10. සීලානිසංස ජාතකය (190)
පස්ස සද්ධාය සීලස්ස යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා සැදැහැති උවසුවෙකු මුල්කරගෙන දේශනා කළ සේක. ඒ උපාසකයා වනාහි සැදැහැ ඇත්තේය. ප්රසන්න ආර්ය ශ්රාවකයෙකි. එක්දිනක් දෙව්රම් වෙහෙරට යන්නේ සවස අචිරවතී ගංතෙරට ගොස් නැවියන් නැව ඉවුරෙහි තබා බණ ඇසීමට ගියකල්හි තොටෙහි නැව නොදැක බුද්ධාලම්භන ප්රීතිය ඇතිකරගෙන ගඟට බැස්සේය. පා ජලයෙහි ගිලා නොබැස්සේය. ඔහු පොළෝ තලයෙහි යන්නාක් මෙන් ගඟ මැදට ගියකල්හි රළ පහර දුටුවේය. ඉක්බිති ඔහුගේ බුද්ධාලම්භන ප්රීතිය මද වූයේ පා ගිලෙන්නට පටන් ගත්තේය. ඔහු බුද්ධාලම්භන ප්රීතිය දැඩිකොට ජලය මතුපිටින්ම ගොස් දෙව්රමට පිවිස බුදුරජාණන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ ඔහු සමග පිළිසඳර කථාකොට උපාසකය! කෙසේද? වැඩි අපහසුවක් නැතිව ආවෙහිදැයි විචාරා? ස්වාමීනි! බුද්ධාලම්භන ප්රීතිය උපදවාගෙන ජල මතුපිට පිහිට ලබාගෙන පොළොව පාගාගෙන එන්නාක් මෙන් ආවෙමියි කී කල්හි උපාසකය! නුඹ පමණක් බුදුගුණ මෙනෙහිකොට පිහිට ලැබුවේ නොවේ. පෙරත් උපාසකවරු මුහුද මැද නැව කැඩුණුවිට බුදුගුණ සිහිකිරීමෙන් පිහිට ලැබුවාහුයයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූහ සේක.
යටගිය දවස කසුප් සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සෝවාන් වූ ආර්ය ශ්රාවකයෙක් කරණවෑමි කෙළෙඹි පුත්රයෙකු සමග නැවකට නැංගේය. ඒ කරණවෑමියාගේ බිරිඳ ආර්යයෙනි! මොහුගේ සැපදුක් නුඹට බාරයි කියා කරණවෑමියා ඒ උපාසකයා අතට පත් කළාය. ඉක්බිති ඒ නැව හත්වෙනි දින මුහුද මැදදී කැඩුනේය. ඒ දෙදෙනා එක් ලෑල්ලක වැතිරී එක් දූපතකට පැමිණියාහුය. එහිදී ඒ කරණවෑමියා කුරුල්ලන් මරා පිස කන්නේ උපාසකයාටද දෙයි. උපාසකයා මට අවශ්ය නැතැයි කියා අනුභව කරයි. ඔහු “අපට මේ ස්ථානයේ තුන් සරණේ හැර වෙනත් පිහිටක් නැතැයි” සිතුවේය. ඔහු තෙරුවන් ගුණ සිහි කෙළේය. ඉක්බිති මොහු තෙරුවන් ගුණ සිහිකරත් සිහිකරත්ම ඒ දිවයිනේ උපන් නාරජ තමන්ගේ සිරුර මහ නැවක්කොට මැව්වෝය. මුහුදු දෙවියා නැව පදවන්නා (නියාමකයා) විය. නැව රන් රුවණින් පිරෙව්වේය. කුඹ ගස් තුනකි. ඉඳුනිල් මැණික්මය යොත් (ලණු) විය. රණින් කළ ලෑලිය.
