2. කේළිසීල ජාතකය (202)
හංසා කොඤ්චා මයුරා ච යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් මහ වෙහෙරෙහි වැඩවාසය කරන සේක් ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් මුල්කරගෙන දේශනා කළ සේක. ඒ තෙරුන් වහන්සේ වනාහි බුදු සසුනෙහි ප්රඥාවෙන් ප්රකට වූහ. මිහිරි කටහඬ ඇති සේක. මධුර ධර්මකථිකයෙක් වූ සේක. සිව් පිළිසිඹියා පත්වූ සේක. අසූමහා ශ්රාවකයන් වහන්සේලා වැඩසිටි මහා ක්ෂීණාශ්රවයන් වහන්සේ නමක් වූ සේක. මිටි වූ ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ සාමණේර නමක මෙන් කුඩාය. කෙළිසෙල්ලම් පිණිස සිටින කෙනෙකු බඳුය. එක්දිනක් උන්වහන්සේ තථාගතයන් වහන්සේට වැඳ ජේතවනාරාම කොටුවට වැඩම කළවිට ජනපදවාසී තිස්නමක් පමණ භික්ෂූහු දසබලධාරීන් වහන්සේ වඳින්නෙමුයි දෙව්රමට පිවිසෙන්නාහු විහාර කොටුවෙහි වැඩසිටි තෙරුන් දැක, එක්තරා සාමණේරයකු යන හැඟීමෙන් තෙරුන් වහන්සේගේ සිවුරු කොන් ගනිමින් අත් අල්ලා ගනිමින් හිස අතගාමින්, නාසය පිරිමදිමින්, කන අල්ලා සොලවා, හස්තවිකාර කොට පාසිවුරු තැන්පත් කොට ශාස්තෲන් වහන්සේ වෙත එළඹ වැඳ හිඳගෙන, බුදුරජාණන් වහන්සේ විසින් මිහිරි ලෙස පිළිසඳර කතාකළ කල්හි, ස්වාමීනි, මිහිරි ලෙස බණ කියන ලකුණ්ටක භද්දිය නම් වූ ශ්රාවකයෙක් ඔබවහන්සේට සිටියි. ඒ තෙරුන් වහන්සේ දැන් කොහි සිටිත්දැයි විමසූහ. මහණෙනි, නුඹලා දකිනු කැමැත්තහුද? එසේය ස්වාමීනි. මහණෙනි, නුඹලා දොර කොටුවෙහිදී යමෙකු දැක සිවුරු කොන් ආදියෙන් ගනිමින් හස්තවිකාර කොට ආවාහුද? ඒ ලකුණ්ටක භද්දියයි. ස්වාමීනි! මෙබඳු පැතූ පැතුම් ඇති ශ්රාවකයෙකු කුමක් නිසා අල්පේශාක්යව උපන්නේද? බුදුරජාණන් වහන්සේ තමා විසින් කරන ලද පෙර පවක් නිසා යයි වදාරා උන්වහන්සේලා විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සක්දෙව් රජව උපන් සේක. එකල බඹදත් රජුට දිරාගිය ජරාවට පත්වූ ඇතෙකු හෝ අශ්වයෙකු හෝ ගොනෙකු හෝ පෙන්වන්නට නොහැකි විය. කෙළිලොල් වී එබඳු සතෙකු දුටුවිට ලුහුබඳවයි. දිරාගිය කරත්තයක් වුවද දැක කඩා බිඳ දම්මවයි. දිරාපත් ස්ත්රීන් දැක කැඳවා බඩට ගස්සවා බිම වට්ටවා නැවත නැගිටුවා බිය ගන්වයි. දිරාපත් පුරුෂයන් දැක පිනුම් ගසන්නාක් මෙන් බිම පිනුම් ගැසීම් ආදී ක්රීඩා කරවයි. නොදක්නේ නමුදු අසවල් නිවසෙහි මහල්ලෙකු ඇතැයි අසාද කැඳවා ක්රීඩා කරයි. මිනිස්සු ලජ්ජාවට පත්ව තමන්ගේ මව්පියන් වෙනත් රටවලට යවත්. මවට උවටැන් කිරීමේ සිරිත, පියාට උවටැන් කිරීමේ සිරිත සිඳී ගියේය. රාජ සේවකයෝද කෙලිලොල් ගතියෙන්ම යුක්ත වූහ. මැරුණු මැරුණු අය සතර අපාය පුරවත්. දෙව් පිරිස පරිහාණියට පත්වෙති.
