5. අනභිරති ජාතකය (185)
යථොදකෙ ආවිලෙ අප්පනෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක් එක්තරා බමුණු කුමාරයෙකු අරබයා දේශනා කළ සේක. සැවැත් නුවර එක්තරා බමුණු කුමාරයෙක් ත්රිවේදයෙහි පරතෙරට ගොස් බොහෝ ක්ෂත්රිය කුමාරවරුන්ටද බමුණු කුමාරවරුන්ටද මන්ත්ර ඉගැන්වීය. ඔහු පසුකලෙක ගිහිජීවිතය අරඹා වස්ත්රාභරණ ද දැසිදස්, කෙත්වතු, ගව මහිස, අඹුදරු ආදීන්ගේ ප්රයෝජනය සිතමින් රාග, ද්වේශ, මෝහයන්ට වසඟ වී කැළඹුණු සිත් ඇත්තේ විය. මන්ත්ර පිළිවෙලින් කියන්නට නොහැකි විය. අතරින් පතර මන්ත්රවල අරුත් නොවැටහේ. ඔහු එක්දිනක් බොහෝ සුවඳ, මල් ආදිය රැගෙන දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේට පූජාකොට වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ ඔහු සමග පිළිසඳර පවත්වා මානවකය! කෙසේද? මන්ත්ර උගන්වන්නෙහිද? ඔබට මන්ත්ර ප්රගුණදැයි විමසූහ. ස්වාමීනි! පෙර සිට මන්ත්ර ප්රගුණයි. ගිහිගෙයි කටයුතුවලට අවධානය යොමුවූ කාලයේ සිට මාගේ සිත කැළඹුණු ස්වභාවයෙන් යුක්තය. ඒ නිසා මට මන්ත්ර ප්රගුණ නොවෙයි. මතක නැත. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහන්සේ මානවකය! දැන් පමණක් නොවෙයි. පෙරත් සිත නොකැළඹී සිටි කාලයෙහි මන්ත්ර ප්රගුණ විය. රාගාදියෙන් සිත කැළඹුණු කාලයෙහි නුඹේ මන්ත්ර සිහිපත් කරගැනීමට නොහැකි වූයේයයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජකරන කල්හි බෝසතාණන් වහන්සේ බමුණු මහසල් කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූවාහු තක්සලා නුවරින් මන්ත්ර ඉගෙනගෙන දිසාපාමොක් ගුරුතුමා වී බරණැස් නුවර බොහෝ ක්ෂත්රිය බ්රාහ්මණ කුමාරවරුන්ට මන්ත්ර ඉගැන්වූහ. ඔහු සමීපයෙහි එක් බමුණු මානවකයෙක් ත්රිවේදය ප්රගුණ කළේය. එක පදයකවත් සැකයක් නොමැතිව කීමෙහි දෙවන ගුරුවරයා වී මන්ත්ර ඉගැන්වීය. හෙතෙම පසුකලෙක ගෘහවාසයට පත්ව, ගෘහ සැප පිළිබඳ සිතිවිල්ලෙන් යුතුව කැළඹුණු සිත් ඇතිව මන්ත්ර කියන්නට නොහැකිවිය. ඉක්බිති ගුරුවරයා තමන් සමීපයට පැමිණි ඔහුගෙන් මානවකය! කෙසේද? මන්ත්ර ප්රගුණදැයි විචාරා ගෘහවාසය හා සම්බන්ධ වූ කාලයේ පටන් මගේ සිත කැළඹුණේය. මන්ත්ර කියන්නට නොහැක්කෙමියි කී කල්හි, දරුව! සිත කැලඹුණු කල ප්රගුණ කළ මන්ත්ර වුවද නොවැටහේ. නොකැළඹුණු කල්හි වනාහි නොවැටහීමක් නම් නැතැයි කියා
යථොදකෙ ආවිලෙ අප්පසන්නෙ, නපස්සති සිප්පික සම්බුකඤ්ච,
සක්ඛරං වාළුකං මච්ඡගුම්බං, එවං ආවිලෙහි චිත්තෙ,
නපස්සති අත්තදත්ථං පරත්ථං.
