9. සීහචම්ම ජාතකය (189)
නෙතං සීහස්ස නදිතං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් කෝකාලික තෙරුන් මුල් කරගෙනම දේශනා කළ සේක. ඒ තෙරුන් වහන්සේ එකල ධර්මය හඬ නගා කියනු කැමැත්තේ විය. බුදුරජාණන් වහන්සේ ඒ පුවත අසා අතීත සිද්ධිය ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරනු ලබන කල්හි බෝසතාණන් වහන්සේ ගොවි කුලයෙහි ඉපිද වැඩිවියට පැමිණ ගොවිතැනින් දිවි ගෙවූ සේක. එකල එක් වෙළෙන්දෙක් කොටළුවන් පිට බඩු ගෙනයමින් වෙළඳාම් කරමින් හැසිරෙයි. ඔහු ගිය ගිය තැන්වලදී කොටළුවාගේ පිටින් බඩු බා කොටළුවාට සිංහ සමක් පොරවා ඇල් හා බාර්ලි (යව) කුඹුරුවලට මුදාහරියි. කෙත් රකින්නෝ කොටළුවා දැක සිංහයෙකු යන හැඟීමෙන් ළංවීමට නොහැකි වෙත්. ඉක්බිති දිනක් ඒ වෙළෙන්දා එක්තරා ගම් දොරටුවක (ගමක) ගෙයක් කුලියට ගෙන උදේ බත උයවන අතරේ කොටළුවාට සිංහ හම පොරවා බාර්ලි (යව) කුඹුරකට මුදා හැරියේය. කුඹුර රකින්නෝ සිංහයෙකු යන හැඟීමෙන් ළඟට යාමට නොහැකි වන්නේ ගෙට ගොස් දැන්වූහ. එවිට සියලු ගම්වැසියෝ ආයුධ රැගෙන හක් පිඹිමින්, බෙර ගසමින් කුඹුර ළඟට ගොස් මහත් නාද කළහ. කොටළුවා මරබියෙන් බියපත්ව කොටළු හඬින් නාද කෙළේය. ඉක්බිති මොහුගේ කොටළු බව දැන බෝසතාණන් වහන්සේ
නෙතං සීහස්ස නදිතං න ව්යග්ඝස්ස න දීපිනො,
පාරුතො සීහ චම්මෙන ජම්මො නදති ගද්රභො
පාරුතො සීහ චම්මෙන ජම්මො නදති ගද්රභො
යන පළමු ගාථාව කී සේක.
“මෙය සිංහයෙකුගේ නාදය නොවේ. ව්යාඝ්රයෙකුගේවත්, දිවියෙකුගේවත් නාදය නොවේ. සිංහ හමක් පොරවාගත් පහත් කොටළුවා නාද කරයි.”
එහි, ජම්මො යනු ලාමක (පහත්) ගම්වැසියෝ ද ඌගේ කොටළු බව දැන ඇට කඩමින් තලා සිංහ හම රැගෙන ගියාහුය.
ඉක්බිති ඒ වෙළෙන්දා අවුත් ඒ ව්යසනයට (විපතට) පත් කොටළුවා දැක
චිරම්පි ඛො තං ඛාදෙය්ය ගද්රභො හරිතං යවං,
පාරුතො සීහ චම්මෙන රවමානොව දූසයි.
පාරුතො සීහ චම්මෙන රවමානොව දූසයි.
යන දෙවන ගාථාව කීවේය.
“කොටළුවා සිංහහම් පොරවන ලදුව බොහෝ කාලයක් කොළ පැහැති යව කෑවේය. කොටළු හඬින් හඬමින් විනාශයට පත්විය.”
