7. මිත්තාමිත්ත ජාතකය (197)
න නං උම්හයතෙ දිස්වා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සේක් එක්තරා භික්ෂුවක අරබයා වදාළ සේක. එක්තරා භික්ෂුවක් මා විසින් ගත්කල්හි මාගේ උපාධ්යායන් වහන්සේ විසින් නොකිපෙන්නාහුයයි සිතා උපාධ්යායන් වහන්සේ විසින් තබන ලද රෙදිකඩක් විශ්වාසයෙන් ගෙන පාවහන් දමන පසිම්බුවක් මසා පසුව උපාධ්යායන් වහන්සේගෙන් විචාළේය. ඉක්බිති උපාධ්යායන් වහන්සේ කුමක් නිසා මගේ රෙදිකඩ නුඹ ගත්තෙහිදැයි අසා, මා විසින් ගත්කල්හි නොකිපෙන්නාහු යයි සිතා නුඹ වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ගත්තෙමියි කී කල්හි මාත් සමග ඔබට කිනම් විශ්වාසයක් දැයි කියා කිපී නැගිට පහර දුන්හ. භික්ෂුවගේ ඒ ක්රියාව භික්ෂූන් අතරෙහි ප්රකට විය. ඉක්බිති එක්දිනක් භික්ෂූන් වහන්සේලා දම්සභාවේදී “ඇවැත්නි! අසවල් ලාබාල භික්ෂුව උපාධ්යායන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් රෙදිකඩක් ගෙන පාවහන් දමන පසිම්බුවක් මැසුවේය. ඉක්බිති උපාධ්යායන් වහන්සේ මා සමග ඔබට කිනම් විශ්වාසයක්දැයි කියා කිපී නැගිට පහර ගැසූහ” යනුවෙන් කථාවක් මතුකළාහුය.
බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි මා එන්නට පෙර කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විමසා මෙනම් කථාවෙකින් යයි කී කල්හි, මහණෙනි! මොහු සද්ධිවිහාරික භික්ෂුව සමග අවිශ්වාස වූයේ දැන් පමණක් නොවේ. පෙරත් අවිශ්වාසව සිටියේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක. පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපද වැඩිවියට පැමිණ තාපස පැවිද්දෙන් පැවිදිව අභිඥා ද සමාපත්ති ද උපදවාගෙන පිරිසේ අනුශාසකයා වී හිමාල වනයෙහි වාසය කළහ. ඒ තාපස පිරිස අතරෙහි එක් තවුසෙක් බෝසත් තාපසයාගේ කීම පිළිගෙන, මව මළ එක් ඇත් පැටවෙකු ඇතිදැඩි කෙළේය. ඉක්බිති වැඩිවියට පත් ඇතා ඒ තවුසා මරා කැලයට ගියේය. තවුසාගේ ශරීරය පිළිබඳ අවසන් කටයුතු නිමකළ තාපස පිරිස බෝසතාණන් වහන්සේ පිරිවරාගෙන ස්වාමීනි! කිනම් කරුණකින් මිත්ර බව හෝ අමිත්ර බව හෝ දැනගත හැකිදැයි විචාළෝය. බෝසතාණන් වහන්සේ මේ කාරණයෙන් යයි කියමින්
නනං උම්හයතෙ, දිස්වා න ච නං පටිනන්දති,
චක්ඛුණි චස්ස නද්දාති පටිලොමඤ්ච වත්තති
චක්ඛුණි චස්ස නද්දාති පටිලොමඤ්ච වත්තති
යෙ තෙ භවන්ති ආකාරා අමිතස්මිං පතිට්ඨිතා,
යෙහි අමිත්තං ජානෙය්ය දිස්වා සුත්වා ච පණ්ඩිතො
යෙහි අමිත්තං ජානෙය්ය දිස්වා සුත්වා ච පණ්ඩිතො
යන ගාථා කී සේක.
ඔහු දැක සිනහ පහළ නො කෙරේ නම් වචනයට සතුටු නොවේ නම්, ඔහු දෙස සෘජුව නොබලා නම් ඔහුට විරුද්ධව පවතී.
පණ්ඩිතයා යම් ආකාරයකින් දැක ද, අසා ද අමිත්රයා (හතුරා) දැන ගනීද මේ කරුණු සතුරා කෙරෙහි පිහිටියේ වෙයි.
