8. රාධ ජාතකය (198)
පවාසා ආගතො තාතා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් කලකිරුණු භික්ෂූන් වහන්සේ නමක් අරබයා වදාළ සේක. ශාස්තෲන් වහන්සේ විසින්, ඇත්තද? මහණ! ඔබ කලකිරුණෙහිදැයි විමසන ලද්දේ, ඇත්තයි ස්වාමීනියි කියා, කුමන කාරණාවක් නිසාදැයි වදාළ කල්හි, එක් සරසන ලද ස්ත්රියක් දැක ඇය කෙරෙහි කෙලෙස් වසඟයට පත්වීම නිසායයි කීවේය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහ්නසේ වදාළේ, මහණ! ස්ත්රිය නම් ආරක්ෂා කිරීමට අපහසුය. පෙර දොරටුපාලයන් යොදාත් රක්නේ නමුදු රැකගැනීමට නොහැකි වූහ. ඔබට ස්ත්රියගෙන් කුමන ප්රයෝජනයක්ද? ලැබුණත් ඇය රකින්න නොහැකියයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහා බෝසතාණන් වහන්සේ ගිරා යෝනියේ උපන් සේක. ඒ ගිරවාගේ නම රාධය. මොහුගේ කණිටු සහෝදරයාගේ නම පොට්ඨපාදය. මේ සතුන් දෙදෙනා තරුණ කාලයේදීම එක් වැද්දෙක් අල්ලා ගෙනවුත් බරණැස් නුවර එක්තරා බමුණෙකුට දුන්නේය. බමුණා ඔවුන් දරු තනතුරෙහි තබා පෝෂණය කළේය. බමුණාගේ බැමිණිය ආරක්ෂා කළ නොහැකි දුසිල් තැනැත්තියකි. ඔහු වෙළඳාම් කිරීමට යනවිට ඒ ගිරා පෝතකයා අමතා, දරුවනි! මම වෙළඳාම පිණිස යමි. කාලයේ හෝ අකාලයේ හෝ තොපගේ මව කරන ක්රියාවන් (හැසිරීම) පරීක්ෂා කර බලව්. අන් පුරුෂයන් කරා යන බව හෝ නොයන බව දැනගනිව් කියා බැමිණිය ගිරා පෝතකයන්ට පවරා දී ගියේය. ඈ බමුණා පිටත් වන කාලයේ පටන් අනාචාරයේ හැසුරුණාය. රෑ දාවල් යන එන පුරුෂයන්ගේ ප්රමාණයක් නැත.
ඒ දැක පොට්ඨපාද රාධගෙන් විචාළේය. බමුණා මේ බැමිණිය අපට පවරා දී ගියේය. ඇයද පාප ක්රියා කරන්නීය. ඇයට ඒ ගැන කියමියි කී විට රාධ නොකියන්නයි කීවේය. පොට්ඨපාද රාධගේ කීම නොසලකා මෑණියනි! කුමක් නිසා පව්කම් කරන්නීදැයි කීවේය. බැමිණිය ඒ ගිරවා මරනු කැමතිව දරුව! ඔබ මගේ පුතාය. මෙතැන් පටන් ඒ පව්කාර ක්රියා නොකරන්නෙමි. එව දරුවයි ප්රියමනාප විදියට ළඟට කැඳවා ආවිට අල්ලාගෙන නුඹ මට අවවාද දෙන්නෙහිද? තමන් ප්රමාණය නොදන්නෙහියයි බෙල්ල කරකවා මරා ලිප තුළට දැම්මාය. බමුණා අවුත් විඩාහැර බෝසතුන් අමතා දරුව, රාධ! කිම තොපගේ මව අනාචාරයේ හැසුරුණාද නැද්දයි විමසමින්
පවාසා ආගතො තාත! ඉදානි න චිරාගතො,
කච්චින්නු තාත! තෙ මාතා න අඤ්ඤ මුපසෙවති.
කච්චින්නු තාත! තෙ මාතා න අඤ්ඤ මුපසෙවති.
යන පළමු ගාථාව කීවේය.
දරුව! විදේහයෙන් ආවෙමි. (පැමිණ) බොහෝකල් නොවෙමි. කෙසේද? දරුව! තොපගේ මව අන් පුරුෂයකු ඇසුරු කළේද?
එහි අර්ථය මම තාත පවාස ආගතො දරුව විදේහයෙන් පැමිණියෙමි. ඔහු නොදන්නේ රාධගෙන් විචාරමි. කච්චිනු තාත තෙ මාතා අඤ්ඤං පුරිසං න උපසෙවති යනු දරුව, ඔබේ මව අන් පුරුෂයකු සේවනය කෙළේද?
බෝසත් රාධ පියාණනි! නුවණ ඇති අය සිදුවූ හෝ සිදු නොවූ හෝ සසර රඳවන දේ නොකියතියි දන්වමින්
නඛො පනෙතං සුභණං ගිරං සච්චුපසංහිතං,
පයෙථ පොට්ඨපාදොච මුම්මුරෙ උපකූසිතො
පයෙථ පොට්ඨපාදොච මුම්මුරෙ උපකූසිතො
යන දෙවන ගාථාව කීවේය.
“සත්යයෙන් යුක්ත වූ මේ වචනය ඇති සැටියෙන් කිවයුතු නොවේ. (ඉදින් ඇති සැටියෙන් ප්රකාශ කළ කෙනෙක් වෙත්නම්) ගිනි මුසු අළුයෙහි දමා හොවන ලද පොට්ඨපාදයා මෙන් හෝනේමයි.
එහි, ගිරං යනු වචනයයි. දැන් ‘වචනය’ යනුවෙන් කියන්නා සේ එකල (වචනය වෙනුවට) ‘ගිරං’ යනුවෙන් කියනු ලැබීය. ඒ ගිරා පොව්වා වෙනස නොසලකා මෙසේ කීවේය. මේ එහි අර්ථයයි. දරුව! නුවණ ඇත්තා විසින් සච්චූප සංහිතං සිදුවූ පරිදි, සත්යයෙන් යුක්ත ස්වභාව වචනය වුවද සසරින් මිදීම පිණිස නොවේනම් නසුභණං නොකියන්නේය. සසරින් මිදීම පිණිස පවතින ඇත්ත වුවද කියන පුද්ගලයා සයෙථ පොට්ඨපාදොව මුම්මුරෙ උපකුසිතො යම්සේ පොට්ඨපාද උණු අලුවල පිළිස්සුනේ නිදයිද එසේම නිදන්නේය. උපකුජිතො යනුද පාඨයකි. මේ අර්ථයමයි.
මෙසේ බෝසතාණන් වහන්සේ බමුණාට බණ දෙසා අපටද මෙහි විසීමට නොහැකියයි කියා බමුණාගෙන් විමසා වනයටම පිවිසියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්යය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළහ. සත්ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල පොට්ඨපාද ගිරවා ආනන්දය. රාධ වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
9. ගහපති ජාතකය (199)
උභයම්මෙ න ඛමතී යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් උකටලී වූම භික්ෂු කෙනෙකුන් අරබයා වදාළ සේක. එසේ වදාරණ සේක් ස්ත්රිය නම් රැකිය නොහැකිය. වැරැද්දක් කොට යම්කිසි උපායකින් සැමියා රවටන්නේම යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.