම් එකම සත්ත්වයෙකුවත් පාපී ලාමක දුකක් නොඒවා, නොපැමිණේවා. සියල්ලෝම තරහ නැති, සතුටු සිත් ඇති, සැප ඇති, දුක් නැති අය වෙත්වායි,
මෙසේ සියලු සත්ත්වයන් කෙරෙහි සීමාවක් නැතිව මෙත් වඩව්යි කියා නැවත තෙරුවන් ගුණ මෙහෙනි කරවන්නට,
අප්පමාණො බුද්ධො, අප්පමාණො ධම්මො, අප්පමාණො සංඝොති ආහ.
බුදුගුණ අනන්තය. දහම් ගුණ අනන්තය. සඟ ගුණ අනන්තයයි කීහ.
එහි, ප්‍රමාණයක් ඇති කෙලෙස් නැති හෙයින්ද ගුණවලින් ප්‍රමාණයක් නැති හෙයින්ද බුද්ධ රත්නය අප්‍රමාණය. ධම්මො යනු නවවිධ ලොව්තුරා දහම එහිද ප්‍රමාණයක් කළ නොහැකි නිසා අප්‍රමාණයි. ඒ අප්‍රමාණ ධර්මයෙන් යුතු බැවින් සංඝයා ද අප්‍රමාණය.