4. මණිචෝර ජාතකය (194)
ස සන්ති දෙවා පවසන්තිනූනා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් බුදුරජුන් මැරීමට උත්සාහ කළ දෙව්දත් තෙරුන් මුල් කරගෙන වදාළ සේක. එකල්හි වනාහි බුදුරජාණන් වහන්සේ දෙව්දත් තමන් වහන්සේ ඝාතනය කිරීමට උත්සාහ කරතියි අසා මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මොහු මට මරණය පමුණුවන්න උත්සාහ කෙළේය. එසේ උත්සාහ කළත් මාව මරන්නට නොහැකි වී යයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බරණැසට නුදුරෙහි ගමක ගහපති කුලයෙහි උපන්හ. ඉක්බිති වැඩිවියට පත් ඔහුට බරණැසින් කුලදුවක ගෙනාහ. ඈ ප්‍රිය මනාපය. මනා රූ ඇත්තීය. දැකුම්කලුය. දිව්‍ය අප්සරාවක වැනිය. නැලවෙන මල්වැලක් වැනිය. මත් කිඳුරියක් වැනිය. නමින් සුජාතා නම් විය. පතිවත රකින්නීය. මනා පැවතුම් ඇත්තීය. වත් පිළිවෙත් රකින්නීය. හැමවිටම ස්වාමියාගේ වත්, නැන්දා මාමාගේ වත් නොපිරිහෙළා ඉටු කරන ලදි. ඈ බෝසතාණන් වහන්සේට ඉතා ප්‍රියමනාප වූවාය. මේ අන්දමින් දෙදෙනා සතුටු වෙමින් සමාන සිත ඇතිව සමගියෙන් වාසය කළාහුය.
ඉක්බිති එක්දිනක් සුජාතාව මව්පියන් දකිනු කැමැත්තෙමියි බෝසතාණන් වහන්සේට දැන්වූවාය. හෙතෙම යහපති සොඳුරිය! මාර්ගෝපකරණ අවශ්‍ය තරම් සූදානම් කරවයි කැවිලි විශේෂ සූදානම් කරවාගෙන කැවිලි ආදිය යානාවක තබාගෙන යානය පදවමින් යානය ඉදිරියේ සිටියේය. සුජාතාව පසුපස වූවාය. ඔවුන් නුවර සමීපයට ගොස් වාහනය මුදවා නා අනුභව කළාහුය. නැවතත් බෝසතාණන් වහන්සේ යානය සූදානම් කර ඉදිරියෙන් හිඳගත්හ. සුජාතාව වස්ත්‍ර මාරුකොට සැරසී පිටුපසින් හිඳගත්තාය. යානය ඇතුලු නුවරට පිවිසි කල්හි බරණැස් රජු ඇතෙකු පිට නැගී නගරය පැදකුණු කරන්නේ ඒ පෙදෙසට ගියේය. සුජාතාව යානයෙන් බැස පසුපස පයින් ගමන් කළාය. රජතුමා ඈ දැක ඇගේ රූසපුවෙන් ඇදගනු ලැබූ ඇස් ඇතිව පිළිබඳව සිත් ඇතිව එක් ඇමතියෙකු අමතා යව! ඇයට සැමියෙකු ඇති බව හෝ සැමියෙකු නැති බව හෝ දැනගනුවයි යැවීය. ඔහු ගොස් ඇයට සැමියෙකු ඇති බව දැන දේවයන් වහන්ස! සැමියෙකු සිටී. යානයේ සිටි පුරුෂයා ඇගේ සැමියා යයි කීවේය.