එහි, තං යනු නිපාත මාත්රයකි. මේ ගද්රභො කොටළුවා තමන්ගේ කොටළු බව නොපෙන්වා, සීහ චම්මෙන පාරුතො චිරම්පි සිංහ හම පොරවන ලදුව කලක්, හරිතං යවං කාදෙය්යා නිල්වන් යව කෑවේය යන අර්ථයි. රවමානොව දූසයි යනු තමාගේ කොටළු හඬ හඬමින් තමා විනාශ විය. මෙහි සිංහ හමේ දෝෂයක් නැත. ඔහු මෙසේ කියද්දීම කොටළුවා එහිම වැතිරී මළේය. වෙළෙන්දාද ඌ හැරදමා ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කොටළුවා මේ කෝකාලිකය. නුවණ ඇති ගොවියා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
10. සීලානිසංස ජාතකය (190)
පස්ස සද්ධාය සීලස්ස යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා සැදැහැති උවසුවෙකු මුල්කරගෙන දේශනා කළ සේක. ඒ උපාසකයා වනාහි සැදැහැ ඇත්තේය. ප්රසන්න ආර්ය ශ්රාවකයෙකි. එක්දිනක් දෙව්රම් වෙහෙරට යන්නේ සවස අචිරවතී ගංතෙරට ගොස් නැවියන් නැව ඉවුරෙහි තබා බණ ඇසීමට ගියකල්හි තොටෙහි නැව නොදැක බුද්ධාලම්භන ප්රීතිය ඇතිකරගෙන ගඟට බැස්සේය. පා ජලයෙහි ගිලා නොබැස්සේය. ඔහු පොළෝ තලයෙහි යන්නාක් මෙන් ගඟ මැදට ගියකල්හි රළ පහර දුටුවේය. ඉක්බිති ඔහුගේ බුද්ධාලම්භන ප්රීතිය මද වූයේ පා ගිලෙන්නට පටන් ගත්තේය. ඔහු බුද්ධාලම්භන ප්රීතිය දැඩිකොට ජලය මතුපිටින්ම ගොස් දෙව්රමට පිවිස බුදුරජාණන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ ඔහු සමග පිළිසඳර කථාකොට උපාසකය! කෙසේද? වැඩි අපහසුවක් නැතිව ආවෙහිදැයි විචාරා? ස්වාමීනි! බුද්ධාලම්භන ප්රීතිය උපදවාගෙන ජල මතුපිට පිහිට ලබාගෙන පොළොව පාගාගෙන එන්නාක් මෙන් ආවෙමියි කී කල්හි උපාසකය! නුඹ පමණක් බුදුගුණ මෙනෙහිකොට පිහිට ලැබුවේ නොවේ. පෙරත් උපාසකවරු මුහුද මැද නැව කැඩුණුවිට බුදුගුණ සිහිකිරීමෙන් පිහිට ලැබුවාහුයයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූහ සේක.
යටගිය දවස කසුප් සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සෝවාන් වූ ආර්ය ශ්රාවකයෙක් කරණවෑමි කෙළෙඹි පුත්රයෙකු සමග නැවකට නැංගේය. ඒ කරණවෑමියාගේ බිරිඳ ආර්යයෙනි! මොහුගේ සැපදුක් නුඹට බාරයි කියා කරණවෑමියා ඒ උපාසකයා අතට පත් කළාය. ඉක්බිති ඒ නැව හත්වෙනි දින මුහුද මැදදී කැඩුනේය. ඒ දෙදෙනා එක් ලෑල්ලක වැතිරී එක් දූපතකට පැමිණියාහුය. එහිදී ඒ කරණවෑමියා කුරුල්ලන් මරා පිස කන්නේ උපාසකයාටද දෙයි. උපාසකයා මට අවශ්ය නැතැයි කියා අනුභව කරයි. ඔහු “අපට මේ ස්ථානයේ තුන් සරණේ හැර වෙනත් පිහිටක් නැතැයි” සිතුවේය. ඔහු තෙරුවන් ගුණ සිහි කෙළේය. ඉක්බිති මොහු තෙරුවන් ගුණ සිහිකරත් සිහිකරත්ම ඒ දිවයිනේ උපන් නාරජ තමන්ගේ සිරුර මහ නැවක්කොට මැව්වෝය. මුහුදු දෙවියා නැව පදවන්නා (නියාමකයා) විය. නැව රන් රුවණින් පිරෙව්වේය. කුඹ ගස් තුනකි. ඉඳුනිල් මැණික්මය යොත් (ලණු) විය. රණින් කළ ලෑලිය.