5. පබ්බතූපත්ථර ජාතකය (195)
පබ්බතූපත්ථරෙ රම්මෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් කොසොල් රජතුමා මුල් කරගෙන දේශනා කළ සේක. කොසොල් රජතුමාගේ එක් ඇමතියෙක් අන්තඃපුරයේ එක් ස්ත්රියක දූෂණය කළේය. ඔහුට කුමක් කරන්නට වටින්නේදැයි විචාළේය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහන්සේ මහරජ! ඒ ඇමතියා ඔබට උපකාර කරන්නෙක්ද? ඒ ස්ත්රියද ප්රියදැයි විචාරා, එසේය ස්වාමීනි! අතිශයින් උපකාරකයෙකි. රජගෙදර සියලු කටයුතුවල වගකීම් දරයි. ඒ ස්ත්රියත් මට ප්රියයයි කී කල්හි, මහරජ! තමන්ට උදව් වන සේවකයන් කෙරෙහිද, ප්රියමනාප ස්ත්රීන් කෙරෙහිද ද්රෝහී වන්නට නොහැකිය. පෙරත් රජවරු නුවණ ඇත්තන්ගේ කථා අසා මධ්යස්ථ වූහයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත සිද්ධිය ගෙනහැර පෑ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝධිසත්ත්වයන් වහන්සේ ඇමති කුලයක ඉපදී වැඩිවියට පත්වූවාහු ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ සේක. ඉක්බිති ඒ රජුගේ එක් ඇමතියෙක් අන්තඃපුර ස්ත්රියක් දූෂණය කළේය. රජතුමා ඒ තත්වූ පරිදි දැනගෙන ඇමතියාද මට බොහෝ උපකාර කරයි. මේ ස්ත්රියද ප්රියමනාපයි. ඒ නිසා මොවුන් දෙදෙනාම මරන්නට නොහැකිය. පණ්ඩිත ඇමතියාගෙන් ප්රශ්නයක් විමසා ඉදින් ඉවසිය යුතුනම් ඉවසන්නෙමි. ඉදින් නොඉවසිය යුතුනම් නොඉවසන්නෙමියි බෝසතාණන් වහන්සේ කැඳවා අසුනක් දී, පඬිතුමනි! ප්රශ්නයක් විචාරන්නෙමියි කියා මහරජතුමනි! විචාරව. විසඳන්නෙමියි කී කල්හි ප්රශ්නය අසමින්,
පබ්බතුපත්ථරෙ රම්මෙ ජාතා පොක්ඛරණී සිවා,
තං සිගාලො අපාපාසි ජානං සීහෙන රක්ඛිතං.
තං සිගාලො අපාපාසි ජානං සීහෙන රක්ඛිතං.
යන පළමු ගාථාව කීවේය.
සිත්කලු වූ හිමාලය පර්වත සමීපයෙහි අගිල්දිය ඇති පොකුණක් විය. ඒ පොකුණ සිංහයෙකු විසින් රකින බව දන්නා හිවලෙක් දිය බී ගියේය.
එහි, පබ්බතුපත්ථෙරෙ යනු හිමවත පර්වත පාමුල පැතිරී තිබුණු පිට්ටනියක යන අර්ථයි. ජාතා පොක්ඛරණී සිවා යනු සිසිල් මිහිරි ජලය ඇති පොකුණක් හට ගත්තේය. තවද පොකුණෙන් ගැවසී ගස් ගඟ ද පොකුණක් එය අපාපාසි යනු අප යනු උපසර්ගයකි. අපාසි බීවේය යන අර්ථයි. ජානං සීහෙන රක්ඛිතං යනු ඒ පොකුණ සිංහයන් ප්රයෝජනයට ගන්නා සිංහයකු විසින් රක්නා ලද්දේය. ඒ හිවලා ද සිංහයා විසින් මෙය රකින ලද්දේයයි දැනගෙනම පානය කෙළේය. නුඹ කුමක් සිතන්නෙහිද? හිවලා සිංහයාට බිය නොවී දිය බිව්වේය. මේ එවැනි පොකුණකියි යනු මෙහි අදහසයි.
බෝසතාණන් වහන්සේ ඒකාන්තයෙන් එක් ඇමතියෙක් මොහුගේ අන්තඃපුරයෙහි දූෂණය කරන ලද්දේ වැන්නේයයි දැන
පිපන්ති වෙ මහාරාජ! සාපදානි මහානදිං,
න තෙන අනදී හොති ඛමස්සු යදිතෙ පියා.
න තෙන අනදී හොති ඛමස්සු යදිතෙ පියා.
