5. රුහක වර්‍ගය
1. රුහක ජාතකය (191)
අම්භො රුහක ඡින්නාපි යන මේ දේශනාව, බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් පැරණි භාර්යාවගේ පෙළඹවීමක් මුල්කරගෙන වදාළ සේක. විස්තර කථාව අටවන නිපාතයේ ඉන්‍ද්‍රිය ජාතකයේ මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුවට මහණ! ඔබට වනාහි මේ ස්ත්‍රිය අනර්ථකාරීය. පෙර ආත්මයකත් ඈ ඔබට රජු සහිත පිරිස් මැද ලජ්ජා කරවා පමුණුවා ගෙදරින් නෙරපා හරින ලදැයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහා බෝසතාණන් වහන්සේ ඔහුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳගෙන ඉපදී වැඩිවියට පත්වූවාහු පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දැහැමින් රාජ්‍යය කළ සේක. ඔහුට රුහක නම් පෙරවි බමුණෙක් සිටියේය. රුහකට ‘පුරාණි’ නම් බැමිණිය බිරිඳ වූවාය. රජතුමා බමුණාට අශ්ව භාණ්ඩවලින් අලංකාර කොට අශ්වයෙකු දුන්නේය. බමුණා ඒ අසුපිට නැග රජුට උපස්ථානයට යයි. ඉක්බිති ඔහු අලංකාර කරන ලද අශ්වයාගේ පිටෙහි හිඳගෙන යන එන අයුරු දැක ඒ ඒ තැන සිට මිනිස්සු, අනේ! අශ්වයාගේ රූපය අනේ අශ්වයා බබළයි යනුවෙන් අශ්වයාට පසසත්. බමුණා ගෙට අවුත් ප්‍රාසාදයට නැග බිරිඳ ඇමතීය. සොඳුරිය! අපගේ අශ්වයා ඉතා හොබනේයයි මග දෙපස සිටි මිනිස්සු අපගේ අශ්වයාම වර්ණනා කෙරෙත්. ඒ බැමිණිය වනාහි මදක් කොරය. නොමනා පැවතුම් ඇත්තීය. ඈ ඔහුට මෙසේ කීවාය. ආර්යයෙනි! නුඹ අශ්වයා ශෝභමාන වීමට හේතුව නොදන්නෙහිය. මේ අශ්වයා තමන්ගේ අලංකාර කරන ලද අශ්ව භාණ්ඩ නිසා බබළයි. ඉදින් නුඹද අශ්වයෙකු මෙන් සෝභාමත් වීමට කැමති වන්නෙහි නම් අශ්ව භාණ්ඩ පැළඳගෙන ඇතුල් වීථියට බැස අශ්වයෙකු මෙන් පා කොටමින් ගොස් රජතුමා දකින්න. රජතුමාද ඔබව වර්ණනා කරන්නේය. මිනිස්සුද ඔබව වර්ණනා කරන්නෝය.
ඒ උමතු ස්වභාවය (බොළඳ) ඇති බමුණා ඇගේ කීම අසා මේ කරුණ නිසා ඈ කියන්නී යයි නොදැන ඇත්තක් කියන්නේ යයි සිතා කී පරිදි කෙළේය. ඔහු දකින දකින අය පරිහාසයට සිනාසෙමින් ඇදුරුතුමා ශෝභමානයයි කීවාහුය. රජතුමා ඒ දැක ඇදුරුතුමනි, ඔබේ පිත කිපුනේද? උමතු වූවෙහිද? ආදිය කියා ලජ්ජා කෙළේය. එවිට බමුණා නුසුදුසු දෙයක් මවිසින් කරන ලදැයි ලජ්ජාවට පත්ව බැමිණිය කෙරෙහි කිපී තී විසින් රජතුමා ඇතුළු සේනාව අතරෙහි මම ලජ්ජා කරවන ලදිමියි තලා ඈ පළවා හරින්නෙමියි ගෙට ගියේය. ධූර්ත බැමිණිය ඔහු කිපී එන බව දැන කල් ඇතිවම කුඩා දොරටුවකින් නික්මී රජ ගෙදරට ගොස් දින හතරක් පහක් එහිම සිටියාය. රජතුමා ඒ කාරණය දැන පුරෝහිතයා කැඳවා ඇදුරුතුමනි, ස්ත්‍රියගේ නම් දොස් ඇත්තේමය. බැමිණියට සමාව දීමට වටී යයි සමා කරවා,
අම්භො රුහක ඡින්නාපි ජියා සන්‍ධීයතෙ පුන,
සන්‍ධීයස්සු පුරාණියා මා කොධස්ස වසං ගමී.
යන පළමු ගාථාව කීවේය.
“එම්බා රුහක! දුන්නේ දුනුදිය (ලනුව) කැඩුනත් නැවත එය ගැටගසා සන්‍ධි කරනු ලැබේ. ඒ වාගේම නුඹද පුරාණී නම් බිරිඳ සමග එක්වනු. ක්‍රෝධ වසඟයට නොයනු.”
මේ එහි කෙටි තේරුමයි. භො රුහක එම්බා රුහක! ඒකාන්තයෙන් ඡින්නාපි දුන්නෙහි කැඩුණු ලනුව නැවත සන්‍ධීයතෙ එකට සම්බන්ධ කරනු ලැබේ. එසේම නුඹද පුරාණියා පුරාණී නම් බිරිඳ සමග, සන්‍ධියස්සු කොධස්ස වසං මාගමීති එක්වන්න. (සමගි වන්න.) ක්‍රෝධ වසඟයට නොයන්න.
