6. වලාහස්ස ජාතකය (196)
යෙ න කාහන්ති ඔවාදං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් එක් කලකිරුණු භික්ෂුවක අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ විසින් මහණ, ඔබ කලකිරුණේ සත්යයක්දැයි විමසන ලද ඒ භික්ෂුව සත්යයයි කී කල්හි කුමක් නිසාදැයි විමසූවිට අලංකාර වූ එක් කාන්තාවක් දැක කෙලෙස් වශයෙනැයි කීය. ඉක්බිති ඒ භික්ෂුව අමතා, බුදුරජාණන් වහන්සේ මහණ! ස්ත්රීහු නම් තමන්ගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කරුණුවලින්ද ස්ත්රී මායම් විලාසිතාවන්ගෙන්ද පුරුෂයන්ට චාටු බස් කියා නලවා වසඟයට එළඹි බව දැන සිල්වත්කමද, ධනවත්කමද විනාශ කරන අර්ථයෙන් යකින්නියෝ යයි කියනු ලැබෙත්. පෙරත් යකින්නියෝ ස්ත්රී මායමෙන් පුරුෂයන්ගෙන් යුතු ගැල් කණ්ඩායමක් වෙත එළඹ වෙළඳුන්ට චාටුබස් කියා තම වසඟයට ගෙන නැවත වෙනත් පුරුෂයන් දැක ඒ සියලු දෙනම මරණයට පත්කර හකු දෙකොණින් (කට දෙකොණින්) ලේ පෙරමින් මුරු මුරු යන හඬින් කෑවාහුයයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
යටගිය දවස තම්බපණ්ණි දීපයෙහි (ලක්දිව) සිරීස වස්තු නම් යකුන්ගේ නගරයක් විය. එහි යකිනියෝ වාසය කළාහුය. ඒ යකින්නියෝ කැඩුණු නැව්වලින් වෙළෙන්දන් ආ විට අලංකාර ලෙස පිළියෙල කරන ලද කෑ යුතු අනුභව කළ යුතු දෑ ගෙන්වාදෙන දාසි සමූහයා පිරිවරාගෙන දරුවන් වඩාගෙන එන වෙළඳුන් වෙත එළඹෙත්. ඔවුන්ට අපි මිනිස් වාසයකට ආවෙමුයි හැඟෙන පරිදි ඒ ඒ තැන ගොවිතැන්, ගව පාලනය ආදිය කරන්නා වූ මිනිසුන් ගව පට්ටි, බල්ලන් මේ ආදිය දක්වන්නෝය. වෙළෙන්දන් සමීපයට ගොස් මේ කැඳ බොව්. බත් අනුභව කරව්, කෑ යුතු ජාති කන්නයි කියති. කිසිවක් නොදන්නා වෙළෙන්දෝ ඔවුන් විසින් දෙන ලද දේවල් අනුභව කරත්. ඉක්බිති ඔවුන්ගේ කෑම් බීම් අවසන්ව විවේකව සිටිනවිට පිළිසඳර කථා කරති. තෙපි කොහි වසන්නෝද? කොහි සිට ආවාහුද? කොහි යන්නහුද? කුමන කටයුත්තක් සඳහා මෙහි ආවාහුදැයි ප්රශ්න කරති. නැව කැඩුණු නිසා ආ බව කී කල්හිද බොහොම හොඳයි ආර්යයෙනි! නැව් නැගී ගිය අපගේ ස්වාමි පුරුෂයන්ට වසර තුනක් ඉක්ම ඇත. ඔවුන් මැරෙන්නට ඇත. තොපිත් වෙළෙන්දෝය. අපි තොපගේ බිරින්ඳන් වන්නෙමුයි කියා ඒ වෙළෙන්දන් ස්ත්රී මායම් පෙන්වා පොළඹවාගෙන යක් පුරට ගෙන ගොස් ඉදින් පළමුව ගත් මිනිස්සු සිටිත් නම් ඔවුන් දේව හැකිල්ලෙන් (මාංචුවලින්) බැඳ ආරක්ෂක තැනක (සිරකුටියක) රඳවත්. තමන් වසන තැන බිඳුණු නැවක මිනිසුන් නොලබන අවස්ථාවක වනාහි එතෙරින් කැලණිය දක්වාද, මෙතෙරින් නාගදීපය දක්වාද මෙසේ මේ අතරේ මුහුදු තීරය දිගේ හැසිරෙත්. ඒ ඔවුන්ගේ ස්වභාවයයි.
ඉක්බිති එක්දිනක් කැඩුණු නැව් ඇති පන්සියයක් වෙළෙන්දෝ ඒ යකින්නියන්ගේ නුවර සමීපයෙහි ගොඩබැස්සාහුය. ඒ යකින්නියෝ ඔවුන් සමීපයට ගොස් පොළඹවාගෙන බැඳ ආරක්ෂක කුටියක රඳවා ප්රධාන යකින්න ප්රධාන වෙළෙන්දාද සෙසු යකින්නන් සෙසු වෙළෙන්දන්ද වශයෙන් ඒ යකින්නියෝ පන්සියය, ඒ වෙළඳුන් පන්සියය තම තමන්ගේ සාමිවරු කළාහුය. ඉක්බිති ඒ ප්රධාන යකින්න රාත්රී කාලයේ වෙළෙන්දා නින්දට ගියවිට නැගිට ගොස් සිරකුටියේ රඳවා සිටි මිනිසුන් මරා මස් කා එන්නීය. සෙසු යකින්නියෝද එසේ කරත්. ප්රධාන වෙළෙන්දා යකින්න මිනී මස් කා පැමිණි අවස්ථාවේ සිරුර සිසිල් වෙයි. ප්රධාන වෙළෙන්දා පරීක්ෂා කරන්නේ ඇය යකින්නියක බව දැන මේ පන්සියයම යකින්නියෝ වන්හාහ. අප විසින් පලායන්නට වටීයයි සිතා දෙවන දවසේ මුහුණ සේදීමට ගොස් සෙසු වෙළෙන්දන්ටද දැන්වීය. මේ යකින්නියෝය. මනුෂ්ය ස්ත්රීහු නොවෙති. බිඳුනු වෙනත් නැව් ආ විට එහි සිටින අය සැමියන් බවට පත්කොට අපව කන්නාහුය. ඒ නිසා අප පලායමුයි කීවේය. ඔවුන්ගෙන් දෙසිය පනහක් පමණ අපට මොවුන් අත්හරින්නට නොහැකි වන්නෙමු. ඒ නිසා තොපි යව්. අපි නොයන්නෙමුයි කීවාහුය. ප්රධාන වෙළෙන්දා තම වචනයට අවනත වූ දෙසිය පනහක් වෙළෙන්දන් රැගෙන ඒ යකින්නියන්ට බිය වූයේ පලා ගියේය.