මුහුදු දේවතාවා නැවේ සිට ජම්බු ද්වීපයට (බරණැසට) යනු කැමැත්තෝ ඇත්දැයි ඝෝෂා කෙළේය. උපාසකයා අපි යන්නෙමුයි කීවේය. එසේනම් එන්න. නැවට නගින්නයි කීය. හෙතෙම නැවට නැග කරණවෑමියා කැඳවීය. මුහුදු දේවතාවා ඔබට යන්නට ලැබෙයි. මොහුට යන්නට ලැබෙන්නේ නැතැයි කීවේය. ඒ කුමක් නිසාදැයි ඇසීය. මොහුට සිල්ගුණ හා යහපත් පැවැත්මක් නැත. එයයි කාරණය. මම නුඹ සඳහා නැව ගෙනාවෙමි. මොහු සඳහා නොගෙනාවෙමියි කීහ. එසේ වේවා! මම තමා විසින් දුන් දානයේ රකින ලද සීලයේ, වඩන ලද භාවනාවේ අනුසස් මොහුටද අනුමෝදන් කරමියි අනුමෝදනා කරවීය. කරණවෑමියා අනුමෝදන් වෙමියි ස්වාමීනියි කීය. දේවතාවා දැන් ගන්නෙමියි, ඔහුද නංවාගෙන ඒ දෙදෙනා මුහුදෙන් එතෙර කරවා ගඟ දිගේ බරණැස් නුවරට ගොස් තමන්ගේ ආනුභාවයෙන් දෙදෙනාට ඔවුන්ගේ නිවෙස්වල ධනය පිහිටුවා නුවණ ඇති අය සමගම ආශ්රය කළයුතුයි. ඉදින් මේ කරණවෑමියා මේ උපාසකයා සමග ආශ්රය නොකළානම් මුහුද මැදදීම නැසෙන්නට තිබුණි යනුවෙන් නුවණැතියන්ගේ ආශ්රයෙහි ගුණ කියමින්
පස්ස සද්ධාය සීලස්ස චාගස්ස ච අයං ඵලං,
නාගො නාගාය වණ්ණෙන සද්ධං වහති උපාසකං.
නාගො නාගාය වණ්ණෙන සද්ධං වහති උපාසකං.
සබ්බිරෙව සමාසෙථ සබ්බි කුබ්බෙථ සන්ථවං,
සතංහි සන්නිවාසෙන සොත්ථිං ගච්ඡති නහාපිතොනි.
සතංහි සන්නිවාසෙන සොත්ථිං ගච්ඡති නහාපිතොනි.
යන ගාථා කීවේය.
ශ්රද්ධාවෙහි ද, සීලයෙහි ද, පරිත්යාගයෙහි ද ප්රතිඵලය බලන්න. නාගයා නැවක හැඩයෙන් යුක්තව උපාසකයා ජලයේ උසුලාගෙන යයි.
සත්පුරුෂයන් ඇසුරු කරන්න. සත්පුරුෂයන් සමගම මිතුරුකම් පවත්වන්න. සත්පුරුෂයන්ගේ ඇසුර නිසා කරණවෑමියා සුවසේ යයි.
එහි, පස්ස යනු කිසිවෙකු නියම නොකොට බලව් යනුවෙන් අමතයි. සද්ධායා යනු ලෞකික ලෝකෝත්තර ශ්රද්ධාවෙන් සීලයෙහිද මේ ක්රමයමයි. චාගස්සා යනු දානවස්තු පරිත්යාගයේද කෙලෙස් පරිත්යාගයේද, අයං ඵලං යනු මේ ඵලයයි. ගුණය ආනිසංසය යන අර්ථයි. නැතහොත් පරිත්යාගයෙහි ප්රතිඵලයද බලව. මේ නාගයා නැවක හැඩයෙන් යුතුව යනුවෙන් මෙසේ මෙහි අර්ථය දතයුතුයි. නාවාය වණ්ණෙන යනු නැවක හැඩයෙන්, සද්ධං යනු රත්නත්රය කෙරෙහි පිහිටි ශ්රද්ධාවයි. සබ්භිරෙව යනු නුවණ ඇත්තන් සමගම, සමාසෙථා යනු එක්ව වසන්නේය යන අර්ථයි. කුබ්බෙථ යනු කරන්නේය. සන්ථවං යු මිතුරුව විසීමයි. තෘෂ්ණා වශයෙන් ඇසුරු කිරීම වනාහි කිසිවෙකු සමගත් නොකළ යුතුයි. නහාපිතො යනු කරණවෑමි කෙළෙඹි පුත්රයා. නහාපිතො පාඨයකි.
මෙසේ මුහුදට අරක් ගත් දේවතාවා අහසෙහි සිට දහම් දෙසා අවවාද දී නාගරාජයා ගෙන තමන්ගේ විමානයටම ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්යය දේශනාවකොට ජාතක කථාව නිමවා වදාළ සේක. චතුරාර්ය සත්යය දේශනාවගේ කෙළවර උපාසකයා සකෘදාගාමි ඵලයෙහි පිහිටියේය. එකල සෝවාන් වූ උපාසකයා පිරිනිවීය. එකල නාරජු සැරියුත් තෙරුන්ය. මුහුදට අරක් ගත් දේවතාවා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.