3. වාලෝදක ජාතකය (183)
වාළොදකං අප්පරසං නිහීනං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරනසේක් පන්සියයක් ඉඳුල් කන්නන් මුල්කරගෙන වදාළ සේක. සැවැත්නුවර වනාහි පන්සියයක් උපාසකවරු සිය ගේදොර කටයුතු අඹුදරුවන්ට පවරා දී බුදුබණ අසමින් එක්වම හැසිරෙත්. ඔවුන් අතුරෙන් සමහරෙක් සෝවාන් වූවෝය. සමහරෙක් සකෘදාගාමි වූවෝය. සමහරෙක් අනාගාමී වූවෝය. පුහුදුන් එකෙක්ද නැත. බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවිට උපාසකවරුන් ඇතුළත්කොට ආරාධනා කෙරෙති. ඔවුන්ට වනාහි දැහැටිදඬු, මුහුණ සෝදන දිය, සුවඳ මල් ආදිය දෙන පන්සියයක් උපස්ථායකයෝ (ඔවුන්ගේ) ඉඳුල් බත් අනුභව කරන්නන් බවට පත්ව වාසය කරති. ඔවුහු උදේ බත් අනුභවකොට නිදා නැගිට අචිරවතී ගංතෙරට ගොස් ගං ඉවුරෙහි කෑගසමින් මල්ලවපොර අල්ලත්. ඒ පන්සියයක් උපාසකවරු නිහඬව ඝෝෂා නැතිව භාවනාවෙහි (විවේකයෙහි) යෙදෙත්. බුදුරජාණන් වහන්සේ ඒ ඉඳුල් බත් කන්නන්ගේ උස්හඬ අසා ආනන්දය! මේ කිනම් ශබ්දයක්දැයි තෙරුන්ගෙන් විමසා ස්වාමීනි! ඉඳුල් බත් කන්නන්ගේ ශබ්දයයි කී කල්හි, ආනන්දය! මේ ඉඳුල් කන්නෝ දැන් පමණක් ඉඳුල් කා කෑගසන්නෝ නොවෙති. පෙරත් කෑගැසූහ. මේ උපාසකවරුද නිහඬව තැන්පත්ව සිටියෝ පෙරත් එසේ සිටියෝ යයි වදාරා තෙරුන් වහන්සේ විසින් ඉල්ලන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඇමති කුලයේ ඉපදී වැඩිවියට පත්වූවාහු රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූහ. ඉක්බිති එක් කලෙක ඒ රජතුමා පසල් දනව්වක කැළඹීමක් අසා පන්සීයක් සින්ධව අසුන් සූදානම් කරගෙන සිව්රඟ සෙනඟ පිරිවරා ගොස් පසල් දනව්වේ කැළඹීම සංසිඳුවා බරණැසටම ආපසු ඇවිත් අසුන් ක්ලාන්ත වී ඇති බැවින් සිසිල් බීමක් වශයෙන් ඔවුන්ට මිදියුෂ දෙවයි අණ කෙළේය. අසුන් සුවඳ මිදි යුෂ පානය කොට අස්හලට ගොස් තම තමන්ගේ තැන්වල සිටියාහුය. ඔවුන්ට දී ඉතිරි වූ රසවත් මිදි කසට ඉතිරි විය. මිනිස්සු මේවාට කුමක් කළ යුතුදැයි රජතුමාගෙන් විචාළහ. වතුරෙන් (මිදි රොඩු) පොඩිකර පරන රෙදිවලින් පෙරා අශ්වයන්ට කෑම ගෙනයන කොටළුවන්ට දෙව්යයි දෙවීය. රජතුමා මහ ජනේලය විවෘතකොට රජමිදුල දෙස බලමින් ළඟ සිටි බෝසතුන් අමතා යහලුව! කොටළුවෝ කසට වතුර බී මත්වී කෑගසමින් උඩ පාවෙමින් හැසිරෙත්. සෛන්ධව කුලයෙහි උපන් අශ්වයෝ වනාහි සුවඳ පානය බී නිහඬව සිටින්නෝ උඩ නොපනිති. කුමක් නිසාදැයි විමසමින්,
වාළොදකං අප්පරසං නිහීනං, පීත්‍වා චදො ජායති ගද්‍රභානං,
ඉමඤ්ච පීත්‍වාන රසං පණීතං, මදො න සඤ්ජායති සින්‍ධවානං.
යන පළමු ගාථාව කීවේය.
හණ නූල් පෙරහණින් පෙරණ ලද අල්ප වූ නීරස වූ දිය බී කොටළුවන්ට මදය ඇතිවෙයි. ප්‍රණීත රසයෙන් යුත් මිදි යුෂ බිව් අශ්වයන්ට මද ඇති නොවෙයි.
