3. චුල්ලපදුම ජාතකය (193)
අයමෙව සා අහම්පි අනඤ්ඤො යන මේ දේශනාව, බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් කලකිරුණු භික්ෂුවක මුල්කරගෙන වදාළ සේක. විස්තර කථාව උම්මදන්ත ජාතකයේ මතු ප්‍රකාශ වන්නේය. ඒ භික්ෂුව වනාහි බුදුරජාණන් වහන්සේ විසින් ඇත්තද මහණ? නුඹ කලකිරුණේදැයි විමසා වදාළ කල්හි, ඇත්තයි භාග්‍යවතුන් වහන්ස යයි කීවේය. කවරෙක් නුඹව කලකිරෙව්වේදැයි වදාළ කල්හි, ස්වාමීනි! මම අලංකාරකොට සරසන ලද එක් ස්ත්‍රියක දැක කෙලෙස් වසඟව ගොස් කලකිරුණෙමියි කීවේය. ඉක්බිති ඒ භික්ෂුවට බුදුරජාණන් වහන්සේ මහණ! ස්ත්‍රිය නම් කෙළෙහිගුණ නොදත්, මිත්‍රද්‍රෝහී දැඩි සිත් ඇත්තීය. පුරාණයේ නුවණ ඇති අය පවා තමන්ගේ දකුණු උරහිස පලා ලේ පොවා ජීවිත දානය දීමෙන් පවා ස්ත්‍රියගේ සිත නොලැබූහයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ රජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්සේක. නම් තබන දවසේ ඔහුට පදුම කුමාරයා යයි නම් කළහ. ඒ කුමාරයාට තවත් කණිටු සහෝදර කුමාරවරුන් හයදෙනෙක් සිටියහ. ඒ හත්දෙනාම පිළිවෙලින් වැඩිවියට පත්ව ගිහිගෙයට සම්බන්ධව (විවාහවී) රජතුමාගේ යහලුවන් මෙන් හැසිරෙත්. ඉක්බිති එක්දිනක් රජතුමා රජමිදුල බලමින් සිටියේ මහ පිරිවරින් රජුට උපස්ථාන කිරීමට එන්නා වූ ඒ කුමාරවරුන් දැක, මොවුහු මා මරා රාජ්‍යය ගන්නාහු යයි සැක උපදවා ඔවුන් කැදවා දරුවනි! තොපි මේ නගරයේ වාසය නොකරව්. අන් තැනකට ගොස් සිට මගේ ඇවෑමෙන් මෙහි අවුත් පරපුරට අයත් රාජ්‍යය ගනිව් යයි කීවේය. ඒ කුමාරවරු පියාගේ කීම පිළිගෙන හඬා වැළපී තම තමන්ගේ ගෙවලට ගොස් බිරින්දන් රැගෙන කොතැනකට හෝ ගොස් ජීවත් වන්නෙමුයි නුවරින් නික්මී මාර්ගයේ යන්නාහු එක් කාන්තාරයකට පැමිණියෝය. එහිදී ආහාරපාන නොලැබ සාගින්න ඉවසා සිටීමට නොහැකිව අපි ජීවත්ව සිටියොත් ස්ත්‍රීන් ලබන්නෙමුයි බාල සොයුරාගේ බිරිඳ මරා කොටස් දහතුනකට බෙදා මස් කෑවාහුය. බෝසතාණන් වහන්සේ තමන්ට හා බිරිඳට ලැබුණු කොටස්වලින් එක් කොටසක් තබා අනික බෙදාගෙන කෑවාහුය. මෙසේ දින හයක් බිරින්දන් හය දෙනෙකුම මරා මස් කෑවාහුය.
