4. ගිරිදත්ත ජාතකය (184)
දූසිනො ගිරිදෙත්තෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් විපක්‍ෂය ඇසුරු කරන එක් භික්‍ෂු කෙනෙකුන් මුල්කරගෙන දේශනා කළ සේක. මෙහි වර්තමාන කථාව යට (මුලින් ඇති) මහිලාමුඛ ජාතකයෙහි කියන ලද්දේමය. ශාස්තෲන් වහන්සේ මහණෙනි! මේ භික්‍ෂුව දැන් පමණක් විරුද්ධ පක්‍ෂය ඇසුරු නොකරයි. පෙරත් මේ තෙමේ විරුද්ධ පක්‍ෂය ඇසුරු කළ කෙනෙකියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර සාම නම් රජ රජ කෙළේය. ඒ කාලයේ බෝසතාණන් වහන්සේ ඇමති කුලයක ඉපදී වැඩිවියට පත්වූවාහු ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූහ. ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූහ. මංගල අශ්වයා පණ්ඩව නම් වේ. ගිරිදත්ත යනු ඔහුගේ අශ්වයා පුහුණු කරන්නාය. ඔහු කොර ගසන්නෙකි. අශ්වයා කට කලියා ලනුව ගෙන ඉදිරියෙන් යන ඒ කොරා දැක මොහු මාව හික්මවන්නේය. යන හැඟීමෙන් ඔහු අනුගමනය කරමින් කොරෙක් විය. අශ්වයාගේ කොර බව රජුට දැන්වූහ. රජතුමා වෙදුන් යැව්වේය. ඔවුහු ගොස් අශ්වයාගේ සිරුරෙහි රෝගයක් නොදැක මොහුගේ රෝගයක් නොදකිමුයි රජුට කීහ. රජතුමා යහලුව! යව මෙහි හේතුව දැනගන්නයි කියා බෝසතුන් යැවීය. හෙතෙම ගොස් අශ්වයා පුහුණුකරන කොර මිනිසා සමග එක්වීම නිසා කොරවූ බව දැන රජුට ඒ බව දන්වා එක්වීම් දෝෂයෙන් මෙසේ වන්නේ යයි දක්වමින්,
දූසිතො ගිරිදත්තෙන හයො සාමස්ස පණ්ඩවො,
පොරාණං පකතිං හිත්‍වා තස්සෙව අනුවිධීයති.
යන පළමු ගාථාව කීහ.
සාම රජුගේ පණ්ඩව නම් මංගල අශ්වයා කොර ගසන ගිරිදත්ත විසින් දූෂණය කරන ලදි. පැරණි ස්වභාවය හැර ඔහු අනුකරණය කරයි.
එහි, හයො සාමස්ස යනු සාමරාජ රජුගේ මංගල අශ්වයා, පොරාණ පකතිං හිත්‍වා යනු තමන්ගේ පැරණි ස්වභාවය වූ ප්‍රියමනාප භාවය හැර, අනුවිධීයති යනු අනුව හික්මෙයි, හෙවත් අනුකරණය කරයි.
ඉක්බිති රජතුමා බෝසතුන් යහලුව! දැන් කුමක් කළ යුතුදැයි ඔහුගෙන් විචාළේය. එවිට බෝසතාණන් වහන්සේ කොර නොවූ යහපත් අසුන් බඳින්නෙකු යෙදෙව් විට අශ්වයා පෙර තත්ත්වයට පත්වන්නේ යයි කියා
සච්චෙ තනුජො පොසො සිඛරාකාර කප්පිතො,
ආනනෙ තං ගහෙත්‍වාන මණ්ඩලෙ පරිවත්තයේ,
ඛිප්පමෙව පහත්‍වාන තස්සෙව අනුවිධීයති.
යන දෙවන ගාථාව කීවේය.
“ඉදින් ඕ හට අනුරූපව, උපන් සොඳුරු බැවින් සැදුම් ලත් පුරුෂයෙක් මුව ලනුව ගෙන අසු මණ්ඩලයෙහි ඇවිද්ද වී නම් කොර බව හැර වහාම අශ්වයාගේ උතුම් ස්වභාවය අනුව හික්මේ.”