එහි, නනං උම්හයතෙ දිස්වා යනු යමෙක් යමෙකුගේ අමිත්රයෙක් වේද ඔහු ඒ පුද්ගලයා දැක සිනහ නොවේ. සතුටු බවක් නොදක්වයි. න ච නං පටිනන්දති යනු ඔහුගේ වචන ඇසුවද ඔහු ඒ පුද්ගලයාට සතුටු නොවෙයි. හොඳයි ප්රයෝජනවත් දෙයක් (සුභාෂිතයක්) කියන ලදැයි සතුටු නොවේ. චක්ඛූනි චස්ස නද්දාති යනු ඇසින් ඇස ගැටී ඉදිරියෙහි සිට නොබලයි. ඇස් වෙන අතකට හරවයි. පටිලොමඤ්ච වත්තති යනු ඔහුගේ කාය කර්ම, වාග් කර්ම කැමති නොවෙයි. විරුද්ධ පිළිවෙලට ගනී. විරුද්ධ ගැනීමයයි. ආකාරා යනු කරුණුය. යෙහු අමිත්තං යනු යම් කරුණුවලින් ඒ කරුණුවලින් අමිත්රයා දිස්වා ච සුත්වා ච පණ්ඩිතො දැක හෝ අසන හෝ පණ්ඩිතයා මේ පුද්ගලයා මගේ අමිත්රයෙකියි ජානෙය්ය දැනගන්නේය. මෙයට විරුද්ධ ආකාරයෙන් මිතුරු බව දතයුතුයි.
මෙසේ බෝසතාණන් වහන්සේ මිත්ර අමිත්ර බවට කරුණු කියා සතර බඹ විහරණ වඩා බඹලොව උපන්නෝය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල ඇත්පැටවා පෝෂණය කළ තවුසා සද්ධිවිහාරික භික්ෂුවයි. ඇතා උපාධ්යායන් වහන්සේය. තාපස සමූහයා බුදුපිරිසයි. තවුස් නායකයා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
8. රාධ ජාතකය (198)
පවාසා ආගතො තාතා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් කලකිරුණු භික්ෂූන් වහන්සේ නමක් අරබයා වදාළ සේක. ශාස්තෲන් වහන්සේ විසින්, ඇත්තද? මහණ! ඔබ කලකිරුණෙහිදැයි විමසන ලද්දේ, ඇත්තයි ස්වාමීනියි කියා, කුමන කාරණාවක් නිසාදැයි වදාළ කල්හි, එක් සරසන ලද ස්ත්රියක් දැක ඇය කෙරෙහි කෙලෙස් වසඟයට පත්වීම නිසායයි කීවේය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහ්නසේ වදාළේ, මහණ! ස්ත්රිය නම් ආරක්ෂා කිරීමට අපහසුය. පෙර දොරටුපාලයන් යොදාත් රක්නේ නමුදු රැකගැනීමට නොහැකි වූහ. ඔබට ස්ත්රියගෙන් කුමන ප්රයෝජනයක්ද? ලැබුණත් ඇය රකින්න නොහැකියයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහා බෝසතාණන් වහන්සේ ගිරා යෝනියේ උපන් සේක. ඒ ගිරවාගේ නම රාධය. මොහුගේ කණිටු සහෝදරයාගේ නම පොට්ඨපාදය. මේ සතුන් දෙදෙනා තරුණ කාලයේදීම එක් වැද්දෙක් අල්ලා ගෙනවුත් බරණැස් නුවර එක්තරා බමුණෙකුට දුන්නේය. බමුණා ඔවුන් දරු තනතුරෙහි තබා පෝෂණය කළේය. බමුණාගේ බැමිණිය ආරක්ෂා කළ නොහැකි දුසිල් තැනැත්තියකි. ඔහු වෙළඳාම් කිරීමට යනවිට ඒ ගිරා පෝතකයා අමතා, දරුවනි! මම වෙළඳාම පිණිස යමි. කාලයේ හෝ අකාලයේ හෝ තොපගේ මව කරන ක්රියාවන් (හැසිරීම) පරීක්ෂා කර බලව්. අන් පුරුෂයන් කරා යන බව හෝ නොයන බව දැනගනිව් කියා බැමිණිය ගිරා පෝතකයන්ට පවරා දී ගියේය. ඈ බමුණා පිටත් වන කාලයේ පටන් අනාචාරයේ හැසුරුණාය. රෑ දාවල් යන එන පුරුෂයන්ගේ ප්රමාණයක් නැත.