රජතුමා ඇය ගැන බැඳුණු සිත වෙනස් කරන්නට නොහැකිව කෙලෙස් වසඟව එක් උපායකින් ඔහු මරවා ඔහුගේ බිරිඳ ගන්නෙමියි සිතා එක් පුරුෂයෙකු අමතා යව එම්බල! මේ සිළුමිණ වීථියෙහි යන්නෙකු මෙන් වී ඒ පුරුෂයාගේ යානාවට දමා එවයි සිළුමිණ දී යැවීය. ඔහු යහපතැයි එය ගෙන ගොස් යානාවෙහි තබා දේවයන් වහන්ස! මා විසින් මැණික තබන ලදැයි දැන්වීය. රජතුමා මාගේ සිළුමිණ නැතිවී යයි කීවේය. මිනිස්සු මහත් කෝලහලයක් කළාහුය. රජතුමා සියලු දොරටු වසා සංචාරය (ගමන් බිමන්) නවත්වා සොරා සොයන්නයි කීවේය. රාජ පුරුෂයෝ එසේ කළාහුය. නගරය එකම කැළඹීමක් විය. අනිත් පුරුෂයා මිනිසුන් රැගෙන බෝසතුන් සමීපයට ගොස් එම්බල! යානය නවත්වව්. රජතුමාගේ සිළුමිණ නැතිවිය. යානය පරීක්‍ෂා කරන්නෙමුයි කීවේය. හෙතෙම යානය පරීක්‍ෂා කරමින් තමා විසින් තබන ලද මැණික ගෙන බෝසතුන් අල්ලාගෙන මැණික් හොරා යයි අත්වලට හා පාවලට තලා අත් පිටුපසට තබා බැඳ පමුණුවා මේ මැණික් හොරායයි රජුට දැක්වීය. රජතුමා මොහුගේ හිස සිඳින්නයි අණ කෙළේය.
ඉක්බිති රාජපුරුෂයෝ ඔහුට කසපහර හතර හතර බැගින් තලමින් දකුණු දොරටුවෙන් නගරයෙන් පිටමං කළාහුය. සුජාතාවද යානය හැර දෑස් ඔසවාගෙන හඬා වැළපෙමින් ස්වාමීනි! මා නිසා මේ දුකට පැමිණියේ යයි වැළපෙමින් පසුපස්සේ ගියාය. රාජපුරුෂයෝ මොහුගේ හිස සිඳෙන්නෙමුයි බෝසතාණන් වහන්සේ උඩුකුරුව හින්දවූහ. ඒ දැක සුජාතාව තමාගේ සීල ගුණය ආවර්ජනා කොට මේ ලෝකයේ සිල්වතුන් වෙහෙසන පව්කාර සැහැසි මිනිසුන් වලකා මැඩලිය හැකි දෙවි දේවතාවන් ඒකාන්තයෙන් නැතැයි සිතමි යනාදිය කියා වැළපෙමින්
න සන්ති දෙවා පවසන්ති නූන, සහනූන සන්ති ඉධ ලොකපාලා,
සහසා කරොන්තානං අසඤ්ඤතානං, නහනූන සන්ති පටිසෙධිතාරො.
යන පළමු ගාථාව කීවාය.
“සිල්වතුන් රක්නා දෙවියෝ නැතැයි සිතමි. (එබඳු කටයුතුවලින්) බැහැර යෙතියි සිතමි. මෙලොව ලෝකපාලක දෙවියෝද නැතැයි සිතමි. අපරීක්‍ෂාකාරීවැ දරුණුකම් කරන්නා වූ දුශ්ශීලයන්ගේ දරුණු ක්‍රියා වළක්වන්නෝ ද නැතැයි සිතමි.”
එහි, නසන්ති දෙවා යනු මේ ලෝකයේ සිල්වතුන් දෙස බලන්නා වූ පව් වලක්වන දෙවියෝ ඒකාන්තයෙන් නැත. පවසන්ති නූන යනු මෙබඳු ක්‍රියා ඇති වූ විට එ්කාන්තයෙන් බැහැර යති. ඉධලොකපාලා යනු මේ ලෝකයේ ලෝකපාලක සම්මත සිල්වතුන්ට අනුග්‍රහ කරන මහණ බමුණෝද, නහනූනසන්ති ඒකාන්තයෙන් නැත. සහසා කරොන්තානං අසඤ්ඤතානං යනු වහා, නොවිමසා සැහැසි දරුණු ක්‍රියා කරන්නා වූ දුසිලුන්ට, පටිසෙධිතාරො යනු මෙබඳු ක්‍රියා නො කරව්. මෙබඳු ක්‍රියා කරන්න නොලැබෙන්නේය යනුවෙන් වළක්වන්නෝ නැත.