8. සීහකොත්‍ථුක ජාතකය (188)
සීහංගුලී සීහනඛො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් කෝකාලික තෙරුන් අරබයා වදාළ‌ සේක. එක් දවසක් වනාහි කෝකාලික භික්‍ෂුව අන්‍ය බහුශ්‍රැත ධර්මකථිකයන් වහන්සේලා ධර්මය දේශනා කරන කල්හි තමනුත් ධර්මය කියනු කැමැත්තේ විය යනාදිය සියල්ල යට (මුලින්) කියන ලද අන්දමට විස්තර කළයුතුය. ඒ ප්‍රවෘත්තිය අසා බුදුරජාණන් වහන්සේ මහණෙනි, කෝකාලික භික්‍ෂුව තමන්ගේ හඬින් ප්‍රකට වූයේ දැන් පමණක් නොවෙයි. පෙරත් එසේ ප්‍රකටවීයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහා බෝසතාණන් වහන්සේ හිමාලය වන පෙදෙසෙහි සිංහයෙක් වී ඉපිද එක් හිවලියක සමග සංවාසයේ යෙදීමෙන් පුතෙකු ලැබූහ. ඒ සිංහ පැටියා ඇඟිලිවලින්, නියවලින්, කෙසරුවලින්, පැහැයෙන්, හැඩරුවෙන් මේ ආකාරවලින් පියා හා සමාන විය. කටහඬින් මව හා සමාන විය. ඉක්බිති එක් දිනක් වැස්ස වැස පහවූ කල්හි (නතර වූ විට) සිංහයෝ නාද කර කර ක්‍රීඩා කරන කල්හි ඒ සිංහ පැටවාද සිංහයන් අතරෙහි නාදකරනු කැමතිව හිවල් හඬින් නාද කෙළේය. ඉක්බිති මොහුගේ ශබ්දය අසා සිංහයෝ නිහඬ වූහ. ඔහුගේ හඬ අසා බෝසතාණන් වහන්සේගේ ස්වකීය වර්ගයට අයත් වෙනත් සිංහ පුත්‍රයෙක් පියාණෙනි, මේ සිංහයා පැහැයෙන් හැඩරුවින් අප හා සමානයි. නමුත් මොහුගේ ශබ්දය වනාහි වෙනස්ය. මේ කවරෙක්දැයි විමසමින්
සීහංගුලී සීහ නඛො සීහපාද පතිට්ඨිතො,
සො සීහො සීහ සංගම්හි එකො නදති අඤ්ඤථා
යන පළමු ගාථාව කීවේය.
“සිංහයන්ට බඳු ඇඟිලි ඇති, සිංහයන්ට බඳු නිය ඇති, සිංහ පාදයන්ගෙන් පිහිටි මේ සිංහ තෙමේ සිංහ රංචුවෙහි හුදකලාව අනෙක් පරිද්දෙකින් (හිවල් හඬින්) නාද කෙරේ.”
එහි, සීහපාද පතිට්ඨිතො යනු සිංහ පාදයන්ගේම පිහිටියේ (සිංහ පාද ඇති) එකො නදති අඤ්ඤථා යනු තනිව සෙසු සිංහයන්ට අසමානව හිවල් හඬින් නාදකරමින් අන් අයුරින් නාද කරයි.
ඒ අසා බෝසතාණන් වහන්සේ දරුව! මේ ඔබේ සහෝදරයාය. හිවලියගේ පුත්‍රයාය. රූපයෙන් මා හා සමානය. හඬින් මව හා සමානයයි කියා හිවලියගේ පුතා අමතා දරුව! නුඹ මෙතැන් පටන් මෙහි වාසය කරමින් ශබ්ද නොකර වාසය කරන්න. ඉදින් යළිත් නාද කළොත් ඔබේ හිවල් බව ඔවුහු දැනගන්නාහු යයි අවවාද දෙමින්
මා ත්‍වං නදි රාජ පුත්ත! අප්ප සද්දො වනෙ වස,
සරෙන ඛො තං ජානෙය්‍යුං නහි තෙ පෙත්තිකො සරො.
