6. දධිවාහන ජාතකය (186)
වණ්ණගන්‍ධ රසූපෙතො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් විපක්‍ෂය ඇසුරු කළ භික්‍ෂු කෙනෙකුන් මුල් කරගෙන දේශනා කළ සේක. මෙහි වර්තමාන කථාව යට (මුලින්) සඳහන් කළ කථාව හා සමානය. ශාස්තෲන් වහන්සේ වනාහි මහණෙනි! පවිටන් සමග වාසය නම් ලාමකය. අනර්ථකාරීය. එහි මිනිසුන්ට පවිටන්ගේ ආශ්‍රය අනතුරුදායක බව කියනුම කවරේද? පෙර තිත්ත, අමිහිරි කොහොඹ ගස සමග වාසයට පැමිණ, මිහිරි රස ඇති දිව්‍ය රසය හා සමාන වූ සිත් නැති මිහිරි අඹ ගස පවා අමිහිරි තිත්ත එකක් බවට පත්වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී කසීරට බමුණු සහෝදරයෝ හතරදෙනෙක් තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවත් පෙදෙසෙහි පිළිවෙලින් පන්සල් තනාගෙන වාසය කළාහුය. ඔවුන්ගේ වැඩිමල් සහෝදරයා කලුරියකොට ශක්‍ර පදවියට පත්විය. හෙතෙම ඒ කාරණය දැන අතරින් පතර සත්අට දවසක් ගිය තැන සහෝදරයන් තුන්දෙනාට උපස්ථාන කිරීම පිණිස එන්නේ එක් දවසක් වැඩිමල් තවුසා වැඳ එකත්පසෙක හිඳ ස්වාමීනි! ඔබවහන්සේට කිනම් දෙයක් අවශ්‍යදැයි විචාළේය. පාණ්ඩු රෝගයෙන් පෙළෙන තාපසයා මට ගින්නෙන් ප්‍රයෝජන ඇතැයි කීවේය. ශක්‍රයා ඔහුට වෑ පොරවක් දුන්නේය. වාසි ඵරසුව නම් මිටට ඇතුල් කිරීම් වශයෙන් වෑයත් වේ පොරවත් වේ. එවිට තවුසා කවරෙක් මේ පොරොව ගෙන දර ගෙන එන්නේදැයි කීහ. ඉක්බිති ශක්‍රයා ඔහුට ස්වාමීනි! ඔබට දර අවශ්‍ය වූ විට අත පිසදමා මේ පොරොව මට දර ගෙනවිත් ගිනි දල්වන්නයි කියන්න. දර ඉබේම ඇවිත් ගිනි දල්වන්නේ යයි කීවේය. මෙසේ කියා ඔහුට වෑ පොරොව දී දෙවැන්නා ළඟට ගොස් ස්වාමීනි! ඔබවහන්සේ කුමකින් ප්‍රයෝජන ඇත්දැයි විචාළේය. ඔහුගේ පන්සල අසලින් ඇතුන් යන මාර්ගයක් ඇත. තවුසා මම ඇතුන්ගෙන් පීඩාවට පත්වීමි. ඇතුන් නිසා මට දුකක් උපදියි. ඔවුන් පලවා හරින්නැයි කීවේය. ශක්‍රයා ඔහුට එක් බෙරයක් ගෙනවිත් දී ස්වාමීනි, මේ බෙර ඇසට ගැසූවිට තොපගේ සතුරෝ පලා යන්නෝය. මේ පැත්තට ගැසූ විට මෙත් සිත් ඇතිව සිව්රඟ සේනාවෙන් පිරිවරා ගන්නේ යයි කියා ඒ බෙරය දී, බාල සහෝදරයා සමීපයට ගොස්, ස්වාමීනි! ඔබ වහන්සේට කවර දෙයකින් ප්‍රයෝජනදැයි විචාළේය. ඔහුද පාණ්ඩු රෝගියෙකි. එහෙයින් මට දීකිරිවලින් ප්‍රයෝජන ඇතැයි කීවේය. ශක්‍රයා ඔහුට එක් මිදුණු කිරි කලයක් දී ඉදින් ඔබ කැමති වන්නේ නම් මෙසේ ආවර්ජනා කරන්න. මහ ගඟක් වී මහා සැඩ පහරක් ඇතිවී නුඹ වහන්සේට රාජ්‍යය ගෙන දෙන්නට පවා සමත් වන්නේ යයි කියා ගියේය. එතැන් පටන් වෑ පොරොව වැඩිමල් සහෝදරයාට ගිනි සපයයි. අනිකා විසින් බෙර ඇසට පහර දුන්විට ඇත්තු පලා යත්. බාල සහෝදරයා දීකිරි අනුභව කරයි.
එකල එක්තරා ඌරෙක් පැරණි ගමක් තිබුණු තැනක හැසිරෙන්නේ බලසම්පන්න එක් විශාල මැණිකක් දුටුවේය. ඒ ඌරා ඒ ලොකු මැණික කටින් ඩැහැගෙන එහි බලයෙන් අහසට පැන නැගී මුහුද මැද එක් දිවයිනකට ගොස් මෙහි දැන් මා විසින් වාසය කිරීමට වටින්නේ යයි එහි බැස පහසු තැනක එක් තිඹිරි ගසක් මුල වාසය කෙළේය. ඌරා දිනක් ඒ ගස මුල මැණික තමා ඉදිරියෙහි තබා නින්දට ගියේය. ඉක්බිති කසීරට වැසි එක්තරා මිනිසෙක් මොහු අපට නොගැළපෙන්නේ යයි මව්පියන් විසින් ගෙදරින් නෙරපන ලද්දේ වරායක් සහිත වූ ගමකට ගොස් නැවියන්ගේ කම්කරුවෙක් වී නැවකට නැගී යන්නේ මුහුද මැදදී නැව කැඩුණු නිසා ලෑල්ලක් පිහිට කරගෙන ඒ දිවයිනටම පැමිණ ලොකු කුඩා පළතුරු සොයන්නේ ඒ ඌරා නිදන අයුරු දැක සෙමින් ගොස් ලොකු මැණික ගෙන එහි අනුහසින් අහසට පැන නැගී දිඹුල්ගසේ හිඳගෙන මෙසේ සිතුවේය. මේ ඌරා මේ මැණිකේ ආනුභාවයෙන් අහසින් සැරිසරන්නෙකු වී මෙහි වාසය කරන්නේ යයි හඟිමි. මා විසින් වනාහි පළමුවෙන්ම මූ මරා මස් කා පසුව යන්නට වටී යයි සිතුවේය. හෙතෙම එක් දණ්ඩක් කරා ඌරාගේ හිසට හෙළුවේය. ඌරා නැගිට මැණික නොදැක වෙව්ලමින් ඒ මේ අත දුවයි. ගස උඩ සිටි පුරුෂයා සිනාසුනේය. ඌරා වටපිට බලන්නේ ඒ පුරුෂයා දැක ඒ ගසට හිසෙහි පහරදී එහිම මළේය.