7. චතුමට්ඨ ජාතකය (187)
උච්චෙ විටභිමාරායහ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරනසේක් එක්තරා මහලු භික්ෂුවක මුල්කර ගෙන දේශනා කළ සේක. එක්දිනක් අගසව් දෙදෙනා වහන්සේ ඔවුනොවුන් ප්රශ්න අසා විසඳමින් සිටින අවස්ථාවක එක්තරා මහලු භික්ෂුවක් අගසව් දෙදෙනා වහන්සේ ළඟට ගොස් තුන්වැන්නෙකු වී හිඳගෙන ස්වාමීනි, අපිද නුඹ වහන්සේලාගෙන් ප්රශ්න විචාරන්නෙමු. නුඹවහන්සේලාත් තමන්ගේ සැක කරුණු ඇතොත් අපෙන් විමසුව මැනවයි කීවේය. දෑගසව්වන් වහන්සේලා ඒ භික්ෂුව පිළිකුල් කොට නැගිට වැඩියහ. තෙරුන් වහන්සේලාගෙන් බණ ඇසීමට සූදානම්ව සිටි පිරිස රැස්වීම විසිරී ගිය අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ වෙත ගොස් සිටිනවිට අවේලාවේ කුමක් නිසා ආවහුදැයි වදාළ කල්හි ඒ සිද්ධිය දන්වා සිටියහ. එවිට බුදුහු මහණෙනි, සැරියුත් මුගලන් දෙදෙනා මේ භික්ෂුව පිළිකුල්කොට කථා නොකර ඉවත්ව ගියේ, දැන් පමණක් නොවේ. පෙරත් මෙසේ ඉවත්ව ගියාහුයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ වනාන්තරයක රුක් දෙවියෙකු වී සිටි සේක. ඉක්බිති හංසපැටව් දෙදෙනෙක් චිත්රකූට පර්වතයෙන් නික්මී ඒ ගසෙහි හිඳ ගොදුරු පිණිස ගොස් ආපසු එමින් ද ඒ බෝසතාණන් වහන්සේ සමග හංස පෝතකයන්ගේ විශ්වාසයක් ඇතිවිය. යන එන ගමන්වලදී ඔවුනොවුන් සතුටු වී දැහැමි කථා කියා යන්නාහුය. ඉක්බිති එක්දිනක් ඔවුන් ගස මුදුනේ සිට බෝසතාණන් වහන්සේ සමග කථාකරන කල්හි එක් හිවලෙක් ඒ ගස යට සිට ඒ හංසපැටව් සමග කථා කරමින්,
උච්චෙ විටභිමාරුය්හ මන්තයව්හො රහොගතා,
නීචෙ ඔරුය්හ මන්තව්හො මිගරාජාපි සොස්සති
නීචෙ ඔරුය්හ මන්තව්හො මිගරාජාපි සොස්සති
යන පළමු ගාථාව කීවේය.
“උස් ගසක අත්තකට නැගී රහසිගතව මන්ත්රණය කරන්නාහුය. බිමට බැස කථා කරව් මෘගරාජයා ද අසන්නේය.”
එහි, උච්චෙ විටභිමාරුය්හ යනු ස්වභාවයෙන්ම උස මේ ගසෙහි වඩා උස දෙබලකට නැගී, මන්තයව්හො යනු මන්ත්රණය කරව්. කථා කරව්. නීචෙ ඔරුය්හ යනු ගසින් බැස පහත් තැන සිට මන්ත්රණය (කතා) කරව්. මිගරාජාපි සොස්ස ති යනු තමා මෘගරාජයෙකු (සිංහයෙකු) කොට කීවේය. හංස පැටව් පිළිකුල්කොට නැගිට චිත්රකූටයටම ගියෝය.
ඔවුන් ගියකල්හි බෝසතාණන් වහන්සේ හිවලාට
යං සුපණ්ණො සුපණ්ණො න දෙවො දෙවෙන මන්තයෙ,
කිං තෙත්ථ චතුමට්ඨස්ස බිලං පවිස ජම්බුකා
කිං තෙත්ථ චතුමට්ඨස්ස බිලං පවිස ජම්බුකා
යන දෙවන ගාථාව කී සේක.
“යම් කරුණකින් හංසයා හංසයා සමගද දෙවියා දෙවියා සමගද මන්ත්රණය කෙරේද? ඒ මන්ත්රණයෙහි (කතාවෙහි) ශරීරය, ජාතිය, ස්වරය, ගුණය යන සතර කරුණකින් හීන වූ තට කවර නම් ප්රයෝජනයෙක්ද? සිගාලය! බිලයට පිවිසෙව.”