ඒ අසා රුහක බමුණා
විජ්ජමානාසු මරුවාසු, විජ්ජමානෙසු කාරිසු,
අඤ්ඤං ජියං කරිස්සාමි අලඤ්ඤෙව පුරාණියා.
යන දෙවන ගාථාව කීවේය.
දුන්නෙහි ලණුව (දුනුදිය) ‘මරුව’ නම් වූ වැහැරි ඇති කල දුනුදිය කරන අය ඇති කල වෙනත් දුනුදියක් කරන්නෙමි. ‘පුරාණි’ නම් බිරිය නොකැමැත්තෙමි.
එහි අර්ථය මහරජ! මරුවා නම් වැහැරි ද දුනුදිය සාදන මිනිසුන් ද ඇතිකුල වෙනත් දුනුදියක් (ලනුවක්) කරන්නෙමි. මේ කොර වූ පුරාණි නම් වූ බිරිඳ තමන්ට දුනුදියෙන් කම් නැත. මට එයින් ඵලක් නැත. මෙසේද කියා ඈ නෙරපා වෙනත් බැමිණියක ගෙනාවේය.
බුදුරජාණන් වහන්සේ මේ ජාතක ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. චතුරාර්ය සත්‍ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා පුරාණි නම් බිරිඳ අද පුරාණ දූතිකාව වූවාය. රුහක බමුණා කලකිරුණු භික්‍ෂුවයි. බරණැස් රජු වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
2. සිරිකාලකණ්ණි ජාතකය (192)
ඉත්‍ථි සියා රූපවතී’ති ආදී “සිරි කාලකණ්ණි ජාතකය” මහා උම්මග්ග ජාතකයෙහි මතු දක්වන්නේය.
3. චුල්ලපදුම ජාතකය (193)
අයමෙව සා අහම්පි අනඤ්ඤො යන මේ දේශනාව, බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් කලකිරුණු භික්‍ෂුවක මුල්කරගෙන වදාළ සේක. විස්තර කථාව උම්මදන්ත ජාතකයේ මතු ප්‍රකාශ වන්නේය. ඒ භික්‍ෂුව වනාහි බුදුරජාණන් වහන්සේ විසින් ඇත්තද මහණ? නුඹ කලකිරුණේදැයි විමසා වදාළ කල්හි, ඇත්තයි භාග්‍යවතුන් වහන්ස යයි කීවේය. කවරෙක් නුඹව කලකිරෙව්වේදැයි වදාළ කල්හි, ස්වාමීනි! මම අලංකාරකොට සරසන ලද එක් ස්ත්‍රියක දැක කෙලෙස් වසඟව ගොස් කලකිරුණෙමියි කීවේය. ඉක්බිති ඒ භික්‍ෂුවට බුදුරජාණන් වහන්සේ මහණ! ස්ත්‍රිය නම් කෙළෙහිගුණ නොදත්, මිත්‍රද්‍රෝහී දැඩි සිත් ඇත්තීය. පුරාණයේ නුවණ ඇති අය පවා තමන්ගේ දකුණු උරහිස පලා ලේ පොවා ජීවිත දානය දීමෙන් පවා ස්ත්‍රියගේ සිත නොලැබූහයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ රජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්සේක. නම් තබන දවසේ ඔහුට පදුම කුමාරයා යයි නම් කළහ. ඒ කුමාරයාට තවත් කණිටු සහෝදර කුමාරවරුන් හයදෙනෙක් සිටියහ. ඒ හත්දෙනාම පිළිවෙලින් වැඩිවියට පත්ව ගිහිගෙයට සම්බන්ධව (විවාහවී) රජතුමාගේ යහලුවන් මෙන් හැසිරෙත්. ඉක්බිති එක්දිනක් රජතුමා රජමිදුල බලමින් සිටියේ මහ පිරිවරින් රජුට උපස්ථාන කිරීමට එන්නා වූ ඒ කුමාරවරුන් දැක, මොවුහු මා මරා රාජ්‍යය ගන්නාහු යයි සැක උපදවා ඔවුන් කැදවා දරුවනි! තොපි මේ නගරයේ වාසය නොකරව්. අන් තැනකට ගොස් සිට මගේ ඇවෑමෙන් මෙහි අවුත් පරපුරට අයත් රාජ්‍යය ගනිව් යයි කීවේය. ඒ කුමාරවරු පියාගේ කීම පිළිගෙන හඬා වැළපී තම තමන්ගේ ගෙවලට ගොස් බිරින්දන් රැගෙන කොතැනකට හෝ ගොස් ජීවත් වන්නෙමුයි නුවරින් නික්මී මාර්ගයේ යන්නාහු එක් කාන්තාරයකට පැමිණියෝය. එහිදී ආහාරපාන නොලැබ සාගින්න ඉවසා සිටීමට නොහැකිව අපි ජීවත්ව සිටියොත් ස්ත්‍රීන් ලබන්නෙමුයි බාල සොයුරාගේ බිරිඳ මරා කොටස් දහතුනකට බෙදා මස් කෑවාහුය. බෝසතාණන් වහන්සේ තමන්ට හා බිරිඳට ලැබුණු කොටස්වලින් එක් කොටසක් තබා අනික බෙදාගෙන කෑවාහුය. මෙසේ දින හයක් බිරින්දන් හය දෙනෙකුම මරා මස් කෑවාහුය.