බෝසතාණන් වහන්සේ පසුදින එක් එක් කොටස බැගින් කොටස් හයක් තැබූහ. සත්වෙනි දවසේ බෝසතාණන් වහන්සේගේ බිරිඳ මරන්නෙමුයි කී කල්හි බෝසතාණෝ ඒ කොටස් හය ඔවුන්ට දී අදට මේ කොටස් හය අනුභව කරව්. හෙටට වෙන විදියක් දනිමුයි කියා ඔවුන් මස් කා නිදන අවස්ථාවේ දී තම බිරිඳ රැගෙන පලා ගියහ. ඈ ටික දුරක් ගොස් යන්නට අපහසුයි ස්වාමීනියි කීවාය. ඉක්බිති බෝසතාණන් වහන්සේ ඇය කර තබාගෙන අරුණ නැගෙන වේලාවේදී කාන්තාරයෙන් නික්මුණු සේක. ඈ හිරු උදාවෙද්දී පිපාසයි ස්වාමීනියි කීවාය. බෝසතාණෝ සොඳුරිය, ජලය නැතැයි කියා, නැවත නැවතත් කියද්දී කඩුවෙන් දකුණු උරහිස පලා සොඳුරිය, ජලය නැත. මේ මාගේ දකුණු උරහිසේ ලේ බොමින් හිඳින්න යයි කීහ. ඈ එසේ කළාය. ඔවුන් දෙදෙනා අනුපිළිවෙලින් අවුත් ලොකු ගඟක් ළඟට පැමිණ පැන් බී නා ලොකු කුඩා පළතුරු කා පහසු තැනක විශ්‍රාම ගෙන ගංගාවක් නවතින එක්තරා තැනක ආශ්රමයක් තනාගෙන වාසය කළාහුය.
ඉක්බිති ගඟ මත්තෙහි රාජ අපරාධ කළ සොරෙකු අත් පාද කන් නාසාද කපා එක් ඔරුවක හිඳුවා මහ ගඟෙහි පා කර හැරියහ. ඒ කොටා මහා බැගෑපත් හඬක් පිට කරමින් ඒ ස්ථානයට පැමිණියේය. බෝසතාණන් වහන්සේ ඔහුගේ කරුණාබරිත හඬ අසා, දුකට පත් සත්ත්වයෙකු මා සිටිද්දී නොමැරේවායි ගංතෙරට ගොස් ඔහු ඔසවාගෙන අසපුවට ගෙනවුත් කසට වතුරෙන් තුවාල සෝදා බෙහෙත් ගල්වා තුවාලවලට ප්‍රතිකාර කළහ. බෝසත් බිරිඳ මෙබඳු කොටෙක් ගඟෙන් ගොඩට ගෙනවුත් ඇප උපස්ථාන කරන්නේ යයි කියා ඒ කොටා පිළිකුල් කරමින් කෙළ ගසමින් හැසිරෙයි. බෝසතාණන් වහන්සේ ඔහුගේ තුවාල සුව වූවාට පසු බිරිඳ සමග ඒ අසපුවෙහි රඳවා වනයෙන් ලොකු කුඩා ගෙඩි ගෙනවුත් කොටාද බිරිඳද පෝෂණය කරති. ඔවුන් මෙසේ වසන කල්හි ඒ ස්ත්‍රිය ඒ කොටා සමග පිළිබඳ සිත් ඇති වී ඔහු සමග අනාචාරයේ හැසිර, එක් උපායකින් බෝසතාණන් වහන්සේ මරනු කැමති වී මෙසේ කීවාය. ස්වාමීනි, මම නුඹ වහන්සේගේ උරෙහි හිඳගෙන කාන්තාරයෙන් නික්මෙද්දී එක්තරා පර්වතයක් දෙස බලා ආර්යයෙනි! පර්වතයට අරක්ගත් දේවතාවනි! ඉදින් මම සැමියා සමග සුවදායක ජීවිතයක් ලබන්නේ නම් ඔබවහන්සේට බලි පූජාවක් කරන්නෙමියි ආයාචනා කෙළෙමි. ඒ බාරය දැන් මා තැති ගන්වයි. බලි පූජාව කරමුයි කීවාය. බෝසතාණන් වහන්සේ ඒ ස්ත්‍රී මායම නොදන්නාහු යහපතැයි පිළිගෙන දේව පූජාව සූදානම් කර ඇය ලවා බලි පූජා භාජන ගෙන්වාගෙන පර්වතය මුදුනට නැංගාහ. ඉක්බිති ඔහුට ඈ මෙසේ කීවාය. ස්වාමීනි! දේවතාවන් අතරින් ඔබම උතුම් දේවතාවා වෙහි. එනිසා පළමුකොට ඔබට වනමලින් පුදා පැදකුණු කොට වැඳ පසුව දේවතාවාට දේව පූජාව කරන්නෙමියි කියා ඈ බෝසතාණන් වහන්සේ ප්‍රපාතයට අභිමුඛව තබා වනමලින් පුදා පැදකුණු කොට වඳින්න මෙන් සැරසී පිටිපස සිට පිටට ගසා ප්‍රපාතයට හෙළා මා විසින් සතුරා පිටුදකින ලදීයයි (සතුරාගෙන් නිදහස් වී යයි) සතුටු සිත් ඇතිව පර්වතයෙන් බැස කොටා සමීපයට ගියාය.