2. සංගාමාවචර ජාතකය (182)
සංගාමාවචරො සූරො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් නන්ද තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ කපිලවත්ථු පුරයට ප්‍රථමවරට වැඩිය ගමනේදී කණිටු සොයුරු නන්ද කුමරු පැවිදි කරවා කපිල වස්තු පුරයෙන් නික්මී පිළිවෙලින් සැවැත්නුවරට වැඩම කර වසන සමයෙහි ආයුෂ්මත් නන්ද තෙරුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගෙන තථාගතයන් වහන්සේ සමග රජ මාලිගයෙන් නික්මෙන අවස්ථාවෙහි නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේ සමග යන්නේ යයි අසා අඩක් පීරූ කෙස් ඇතිව ජනේලය අතරින් බලා “ස්වාමීනි! වහාම එනු මැනවයි” යන ජනපද කල්‍යාණිය කියන ලද වචන සිහිකරමින්, කලකිරුණාහු ඇල්මක් නැතිව සුදුමැලි පඬුවන් පැහැ ඇතිව නහර ඉල්පී ගිය සිරුර ඇත්තෝ වූහ. බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් වහන්සේගේ ඒ තත්ත්වය දැන මම නන්ද තෙරුන් වහන්සේ රහත් ඵලයෙහි පිහිටුවන්නේ නම් ඉතා යෙහෙකැයි සිතා උන්වහන්සේ වසන පන්සලට වැඩමකොට පනවන ලද අසුනෙහි වැඩහුන් සේක් නන්දයෙනි! කෙසේද? ඔබ මේ ශාසනයෙහි සිත් අලවන්නෙහිදැයි විචාළ සේක. එවිට නන්ද තෙරුන් වහන්සේ ස්වාමීනි! ජනපදකල්‍යාණිය පිළිබඳ සිත් ඇති බැවින් සසුනෙහි සිත් නොඅලවමියි කීහ. නන්ද! හිමාල වනයෙහි චාරිකා කර ඇද්ද? ස්වාමීනි! එහි ගොස් නැත. එසේනම් එහි යමුයි වදාළහ. එවිට ස්වාමීනි! මට සෘද්ධිය නැත. මම කෙසේ යන්නෙම්ද? එවිට බුදුරජාණන් වහ්නසේ නන්ද! ඔබව මාගේ සෘද්ධි බලයෙන් ගෙන යන්නෙමියි තෙරුන් අතින් අල්ලාගෙන අහසට පැන නැගී ගමන් කරමින් අතර මගදී එක් දැවුණු හේනක් පෙන්වා එහි දැවුණු කණුවක හුන් දැවී ගිය කන් නාසා වලිගය ඇති, දැවී ගිය ලොම් ඇති, කැඩුණු හම ඇති, හම පමණක් ඇති ලෙයින් වැසුණු එක් වැඳිරියක් දැක්වූ සේක. නන්ද! මේ වැඳිරිය දුටුවෙහිද? එසේය ස්වාමීනි. එසේනම් මෙය හොඳින් බලන්නැයි වදාළහ.
