9. ගහපති ජාතකය (199)
උභයම්මෙ න ඛමතී යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් උකටලී වූම භික්ෂු කෙනෙකුන් අරබයා වදාළ සේක. එසේ වදාරණ සේක් ස්ත්රිය නම් රැකිය නොහැකිය. වැරැද්දක් කොට යම්කිසි උපායකින් සැමියා රවටන්නේම යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජකරන කල්හි අපමහ බෝසතාණන් වහන්සේ ගහපති කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූයේ පවුල් දිවියට එළඹි සේක. ඔහුගේ බිරිඳ දුසිල්ය. ගම්මුලාදෑනියා සමග අනාචාරයෙහි හැසිරෙන්නීය. එය දැනගත් බෝසතාණන් වහන්සේ පරීක්ෂා කරමින් හැසිරෙති. එකල්හි වනාහි වැසිකාලය තුළ බීජ වැපිරූ කල්හි ආහාර අහේනියක් ඇතිවිය. ගොයම් පූදින කාලය උදාවිය. සියලු ගම්වැසියෝ මෙයින් මාස දෙකක් ගියවිට ගොයම් කපා පාගා වී දෙන්නෙමැයි එක්ව ගම්මුලාදෑණියාගෙන් එක් මහලු ගොනෙක් ලබාගෙන මස්කර කෑවාහුය.
ඉක්බිති එක්දිනක් ගම්මුලාදෑණියා කල්යල් බලා සිට බෝසතාණන් වහන්සේ බැහැරගිය අවස්ථාවක ගෙට පිවිසියේය. ඔවුන් දෙදෙනා සැපසේ වැතිර සිටි අවස්ථාවේදීම බෝසතාණන් වහන්සේ ගම් දොරටුවෙන් පිවිස නිවස බලා පිටත්වූ සේක. ගම් දොරටුව දෙස බලා සිටින ඒ ස්ත්රිය ඔහු දැක මේ කවරෙක්දැයි එළිපත්ත උඩ සිට බලන්නී ඒ සැමියාම යයි දැන ගම්මුලාදෑණියාට කීවාය. ගම්මුලාදෑණියා බියෙන් තැති ගත්තේය. ඉක්බිති ඈ ඔහුට බිය නොවන්න. එක් උපායක් ඇත. අප විසින් නුඹෙන් ගවමස් කන ලදි. නුඹ මස් මිල ඉල්ලන්නෙකු ලෙස හිඳිව්. මම වී කොටුවට නැග කොටුව දොර ළඟ සිට වී නැතැයි කියමි. නුඹ ගෙයි මැද සිට අපගේ ගෙදර දරුවෝ සාගින්නේ සිටිති. මට මස් මිළ දෙන්නයි පුන පුනා චෝදනා කරවයි කියා කොටුවට නැගී කොටුදොර ළඟ හිඳ ගත්තාය. ගම්මුලාදෑණියා ගෙයි මැද සිට මස් මිළ දෙන්නයි කියයි. ඈ කොටු දොරටුව ළඟ සිටින්නී කොටුවේ වී නැත. ගොයම් කපා පාගා ගත්විට දෙන්නෙමි. ඒ නිසා යන්නයි කීවාය.
බෝසතාණන් වහන්සේ ගෙට පිවිස ඔවුන්ගේ ක්රියාව දැක මේ පවිටු ස්ත්රිය විසින් කළ උපායක් වන්නේ යයි දැන ගම්මුලාදෑණියා අමතා එම්බා ගම්මුලාදෑණිය! අපි නුඹේ මහලු ගොනාගේ මස් කෑවාහු මෙයින් මාස දෙකක් ගියතැන වී දෙන්නෙමුයි කියා නුඹ අඩ මසක්වත් යන්නට කලින් දැන්ම කුමක් නිසා ඉල්ලා පැමිණියේද? නුඹ මේ කාරණය සඳහා පැමිණ නැත. වෙනත් කරුණක් සඳහා ආවෙහිය. මට නුඹේ පවිටු වැඩ රුචි කරන්නේ නැත. මේ අනාචාර පව්කාරියද කොටුවෙහි වී නැති බව දනී. ඈ දැන් කොටුවට නැගී වී නැතැයි කියන්නීය. නුඹත් දෙන්නයි කියන්නෙහිය. නුඹලා දෙදෙනාගේම ක්රියා මට රුචි නැතැයි ඒ අර්ථය පැහැදිලි කරමින්
උභයම්මෙ නඛමති උභයම්මෙ න රුච්චති,
යාචායං කොට්ඨමොතිණ්ණා නදස්සං ඉති භාසති.
යාචායං කොට්ඨමොතිණ්ණා නදස්සං ඉති භාසති.
තං තං ගාමපති බ්රෑමි කදරෙ අප්පස්මිං ජීවිතෙ,
ද්වෙ මාසෙ කාරං කත්වාන මංසං ජරග්ගවං කිසං,
අප්පත්තකාලෙ චොදෙසි තම්පි මය්හං නරුච්ච.
ද්වෙ මාසෙ කාරං කත්වාන මංසං ජරග්ගවං කිසං,
අප්පත්තකාලෙ චොදෙසි තම්පි මය්හං නරුච්ච.