යන දෙවන ගාථාව කීවේය.
“සිංහ රාජයාගේ පුත්‍රයාණෙනි! ඔබ නාද නොකරන්න. නිහඬව වනයෙහි වාසය කරන්න. ඔබ ඔබේ ස්වරයෙන් (හඬින්) හැඳින ගනී. ඔබට පියාගේ කටහඬ නැත්තේය.”
එහි, රාජ පුත්ත යනු මෘගරාජ වූ සිංහයාගේ පුත්‍රයාණෙනි! මේ අවවාදය අසා නැවත සිංහපැටියා නාද කරන්නට උත්සාහ නොගත්තේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල හිවලා කෝකාලික භික්‍ෂුව විය. සහජාතික පුත්‍රයා රාහුල කුමාරයාය. මෘගරාජයා (සිංහයා) වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
9. සීහචම්ම ජාතකය (189)
නෙතං සීහස්ස නදිතං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් කෝකාලික තෙරුන් මුල් කරගෙනම දේශනා කළ සේක. ඒ තෙරුන් වහන්සේ එකල ධර්මය හඬ නගා කියනු කැමැත්තේ විය. බුදුරජාණන් වහන්සේ ඒ පුවත අසා අතීත සිද්ධිය ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරනු ලබන කල්හි බෝසතාණන් වහන්සේ ගොවි කුලයෙහි ඉපිද වැඩිවියට පැමිණ ගොවිතැනින් දිවි ගෙවූ සේක. එකල එක් වෙළෙන්දෙක් කොටළුවන් පිට බඩු ගෙනයමින් වෙළඳාම් කරමින් හැසිරෙයි. ඔහු ගිය ගිය තැන්වලදී කොටළුවාගේ පිටින් බඩු බා කොටළුවාට සිංහ සමක් පොරවා ඇල් හා බාර්ලි (යව) කුඹුරුවලට මුදාහරියි. කෙත් රකින්නෝ කොටළුවා දැක සිංහයෙකු යන හැඟීමෙන් ළංවීමට නොහැකි වෙත්. ඉක්බිති දිනක් ඒ වෙළෙන්දා එක්තරා ගම් දොරටුවක (ගමක) ගෙයක් කුලියට ගෙන උදේ බත උයවන අතරේ කොටළුවාට සිංහ හම පොරවා බාර්ලි (යව) කුඹුරකට මුදා හැරියේය. කුඹුර රකින්නෝ සිංහයෙකු යන හැඟීමෙන් ළඟට යාමට නොහැකි වන්නේ ගෙට ගොස් දැන්වූහ. එවිට සියලු ගම්වැසියෝ ආයුධ රැගෙන හක් පිඹිමින්, බෙර ගසමින් කුඹුර ළඟට ගොස් මහත් නාද කළහ. කොටළුවා මරබියෙන් බියපත්ව කොටළු හඬින් නාද කෙළේය. ඉක්බිති මොහුගේ කොටළු බව දැන බෝසතාණන් වහන්සේ
නෙතං සීහස්ස නදිතං න ව්‍යග්ඝස්ස න දීපිනො,
පාරුතො සීහ චම්මෙන ජම්මො නදති ගද්‍රභො
යන පළමු ගාථාව කී සේක.
“මෙය සිංහයෙකුගේ නාදය නොවේ. ව්‍යාඝ්‍රයෙකුගේවත්, දිවියෙකුගේවත් නාදය නොවේ. සිංහ හමක් පොරවාගත් පහත් කොටළුවා නාද කරයි.”
එහි, ජම්මො යනු ලාමක (පහත්) ගම්වැසියෝ ද ඌගේ කොටළු බව දැන ඇට කඩමින් තලා සිංහ හම රැගෙන ගියාහුය.
ඉක්බිති ඒ වෙළෙන්දා අවුත් ඒ ව්‍යසනයට (විපතට) පත් කොටළුවා දැක