එහි, වාළොදකං යනු හණ (නියඳ) නූලින් කළ පෙරහණින් පෙරූ (මිදි) ජලය, වාඵෑදකං යනුද පදයකි. නිහීනං නීරස බැවින් නිහීනයි. නසඤ්ජායති යනු සෛන්‍ධව අසුන්ට මත නූපදී. කාරණය කුමක්දැයි විචාළේය.
ඉක්බිති රජුට කරුණු කියන බෝසතාණන් වහන්සේ,
අප්පං පිවිත්‍වාන නිහීන ජච්චො, සො මජ්ජති තෙන ජනින්‍ද පුට්ඨො,
ධොරය්හසීලො ච කුලම්හි ජාතො, නමජ්ජති අග්ගරසං පිවිත්‍වා.
යන දෙවන ගාථාව කී සේක.
රජතුමනි! පහත් ජාති ඇති ඒ පහත් වූ බීමෙහි පහස ලැබූ ඔහු (කොටළුවා) රසය අඩු ජලය බී මත් වෙයි. වියගස උසුලන ස්වභාව ඇති උසස් කුලයෙහි උපන් නිසා සෛන්‍ධව අශ්වයා අග්‍ර වූ මිදිරසය බීවත් මත් නොවේ.
එහි, තෙන ජනින්‍ද! ඵුට්ඨො යනු ජනපතිතුමනි! උතුම් රජතුමනි, හෙතෙම පහත් ජන්ම ඇත්තේ ඒ පහත් ජන්ම භාවයෙන් ස්පර්ශ කරන ලද්දේ. මජ්ජති ප්‍රමාද වෙයි. ධොරය්හසීලි යනු ධුරය උසුලන සුලු, වියගස උසුලා හැසිරෙන ගතියෙන් යුක්ත වූ උපතින් සෛන්ධව වූ අශ්වයෝ අග්ගරසං යනු සියලුම මුලින් ගත් මිදි යුෂ. පිවිත්‍වා න මජ්ජති යනු බී මත් නොවේ.
රජතුමා බෝසතාණන් වහන්සේගේ වචන අසා කොටළුවන් රජමිදුලෙන් පන්නා දමා, බෝසතාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටියේ දානාදී පිංකම්කොට කම් වූ පරිද්දෙන් මියපරළොව ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කොටළුවෝ පන්සියය මේ ඉඳුල් කෑ පිරිස වූහ. පන්සියයක් උතුම් අශ්වයෝ මේ උපාසක පිරිසයි. රජතුමා ආනන්දය, නුවණ ඇති ඇමතියා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.
4. ගිරිදත්ත ජාතකය (184)
දූසිනො ගිරිදෙත්තෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන සේක් විපක්‍ෂය ඇසුරු කරන එක් භික්‍ෂු කෙනෙකුන් මුල්කරගෙන දේශනා කළ සේක. මෙහි වර්තමාන කථාව යට (මුලින් ඇති) මහිලාමුඛ ජාතකයෙහි කියන ලද්දේමය. ශාස්තෲන් වහන්සේ මහණෙනි! මේ භික්‍ෂුව දැන් පමණක් විරුද්ධ පක්‍ෂය ඇසුරු නොකරයි. පෙරත් මේ තෙමේ විරුද්ධ පක්‍ෂය ඇසුරු කළ කෙනෙකියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර සාම නම් රජ රජ කෙළේය. ඒ කාලයේ බෝසතාණන් වහන්සේ ඇමති කුලයක ඉපදී වැඩිවියට පත්වූවාහු ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූහ. ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූහ. මංගල අශ්වයා පණ්ඩව නම් වේ. ගිරිදත්ත යනු ඔහුගේ අශ්වයා පුහුණු කරන්නාය. ඔහු කොර ගසන්නෙකි. අශ්වයා කට කලියා ලනුව ගෙන ඉදිරියෙන් යන ඒ කොරා දැක මොහු මාව හික්මවන්නේය. යන හැඟීමෙන් ඔහු අනුගමනය කරමින් කොරෙක් විය. අශ්වයාගේ කොර බව රජුට දැන්වූහ. රජතුමා වෙදුන් යැව්වේය. ඔවුහු ගොස් අශ්වයාගේ සිරුරෙහි රෝගයක් නොදැක මොහුගේ රෝගයක් නොදකිමුයි රජුට කීහ. රජතුමා යහලුව! යව මෙහි හේතුව දැනගන්නයි කියා බෝසතුන් යැවීය. හෙතෙම ගොස් අශ්වයා පුහුණුකරන කොර මිනිසා සමග එක්වීම නිසා කොරවූ බව දැන රජුට ඒ බව දන්වා එක්වීම් දෝෂයෙන් මෙසේ වන්නේ යයි දක්වමින්,