එහි, සුපණ්ණො යනු යහපත් පියාපත් ඇති හංසයා සුපණ්ණෙන යනු දෙවන හංස පෝතකයා සමග, දෙවො දෙවෙන යනු ඒ දෙදෙනාම දෙවියන් කොට (සලකා දෙවියා දෙවියන් සමග යනුවෙන්) කියයි. චතුමට්ඨස්ස යනු සිරුරෙන්, ජාතියෙන්, හඬින් (ස්වරය) ගුණයෙන් යන මේ කරුණු හතරින් ඔපමට්ටම් වූ පිරිසිදු වූ ඔබට යන වචනාර්ථයයි. අපිරිසිදු වුව හිවලාට ප්රශංසා කරන වචනයෙන් නින්දා කරමින් මෙසේ කීය. මේ කරුණු හතරින් ලාමක වූ පහත් වූ හිවලාට ඔබට මෙහි කවර ප්රයෝජනයක්ද යන මෙය මෙහිදීත් අදහස් කරන ලදි. බිලං පවිස යන මෙය බෝසතාණන් වහන්සේ බියජනක අරමුණු පෙන්වා හිවලා පලා යවමින් කීහ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල මේ මහලු පැවිද්දා හිවලා විය. හංස පෝතකයෝ දෙදෙනා සැරියුත් මුගලන් දෙදෙනාය. රුක් දෙවියා වනාහි මම ම වෙමි යි වදාළ සේක.
8. සීහකොත්ථුක ජාතකය (188)
සීහංගුලී සීහනඛො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් කෝකාලික තෙරුන් අරබයා වදාළ සේක. එක් දවසක් වනාහි කෝකාලික භික්ෂුව අන්ය බහුශ්රැත ධර්මකථිකයන් වහන්සේලා ධර්මය දේශනා කරන කල්හි තමනුත් ධර්මය කියනු කැමැත්තේ විය යනාදිය සියල්ල යට (මුලින්) කියන ලද අන්දමට විස්තර කළයුතුය. ඒ ප්රවෘත්තිය අසා බුදුරජාණන් වහන්සේ මහණෙනි, කෝකාලික භික්ෂුව තමන්ගේ හඬින් ප්රකට වූයේ දැන් පමණක් නොවෙයි. පෙරත් එසේ ප්රකටවීයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහා බෝසතාණන් වහන්සේ හිමාලය වන පෙදෙසෙහි සිංහයෙක් වී ඉපිද එක් හිවලියක සමග සංවාසයේ යෙදීමෙන් පුතෙකු ලැබූහ. ඒ සිංහ පැටියා ඇඟිලිවලින්, නියවලින්, කෙසරුවලින්, පැහැයෙන්, හැඩරුවෙන් මේ ආකාරවලින් පියා හා සමාන විය. කටහඬින් මව හා සමාන විය. ඉක්බිති එක් දිනක් වැස්ස වැස පහවූ කල්හි (නතර වූ විට) සිංහයෝ නාද කර කර ක්රීඩා කරන කල්හි ඒ සිංහ පැටවාද සිංහයන් අතරෙහි නාදකරනු කැමතිව හිවල් හඬින් නාද කෙළේය. ඉක්බිති මොහුගේ ශබ්දය අසා සිංහයෝ නිහඬ වූහ. ඔහුගේ හඬ අසා බෝසතාණන් වහන්සේගේ ස්වකීය වර්ගයට අයත් වෙනත් සිංහ පුත්රයෙක් පියාණෙනි, මේ සිංහයා පැහැයෙන් හැඩරුවින් අප හා සමානයි. නමුත් මොහුගේ ශබ්දය වනාහි වෙනස්ය. මේ කවරෙක්දැයි විමසමින්
සීහංගුලී සීහ නඛො සීහපාද පතිට්ඨිතො,
සො සීහො සීහ සංගම්හි එකො නදති අඤ්ඤථා
සො සීහො සීහ සංගම්හි එකො නදති අඤ්ඤථා
යන පළමු ගාථාව කීවේය.
“සිංහයන්ට බඳු ඇඟිලි ඇති, සිංහයන්ට බඳු නිය ඇති, සිංහ පාදයන්ගෙන් පිහිටි මේ සිංහ තෙමේ සිංහ රංචුවෙහි හුදකලාව අනෙක් පරිද්දෙකින් (හිවල් හඬින්) නාද කෙරේ.”
එහි, සීහපාද පතිට්ඨිතො යනු සිංහ පාදයන්ගේම පිහිටියේ (සිංහ පාද ඇති) එකො නදති අඤ්ඤථා යනු තනිව සෙසු සිංහයන්ට අසමානව හිවල් හඬින් නාදකරමින් අන් අයුරින් නාද කරයි.