සක්දෙවිඳු අලුත් දේව පුත්රයන් නොදක්නේ කාරණය කුමක්දැයි සිහිපත් කරන්නේ ඒ කරුණු දැන මේ රජු දමනය කරන්නෙමියි මහලු පෙනුමක් මවාගෙන දිරාගිය යානක කිරිමෝරු හැලි දෙකක් තබවාගෙන දිරාගිය ගොනුන් දෙදෙනෙකු යොදාගෙන එක්තරා සැණකෙළි දිනයක, සරසන ලද ඇතෙකු පිට නැග බඹදත් රජු සරසන ලද නගරය පැදකුණු කරන කල්හි දිරාගිය වස්ත්රයක් ඇඳ ඒ යානය පදවමින් රජුගේ ඉදිරියට ගියේය. බඹදත් රජතුමා දිරාගිය යානය දැක මේ යානය ඉවත් කරවයි කියයි. මිනිස්සු දේවයන් වහන්ස! කොතනදැයි නොදක්නෙමුයි කීවාහුය. ශක්රයා තමන්ගේ ආනුභාවයෙන් රජුට පමණක් තමා පෙන්වයි. ඉක්බිති බොහෝදෙනා ඔහු වෙත පැමිණි කල ඔහුගේ හිස මතින් රථය පදවමින් රජුගේ හිසමත එක් කිරි මෝරු සැලියක් බිඳ වත්කර අනෙක් කිරි මෝරු සැලියත් බින්දේය. ඉක්බිති රජුගේ හිසෙන් සිරුර පුරා කිරි මෝරු වැගිරෙයි. රජතුමා එයින් කරදරයට ලැජ්ජාවට පිළිකුලට පත්වෙයි. ඉක්බිති රජතුමාට එයින් කරදරයක් අපහසුවක් ඇති වූ බව දැන ශක්රයා, යානය අතුරුදහන්කොට ශක්ර ආත්මය මවාගෙන වජ්රය, ගත් අත් ඇත්තේ අහසෙහි සිට පව්කාර අදැහැමි රජතුමනි! කිම ඔබ මහල්ලෙක් නොවන්නෙහිද? නුඹේ ශරීරය ජරාවට පත් නොවන්නේද? කෙළිලොල් වී මහල්ලන් වෙහෙසන්නෙහිද? මේ එකකු නිසා මේ පාප කර්මය කොට මැරි මැරී යන අය අපායවල් පුරවති. මිනිස්සු මව්පියන්ට ඇප උපස්ථාන කරන්නට (පෝෂණය කරන්නට) නොලබත්. ඉදින් මේ පාප කර්මයෙන් නොවළකින්නේ නම් වජ්රයෙන් නුඹේ හිස පළන්නෙමි. මෙතැන් පටන් මේ පව්කර්මය නොකරවයි තැති ගන්වා මව්පියන්ගේ ගුණ කියා වැඩිහිටියන් පිදීමේ උතුම් අනුසස් පවසා ඔවදන් දී සිය ස්ථානයටම (ශක්ර භවනයට) ගියේය. රජතුමා එතැන් පටන් එබඳු ක්රියා කරන්නට සිතුවිල්ලක්වත් ඉපදවූයේ නැත.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සම්මා සම්බුදුව,
හංසා කොඤ්චා මයූරාච, හත්ථියො පසදා මිගා,
සබ්බෙ සීහස්ස භායන්ති, නත්ථි කායස්මිං තුල්යතා
සබ්බෙ සීහස්ස භායන්ති, නත්ථි කායස්මිං තුල්යතා
එවමෙවං මනුස්සෙසු දහරො චෙපි පඤ්ඤවා,
සොහි තත්ථ මහාහොති නෙව බාලො සරීරවා.
සොහි තත්ථ මහාහොති නෙව බාලො සරීරවා.
යන මේ ගාථා වදාළ සේක.
හංසයෝද, කොස්වා ලිහිණියෝද, මොණරුද, ඇත්තුද, පසද මුවෝද අනිත් මුවෝද යන සියලු සත්තු සිංහයාට බිය වෙති. ශරීරයේ සමාන බවක් නැත. (ශරීරයෙහි ලොකු කුඩා බව කරුණක් නොවේ.)
මෙසේම මිනිසුන් අතරෙහි දහරයෙකු (කුඩා කෙනෙකු) වුවද නුවණ ඇති නම් ඔහු වනාහි එහි ලොකු කෙනා වේ. බාලයා, මෝඩයා ලොකු ශරීරයක් තිබුණත් මහත් නොවේ.
එහි, පසදමිගා යනු පසද නම් මුවෝ, පසද මුවෝද සෙසු මුවෝද යන අදහසයි. පසදමිගාතී යනුද පාඨයකි. පසද මුවෝ යන අර්ථයි. නත්ථි කායස්මිං තුල්යතා යනු සිරුරෙහි ප්රමාණයක් නම් නැත. ඉදින් මහත් ශරීර ඇත්තෝ (මෙහි අදහස් කරනු ලැබෙත් නම්) ඇත්තුද පසද මුවෝද සිංහයා මරන්නාහුය. සිංහයා හංසාදී කුඩා ශරීර ඇති සතුන් මරන්නේය. කුඩා ශරීර ඇති සත්තුම සිංහයාට බිය වෙති. ලොකු ශරීර ඇත්තෝ බිය නොවෙති. ශරීර ප්රමාණය පිළිබඳ සැලකීමක් නැති හෙයින් සියලු සත්තු සිංහයාට බිය වෙති. සරීරවා යනු බාලයා මහ සිරුරක් ඇත්තෙක් වුවද මහත් නම් නොවේ. ඒ නිසා ලකුණ්ටක භද්දිය ශරීරයෙන් කුඩා කෙනෙකැයි සිතා ඤාණයෙන්ද ඔහු කුඩා කෙනෙකැයි නොසිතව්.