යන දෙවන ගාථාව කී සේක.
මහරජ! ඉදින් සිවුපාවෝ මහ නදියෙහි දිය බොත්මය. එසේ බිව්වාට ගඟ ගඟක් නොවෙන්නේ නොවේ. ඉදින් ඔවුන් ඔබට ප්රිය වී නම් (දෙදෙනාටම) කමා කරව.
එහි, සාපදානි යනු හුදෙක් හිවලා පමණක් නොව සෙසු දිවියන්, බල්ලන්, හාවන්, බළලුන් ආදී සියලු සත්තු එය පොකුණෙන් වැසී ගිය බැවින් පොකුණයයි ලබන ලද නම් ඇති ගඟෙන්ම බොන්නාහුය යනුයි. න තෙන අනදී හොතී යනු දෙපා සිව්පා සත්ත්වයෝද සර්පයෝද මත්ස්යයෝද සියලු පිපාසිත ප්රාණීහු ගඟෙහි පැන් බොත්. ගඟ ඒ කාරණයෙන් ගඟක් නොවන්නේ නොවේ. ඉඳුල් කළ ගඟක් නොවේ. කුමක් නිසාද? එය සියල්ලන්ටම සාධාරණ බැවිනි. යම්කිසිවෙකු විසින් ගඟෙහි පැන් බොන ලද පමණින් ගඟ දූෂ්ය නොවේ. මෙසේම ස්ත්රියද කෙලෙස් වශයෙන් සැමියා ඉක්මවා අනිකෙකු සමග සංවාසයේ යෙදුණු පමණින් ස්ත්රියක් නොවන්නේ නොවේ. කුමක් නිසාද? සියල්ලට සාධාරණ බැවිනි. ඉඳුල් කළ ස්ත්රියක් නොවේ. කුමක් නිසාද? එම සංවාසය අවසානයේදී පිරිසිදුවීම සඳහා ජලය ගනු ලබන හෙයිනි. ඛමස්සු යදි තෙ පියා යනු ඉදින් වනාහි ඔබට ඒ ස්ත්රිය ප්රියද? ඒ ඇමතියා බොහෝ උපකාර කරන්නෙක්ද ඒ දෙදෙනාටම ඉවසනු. මැදහත්කමින් සිටින්න යනුයි.
මෙසේ මහා සත්ත්වයන් වහන්සේ රජුට අවවාද දුන්නේය. රජතුමා ඔහුගේ අවවාදයේ සිට නැවත මෙබඳු පව්කම් නොකරවයි කියා දෙදෙනාටම සමාව දුන්නේය. එතැන් පටන් ඒ දෙදෙනා එක් නොවූහ. රජතුමාද දානාදී පිංකම් කොට දිවි කෙළවර දෙව්ලොව උපන්නේය. කොසොල් රජද මේ ධර්මදේශනාව අසා ඒ දෙදෙනාටම සමාව දී මධ්යස්ථ විය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල රජ ආනන්දය. නුවණ ඇති ඇමතියා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
6. වලාහස්ස ජාතකය (196)
යෙ න කාහන්ති ඔවාදං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් එක් කලකිරුණු භික්ෂුවක අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ විසින් මහණ, ඔබ කලකිරුණේ සත්යයක්දැයි විමසන ලද ඒ භික්ෂුව සත්යයයි කී කල්හි කුමක් නිසාදැයි විමසූවිට අලංකාර වූ එක් කාන්තාවක් දැක කෙලෙස් වශයෙනැයි කීය. ඉක්බිති ඒ භික්ෂුව අමතා, බුදුරජාණන් වහන්සේ මහණ! ස්ත්රීහු නම් තමන්ගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කරුණුවලින්ද ස්ත්රී මායම් විලාසිතාවන්ගෙන්ද පුරුෂයන්ට චාටු බස් කියා නලවා වසඟයට එළඹි බව දැන සිල්වත්කමද, ධනවත්කමද විනාශ කරන අර්ථයෙන් යකින්නියෝ යයි කියනු ලැබෙත්. පෙරත් යකින්නියෝ ස්ත්රී මායමෙන් පුරුෂයන්ගෙන් යුතු ගැල් කණ්ඩායමක් වෙත එළඹ වෙළඳුන්ට චාටුබස් කියා තම වසඟයට ගෙන නැවත වෙනත් පුරුෂයන් දැක ඒ සියලු දෙනම මරණයට පත්කර හකු දෙකොණින් (කට දෙකොණින්) ලේ පෙරමින් මුරු මුරු යන හඬින් කෑවාහුයයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.