10. සාධුසීල ජාතකය (200)
සරීරදව්යං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා බමුණෙකු අරබයා වදාළ සේක. ඔහුට දූවරු සිව්දෙනෙක් සිටියහ. පිරිමි සිව්දෙනෙක් ඒ තරුණියන් ලබාගැනීමට ප්රාර්ථනා කරති. ඔවුන් අතුරෙන් එක් පුරුෂයෙක් මනා රූ ඇත්තේ කඩවසම් සිරුරක් ඇත්තෙකි. එක් අයෙක් වයස්ගත මහල්ලෙකි. එක් අයෙක් උසස් කුල ඇත්තෙකි. එක් අයෙක් සිල්වත්ය. බමුණා තම දූවරු මේ සතර දෙනාගෙන් කවරෙකුට දිය යුතුදැයි සිතුවේය. දූවරු වාසය කරන්නන් විසින් පිහිටුවන්නන් විසින් කවරෙකුට දිය යුතුද? රූප සෝභාවෙන් යුතු තැනැත්තාටද නැතිනම් වයස්ගත තැනැත්තාටද, උසස් කුලවතා හා සිල්වතා යන දෙදෙනාගෙන් එක් අයෙකුටද හෙතෙම ඒ ගැන සිතන්නේ නමුදු නොදැන මේ කරුණ ගැන බුදුරජාණන් වහන්සේ දනිති. උන්වහන්සේ විචාරා ඔවුන් අතුරෙන් සුදුස්සාට දෙන්නෙමියි සිතා සුවඳ, මල් ආදිය ගෙන්වාගෙන විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ (තමන් පැමිණි) ඒ කාරණය මුල සිට කියා, ස්වාමීනි! ඒ සතර දෙනාගෙන් කවරෙකුට දිය යුතුදැයි විචාළේය. එවිට ශාස්තෲන් වහන්සේ පෙරත් මේ ප්රශ්නය නුවණ ඇති අය ඔබට කීවාහුය. භවයෙන් වැසී ඇති බැවින් (ඒ පිළිතුර) සලකා බලන්නට ඔබ අසමත් වන්නෙහි යයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙනගෙන අවුත් බරණැස් නුවර දිසාපාමොක් ඇදුරුතුමා විය. ඉක්බිති එක්තරා බමුණෙකුට දූවරු සතරදෙනෙක් සිටියහ. මේ අයුරින්ම ඒ දූවරුන් පුරුෂයෝ සතරදෙනෙක් පැතූහ. බමුණා කවරෙකුට දිය යුතුදැයි නොදන්නේ ඇදුරුතුමාගෙන් විචාරා දිය යුත්තෙකුට දෙන්නෙමියි ඔහු සමීපයට ගොස් ඒ කරුණ විචාරමින්
සරීර දව්යං වද්ධව්යං සොජච්චං සාධුසීලියං,
බ්රාහ්මණනෙත්වව පුච්ඡාම කන්නු තෙසං වණිම්හසෙ.
බ්රාහ්මණනෙත්වව පුච්ඡාම කන්නු තෙසං වණිම්හසෙ.
යන පළමු ගාථාව කීවේය.
“එකකුගේ ශරීර ශෝභාවද ඇත. එකකුගේ වයස්ගත බව ඇත. එකකුගේ කුලවත් බවද ඇත. එකකුගේ සිල්වත් බව ඇත. බ්රාහ්මණය, තොප විචාරමි. මොවුන් අතුරෙන් කවරකු කැමති වෙමුද?”
එහි, සරීරදව්යං යනාදියෙන් ඒ හතරදෙනා තුළ පවතින බව ප්රකාශ කරයි. මේ එහි අදහසයි. පුරුෂයෝ සතරදෙනෙක් මගේ දූවරුන් ප්රාර්ථනා කරත්. ඔවුන්ගෙන් එකෙකුට, සරීරදව්යං ශරීර සම්පත්තිය රූපවත් බව සූජච්චන්ති යනුද පාඨයකි. එකෙකුට සාධුසීලියං සදාචාර බව සිල්වත් බව ඇත. බ්රාහ්මණනෙත්ථව පුච්ඡාම යනු මොවුන් අතුරෙන් අසවලාට මොවුන් දිය යුතුදැයි නොදන්නා වූ අපි භවත් බ්රාහ්මණයන්ගෙන්ම විමසමු. කන්නු තෙසං වණිම්හසෙ යනු ඒ සතර දෙනාගෙන් කවරෙකුට කැමැත්තෙමුද? කවරෙකුට ඒ කුමාරිකාවන් දෙමුදැයි විචාරයි.
ඒ අසා ඇදුරුතුමා රූප සම්පත්ති ආදිය විද්යමාන කල්හිද දුසිල්වත්කම ගැරහිය යුතු බවට පත්වෙයි. ඒ නිසා ඔහු දියණිය දීමට නුසුදුසුය. සිල්වත් බව අපට රුචි වෙයි යනුවෙන් මේ අර්ථ ප්රකාශ කරමින්
අත්ථො අත්ථි සරීරස්මිං වද්ධව්යස්ස නමොකරෙ,
අත්ථො අත්ථි සුජාතස්මිං සීලං අස්මාකරුච්චති.
අත්ථො අත්ථි සුජාතස්මිං සීලං අස්මාකරුච්චති.
යන දෙවන ගාථාව කීහ.
“රූපත් සිරුරෙහිද අර්ථයක් ඇත. වැඩිහිටි බවට නමස්කාර කරමි. උසස් කුලයෙහි උපන් තැනැත්තා කෙරෙහිද වැඩක් නැත. එහෙත් සිල්වත් කමම අපට රුචි කරයි.”
එහි, අත්ථො අත්ථි සරීරස්මිං යනු රූපත් සිරුරුවලද අර්ථයක් ඇත. විශේෂයක්, වැඩීමක් ඇත්තේමය. අගයක් නැතැයි නොකියමි. වද්ධව්යස්ස නමො කරොති වෘද්ධ භාවයට නමස්කාර කරමි. වෘද්භවාදය ඇති තැනැත්තා වැඳුම් පිදුම් ලබයි. අත්ථො අත්ථි සුජාතස්මිං උසස් ජන්මයක් ඇති පුරුෂයා කෙරෙහි වැඩීමක් ඇත. ජාති සම්පත්තියද කැමතිවිය යුතුමය. සීලං අස්මාකරුච්චති යනු අපට සීලයම රුචි වෙයි. සිල්වතා ආචාර සම්පන්නය. ශරීර ශෝභාවෙන් නැති වුවද පිදිය යුත්තෙකි. ප්රශංසා කළ යුත්තෙකි. බමුණා ඔහුගේ කීම අසා සිල්වතාටම දූවරුන් දුන්නේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්යය ප්රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්ය දේශනාවෙන් කෙළවර බමුණා සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල බමුණා මේ බමුණාම විය. දිසාපාමොක් ඇදුරුතුමා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.