4. අසදිස වර්ගය
1. අසදිස ජාතකය (181)
ධනුග්ගහො අසදිසො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක් උන්වහන්සේගේ මහභිනික්මන මුල්කරගෙන දේශනා කළ සේක. එක්දිනක් භික්ෂූන් වහන්සේලා දම්සභාවෙහි රැස්ව භාග්යවතුන් වහන්සේගේ මහා නෙක්ඛම්ම පාරමිතාව වර්ණනා කරමින් වැඩ සිටියාහුය. එහි වැඩමකළ ශාස්තෲන් වහන්සේ, මහණෙනි! තථාගතයන් වහන්සේ දැන් පමණක් මහභිනික්මන් කළාහු නොවෙති. පෙරත් රජසැප හැරදමා (සේසත හැරදමා) නික්මුණාහු යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඔහුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත් සේක. ඒ දරුවා සුවසේ උපන් බැවින්, නම් තබන දවසේ “අසදිස” කුමරායයි නම් කළාහුය. ඉක්බිති මොහු ඒ මේ අත දුවපැන හැසිරෙන කාලයේ තවත් පිං ඇති දරුවෙක් (සත්ත්වයෙක්) දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුද සුවසේ උපන් බැවින් නම් තබන දවසේ “බඹදත්” කුමරා යයි නම් කළාහුය. ඔවුන් දෙදෙනාගෙන් බෝසතාණන් වහන්සේ සොළොස් වයස් කාලයේ තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ඇදුරුතුමාගේ සමීපයෙහි ත්රිවේදයද අටළොස් ශිල්පද ඉගෙනගෙන දුනු ශිල්පයෙහි අසමාන පුහුණුවක් ලබාගෙන බරණැසට පෙරළා පැමිණියේය. පිය මහරජතුමා අවසාන කාලයේ අසදිස කුමාරයාට රාජ්යය දී බඹදත් කුමරුට යුවරජකම දෙවයි කියා සිටියදී කලුරිය කෙළේය. පියා කලුරිය කළ කල්හි බෝසතාණන් වහන්සේ තමන්ට රජකම දෙද්දී මට රාජ්යයෙන් ඵලක් නැතැයි රජකම ප්රතික්ෂේප කළහ. ඒ නිසා බඹදත් කුමරු රාජ්යයෙන් අභිෂේක කළහ. බෝධිසත්ත්වයන් වහන්සේ මට කීර්තියෙන් ප්රයෝජනයක් නැතැයි කිසිවක් නොකැමැති වූ සේක. කණිටු සොහොයුරා රජ කරද්දී සාමාන්ය ස්වභාවයෙන්ම විසුවේය. රජතුමා ළඟින්ම ඇසුරු කරන්නෝ අසදිස කුමාරයා රජකම බලාපොරොත්තු වන්නේ යයි කියා රජු කෙරෙහි බෝධිසත්ත්වයන් බිඳවූහ. රජතුමාද ඔවුන්ගේ වචනය විශ්වාසකොට බිඳුණු සිත් ඇත්තේ මගේ සහෝදරයා අත්අඩංගුවට ගනිව් යයි මිනිසුන් යෙදවීය.