සක්ඛරං වාළුකං මච්ඡගුම්බං, එවං ආවිලෙහි චිත්තෙ,
නපස්සති අත්තදත්ථං පරත්ථං.
යථොදකෙ අච්ඡෙ විප්පසන්නෙ, සො පස්සති සිප්පික සම්බුකඤ්ච,
සක්ඛරං වාළුකං මච්ඡගුම්බං, එවං අනාවිලෙ හි චිත්තෙ,
සො පස්සති අත්ථදත්ථං පරත්ථං.
සක්ඛරං වාළුකං මච්ඡගුම්බං, එවං අනාවිලෙ හි චිත්තෙ,
සො පස්සති අත්ථදත්ථං පරත්ථං.
යන මේ ගාථා කීවේය.
යම්සේ මඩ මිශ්ර වූ නොපෑහුනු ජලයෙහි රන්වන් බෙල්ලන් ද, වට බෙල්ලන් ද, ගල්කැට, වැලි, මත්ස්යයන් නොදකියි. එසේම සිත කැළඹුණු කල්හි තමන්ගේ යහපත හෝ අනුන්ගේ යහපත නොදකියි.
යම්සේ නො කැළඹුණු පෑදුනු ජලයෙහි රන්වන් බෙල්ලන්ද, වට බෙල්ලන් ද, ගල්කැට, වැලි, මාලුන් ද ඔහු දකියි. එසේම සිත රාගාදී කෙලෙස්වලින් නොකැළඹුණු කල ඔහු තම යහපතත් අනුන්ගේ යහපතත් දකියි.
එහි, ආවිලෙ යනු කැළඹුණු මඩ ඇති, අප්පසන්නෙ යනු ඒ කැළඹීම නිසාම අප්රසන්න වූ (නොපෑදුනු) සිප්පික සම්බුකං යනු රන්වන් බෙල්ලන්ද වට බෙල්ලන්ද මුතු බෙල්ලන්ද මච්ඡගුම්බං යනු මාලු සමූහයා, එවං ආවිලෙ යනු මෙසේම රාගාදී කෙළෙස්වලින් කැළඹුණු සිතෙහි, අත්ථදත්ථං පරත්ථං යනු තමාගේ යහපතත් අනුන්ගේ යහපතත් නොදක්නේය යන අර්ථයි. සො පස්සති යනු එසේම සිත නොකැළඹුණු කල ඒ පුරුෂයා තම යහපතත් අන් යහපතත් දකියි.
බුදුරජාණන් වහන්සේ මෙම ධර්මදේශනාව ගෙනහැර දක්වා සිව්සස් වදාරා, ජාතක කථාව නිමවා වදාළ සේක. චතුරාර්ය සත්යය දේශනාවගේ කෙළවර බමුණු කුමරා සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා මානවකයා මේ මානවකයාම විය. ගුරුවරයා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
6. දධිවාහන ජාතකය (186)
වණ්ණගන්ධ රසූපෙතො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් විපක්ෂය ඇසුරු කළ භික්ෂු කෙනෙකුන් මුල් කරගෙන දේශනා කළ සේක. මෙහි වර්තමාන කථාව යට (මුලින්) සඳහන් කළ කථාව හා සමානය. ශාස්තෲන් වහන්සේ වනාහි මහණෙනි! පවිටන් සමග වාසය නම් ලාමකය. අනර්ථකාරීය. එහි මිනිසුන්ට පවිටන්ගේ ආශ්රය අනතුරුදායක බව කියනුම කවරේද? පෙර තිත්ත, අමිහිරි කොහොඹ ගස සමග වාසයට පැමිණ, මිහිරි රස ඇති දිව්ය රසය හා සමාන වූ සිත් නැති මිහිරි අඹ ගස පවා අමිහිරි තිත්ත එකක් බවට පත්වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.