එහි, තනුජො යනු ඔහුගේ බාල සහෝදරයා යෝග්‍ය පරිදි උපන් නිසාද, අනුජ නමි. ඒ බාල සොහොයුරාගේ වැඩිමලා තනුජයි. මෙය කියන ලද්දේ වෙයි. ඉදින් මහරජ! ඒ ප්‍රියමනාප ආචාර සම්පන්න අශ්වයාට සුදුසු වූ (ගැළපෙන) යහපත් පෙනුමෙන් යුතු පොසො මිනිසෙක් සිඛරාකාර කප්පිතො යනු යහපත් අයුරින් කපන ලද කෙස් රැවුල් ඇති. තං අශ්වයා, ආනනෙ ගහෙත්‍වා නාස් ලනුව ගෙන අශ්ව මණ්ඩලයෙහි හික්මවන්නේය. වහාම මේ තෙමේ ඒ කොර ගතිය හැර මේ සුදුසු ආචාර සම්පන්න අසුන් බලන්නා මා හික්මවයි යන හැඟීමෙන් වහාම ඔහු අනුව යයි. අනුව හික්මෙයි. ප්‍රකෘති භාවයෙන්ම සිටියි. රජතුමා එසේ කෙළේය. අශ්වයා ප්‍රකෘති තත්ත්වයේ පිහිටියේය. රජතුමා තිරිසන්ගත සතුන්ගේ පවා අදහස් දන්නේ යයි සතුටු සිත් ඇත්තේ බෝසතාණන් වහන්සේට මහත් කීර්තියක් ගෙන දුන්නේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල ගිරිදත්ත (කොරා) දෙව්දත්ය. අශ්වයා විරුද්ධ පක්‍ෂය ඇසුරු කළ භික්‍ෂුවයි. රජ ආනන්දය. පණ්ඩිත ඇමතියා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
5. අනභිරති ජාතකය (185)
යථොදකෙ ආවිලෙ අප්පනෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක් එක්තරා බමුණු කුමාරයෙකු අරබයා දේශනා කළ සේක. සැවැත් නුවර එක්තරා බමුණු කුමාරයෙක් ත්‍රිවේදයෙහි පරතෙරට ගොස් බොහෝ ක්‍ෂත්‍රිය කුමාරවරුන්ටද බමුණු කුමාරවරුන්ටද මන්ත්‍ර ඉගැන්වීය. ඔහු පසුකලෙක ගිහිජීවිතය අරඹා වස්ත්‍රාභරණ ද දැසිදස්, කෙත්වතු, ගව මහිස, අඹුදරු ආදීන්ගේ ප්‍රයෝජනය සිතමින් රාග, ද්වේශ, මෝහයන්ට වසඟ වී කැළඹුණු සිත් ඇත්තේ විය. මන්ත්‍ර පිළිවෙලින් කියන්නට නොහැකි විය. අතරින් පතර මන්ත්‍රවල අරුත් නොවැටහේ. ඔහු එක්දිනක් බොහෝ සුවඳ, මල් ආදිය රැගෙන දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේට පූජාකොට වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. බුදුරජාණන් වහන්සේ ඔහු සමග පිළිසඳර පවත්වා මානවකය! කෙසේද? මන්ත්‍ර උගන්වන්නෙහිද? ඔබට මන්ත්‍ර ප්‍රගුණදැයි විමසූහ. ස්වාමීනි! පෙර සිට මන්ත්‍ර ප්‍රගුණයි. ගිහිගෙයි කටයුතුවලට අවධානය යොමුවූ කාලයේ සිට මාගේ සිත කැළඹුණු ස්වභාවයෙන් යුක්තය. ඒ නිසා මට මන්ත්‍ර ප්‍රගුණ නොවෙයි. මතක නැත. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහන්සේ මානවකය! දැන් පමණක් නොවෙයි. පෙරත් සිත නොකැළඹී සිටි කාලයෙහි මන්ත්‍ර ප්‍රගුණ විය. රාගාදියෙන් සිත කැළඹුණු කාලයෙහි නුඹේ මන්ත්‍ර සිහිපත් කරගැනීමට නොහැකි වූයේයයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.