ඉක්බිති බෝසතාණන් වහන්සේගේ යහපතෙහි හැසිරෙන එක් තැනැත්තෙක් ඒ බව දැන්වීය. බෝසතාණන් වහන්සේ බාල සහෝදරයාට කිපී වෙනත් රටකට ගොස් එක් දුනුවායෙක් අවුත් රජ දොරටුවේ සිටියේ යයි රජු දැනුවත් කරවූහ. රජතුමා ධනය කොපමණ බලාපොරොත්තු වන්නේදැයි විචාළේය. වසරකට කහවණු ලක්ෂයක් අවශ්ය බව කී විට හොඳයි එන්නැයි කීවේය. ඉක්බිති රජතුමා අවුත් සමීපයේ සිටි ඔහුගෙන් නුඹ දුනුවායෙක්දැයි ඇසීය. එසේය දේවයන් වහන්ස! යහපති. මට උපස්ථාන කරනුයි කීය. හෙතෙම එතැන් පටන් රජුට උපස්ථාන කෙළේය. ඔහුට වියදම් දෙන ප්රමාණය දැක ලොකු වැටුපක් ලබන්නේ යයි පැරණි දුනුවායෝ දොස් නැගූහ. ඉක්බිති එක්දිනක් රජතුමා උයනට ගොස් මඟුල් ගල්තලාව සමීපයෙහි තිරරෙදිවලින් වටකරවා අඹගස මුල මහා යහනක වැතිරුණේ උඩ බලමින් ගස මුදුනෙහි එක් අඹ පොකුරක් දැක මෙය ගසට නැග කඩාගන්න නොහැකියයි සිතා දුනුවායන් කැඳවා මේ අඹ පොකුර ඊතලෙන් විද කඩා හෙළන්නට හැකිදැයි ඇසීය. දේවයන් වහන්ස! මෙය අපට බැරිකමක් නැත. දේවයන් වහන්සේ විසින් බොහෝ වාරවලදී අපේ ක්රියා දැක ඇත. එහෙත් අළුතෙන් පැමිණි දුනුවායා අපට වඩා වැඩි වැටුප් ලබයි. ඔහු ලවා කඩවා ගනු මැනවියි කීහ.
රජතුමා බෝසතාණන් වහන්සේ කැඳවා දරුව! මේ අඹපොකුර බිම හෙළිය හැකිවන්නේදැයි ඇසීය. එසේය මහරජ, එක් අවස්ථාවක් ලබමින් හැකිවන්නෙමියි කීහ. කොතැනකටදැයි රජ ඇසීය. ඔබවහන්සේගේ සයනය තුළට යයි බෝසත්හු කීහ. රජතුමා සයනය ඉවත්කරවා ඉඩ සැලැස්වීය. බෝධිසත්ත්වයන් වහන්සේගේ අතෙහි දුන්නක් නැත. ඇඳුම් අතරෙහි සන්නද්ධකොට තබා හැසිරෙයි. ඒ නිසා වටතිරයක් ලැබිය යුතුයයි කීහ. රජතුමා යහපතැයි තිරයක් ගෙන්වා වට කෙරෙව්වේය. බෝසතාණන් වහන්සේ තිරය ඇතුළට පිවිස උඩින් ඇඳ ඇති සුදු වස්ත්රය ඉවත්කොට එක් රතුපාට වස්ත්රයක් ඇඳ බඳපටිය බැඳ පසිම්බුවෙන් සන්ධි යුක්ත (කෑලි සතක) කඩුව පිටතට ගෙන වම් උරේ එල්ලාගෙන සන්නද්ධ වී රන් හැට්ටය ඇඳගෙන ඊතල කොපුව පිටෙහි එල්ලාගෙන කෑලි සවිකර තැනූ (සන්ධි යුක්ත) බැටළු අඟෙන් සාදන ලද දුන්න අතින් ගෙන පබලු වැලක් වැනි ඉතා රතු දුන් ලනුවක් ලාගෙන නළල්පට හිසේ ගැට ගසා තියුණු ඊතලය නියවලින් පෙරළමින් තිරය දෙබෑකොට පොළොව පලාගෙන මතුවෙන සරසන ලද නා කුමාරයෙකු මෙන් නික්මී ඊතල විදින තැනට ගොස් ඊතලය සන්නද්ධ කොට රජතුමාට කීහ. මහරජතුමනි! කෙසේද? මේ අඹ පොකුර උඩට යන ඊ පහරින් මම බිම හෙළන්නෙම්ද? නැතිනම් පහළට එන ඊ පහරින් බිම හෙළන්නෙම්ද? දරුව! මම බොහෝවිට උඩට යන ඊ පහරින් කැඩෙනු දැක ඇත්තෙමි. පහළට එන ඊ පහරින් කැඩෙනු දැක නැත්තෙමි. පහලට එන ඊ පහරින් හෙළන්නැයි කීය. මේ ඊතලය චාතුර්මහාරාජික භවනය දක්වා ඉහළට ගොස් තෙමේම බසින්නේය. ඊතලය බසිනතුරු ඔබවහන්සේ විසින් ඉවසා සිටීමට වටීයයි කීහ. රජතුමා යහපතැයි පිළිගත්තේය.