ඉක්බිති නන්ද තෙරුන් රැගෙන සැටයොදුන් රත් සිරියල් තලාව, අනෝතත්ත විල ආදි සත්මහා විල්, පස්මහා ගංගා, රන් පර්වත, රිදී පර්වත, මැණික් පර්වතවලින් සැරසුණු නොයෙක් සියගණන් වස්තූන්ගෙන් රමණීය වූ හිමාල පර්වතයද පෙන්වා, නන්ද, තව්තිසාව දැක තිබේදැයි විමසා දැක නැතැයි ස්වාමීනියි කී කල්හි එන්න නන්ද! ඔබට තව්තිසා භවනය පෙන්වන්නෙමියි එහි රැගෙන ගොස් පඬුපුල් සලස්නෙහි වැඩසිටි සේක. සක්දෙවිඳු දෙදෙව්ලොව දේව සමූහයා සමග අවුත් වැඳ එකත් පසෙක හුන්නේය. කෝටි දෙකහමාරක් පමණ ඔහුගේ භාර්යාවරුද, පරෙවි පා මෙන් රතු පා ඇති දෙවඟනන් පන්සියයක්ද අවුත් වැඳ එකත්පසෙක හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ ආයුෂ්මත් නන්ද තෙරුන් ලවා ඒ පන්සියයක් අප්සරාවන් දෙස කෙළෙස් අදහසින් නැවත නැවතත් බැලෙව්වාහුය. නන්ද! මේ පරෙවි පා මෙන් රතු අප්සරාවන් දකිහිද? එසේය ස්වාමිනි. මේ අප්සරාවෝ ශෝභමාන වෙත්ද? නැතිනම් ජනපද කල්‍යාණිය ශෝභාමත්ද? ස්වාමීනි! ජනපද කල්‍යාණියට ගලපන විට ඒ වැඳිරිය ශෝභාවත් නොවේ. මේ අප්සරාවන්ට ගලපනවිට ජනපද කල්‍යාණිය ශෝභාවත් නොවේයයි කීහ. දැන් කුමක් කරන්නෙහිද? කිනම් කර්මයක් කොට ස්වාමීනි! මේ දෙවඟනන් ලබත්ද? පැවිද්දෙකුට අයත් ධර්ම අනුගමනය කොට ලබතියි වදාළහ. ස්වාමීනි! ඉදින් මට මොවුන් ලබාදීමට භාග්‍යවතුන් වහන්සේ අප වන්නාහු නම් මම මහණදම් රකින්නෙමියි කීහ. නන්ද, මහණදම් සම්පූර්ණ කරන්න. මම ඔබට ඇප වන්නෙමියි වදාළහ. මෙසේ තෙරුන් වහන්සේ දිව්‍ය සමූහයා මැද බුදුරජුන්ගෙන් පොරොන්දුවක් (ඇපවීම) ලබාගෙන ස්වාමීනි! වැඩිපුර පමා නොකරන සේක්වා. එනු මැනවි. වඩිමු. මම මහණදම් පුරන්නෙමියි කීහ. බුදුරජාණන් වහන්සේ නන්ද රැගෙන දෙව්රම් වෙහෙරටම ආපසු වැඩි සේක. නන්ද තෙරුන් වහන්සේද හොඳින් මහණදම් පුරන්නට පටන් ගත් සේක.
බුදුරජාණන් වහන්සේ දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ අමතා, සාරිපුත්‍රයෙනි! මාගේ කණිටු සොයුරා වන නන්ද තව්තිසා දෙව්ලොවදී දිව්‍ය සමූහයා මධ්‍යයේදී දිව්‍ය අප්සරාවන් සඳහා මා ඇපයක් ලෙස ගන්නේ යයි සැරියුත් තෙරුන් වහන්සේට දැන්වූ සේක. මේ අන්දමින් මහ මුගලන් තෙරුන් වහන්සේට, මහා කාශ්‍යප තෙරුන් වහන්සේට අනුරුද්ධ තෙරුන් වහන්සේට, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේට, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට, බහුල වශයෙන් සෙසු භික්ෂූන් හටද මේ කරුණ දැන්වූ සේක. දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ නන්ද තෙරුන් වෙත එළඹ, ඇත්තද ඇවැත්නි? නන්ද තව්තිසා දෙව්ලොවදී දිව්‍ය සමූහයා මැදදී දිව්‍ය අප්සරාවන් ලැබීමට මහණදම් පුරන්නෙමියි, බුදුරජාණන් වහන්සේව ඇපයක් ලෙස ගත්තේයයි වදාරා මෙසේ ඇතිකල්හි නුඹගේ බඹසර විසීම ස්ත්‍රීන් මුල්කොට පවතී. කෙලෙස් ඇසුරුකොට පවතී. කුලියට වැඩකරන කම්කරුවෙකු සමග ස්ත්‍රීන් සඳහා මහණදම් පුරන ඔබගේ ඇති වෙනස කුමක්දැයි නන්ද තෙරුන් ලජ්ජා කරවූ සේක. තේජස නැති කළ සේක. මේ ක්‍රමයට සියලු අසූමහා ශ්‍රාවකයෝද සෙසු භික්ෂූහු ද ඒ තෙරුන්ට ලජ්ජා ඇති කරවූහ.