සකුණග්ඝි ජාතකය
සෙණො බලසා පනමානො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් තම අදහස් අනුව සකුණෝවාද සූත්‍රය මුල්කරගෙන දේශනා කළ සේක. එක්දිනක් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා මහණෙනි! සිය පියා ගිය මගෙහි යමින් ගොදුරු සොයව් යන මේ සංයුත්ත නිකායේ මහා වග්ගයෙහි සූත්‍රාන්තය දේශනා කරමින් තෙපි සිටිව්! පෙර තිරිසන්ගත සතුන් පවා සිය පියා ගිය මග හැර අස්ථානයේ හැසිරෙන්නාහු සතුරන්ගේ අතට පත්ව, තම නුවණින් උපාය කුසලතාවයෙන් සතුරන්ගේ අතින් මිදුනාහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කැටකුරුළු යෝනියේ ඉපදී සී සානවිට නඟුලට කැපී මතු වූ මැටි කැට ඇති තැන වාසය කෙළේය. හෙතෙම එක්දිනක් තමන්ට අයිති ප්‍රදේශයේ ගොදුරු ගැනීම හැර අනුන්ගේ සීමාවෙහි ගොදුරු ගන්නෙමැයි වනාන්තර කෙළවරට ගියේය. ඉක්බිති එහි ගොදුරු ගන්නා වූ ඌ දැක උකුස්සියක් වහා පැමිණ අල්ලා ගත්තාය. උකුස්සිය විසින් ගෙනයනු ලබද්දී ඒ කැට කුරුල්ලා යම්බඳු වූ අපි අපට අයිති නැති ස්ථානයෙහි, අන් අයගේ කොටසෙහි හැසිරුණෙමුද ඒ අපිම මහා අවාසනාවන්තයෝ වෙමු. මඳපින් ඇත්තෝ වෙමු. ඉදින් අද අපි අපට අයත් කොටසෙහි පියා ගිය මග අනුව හැසුරුනෙමු නම් මේ උකුස්සිය මෙවැනි මා සමග යුද කිරීමට (මා අල්ලා ගැනීමට) සුදුසු නොවන්නට ඉඩතිබුණු යනුවෙන් හඬන්නට විය. එවිට උකුස්සිය ‘හොඳයි, කැට කුරුල්ලාණෙනි, නුඹේ පියා නියම කළ සීමාව කුමක්ද? සීසාන විට නඟුලට කැපෙන මැටිකැට ඇති තැන අපේ සීමාවයි. ඉක්බිති ස්වකීය බලයෙහි උඩඟු නොවූ උකුස්සිය කැට කුරුල්ලාණෙනි, ඔබ යන්න. එහිදීත් ඔබට මගෙන් මිදීමක් නැතැයි කියා ඌ මුදා හැරියාය. කැට කුරුල්ලා එහි ගොස් ලොකු මැටි පිඩැල්ලක් මත නැගී උකුස්සියනි, දැන් එවයි උකුස්සිය කැඳවමින් සිටියේය. ඌ සිය බලයෙහි දැඩි වූයේ (දැඩි විශ්වාස ඇත්තේ) පියාපත් දෙකෙහි පිහිටා කැට කුරුල්ලා වෙත වේගයෙන් පැමිණියේය. කැට කුරුල්ලා මේ උකුස්සිය බොහෝ සෙයින් මා වෙත පැමිණියේ යයි දැනගත් විට පෙරළී ඒ මැටි පිඬැල්ල අතරට රිංගා ගත්තේය. උකුස්සිය වේගය පාලනය කරගන්නට නොහැකිව ඒ මැටි පිඬැල්ලෙහිම පපුව ඇන ගත්තාය. මෙසේ උකුස්සිය බිඳුණු හදවතින් පිටතට නික්මුණු ඇස් ඇතිව මරණයට පත්වූවාය.
බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා, මහණෙනි! මෙසේ තිරිසන්ගත සත්තු පවා නුසුදුසු තැන්වල හැසිරීමෙන් සතුරන් අතට පත්වෙති. ගොදුරු ගැනීමේදී තමන්ගේ පියා ගියමග පියා ගිය සීමාවේ හැසිරෙන්නේ නම් සතුරන් අතට පත් නොවෙත්. ඒ නිසා තෙපිත් නුසුදුසු තැන් අනුන්ගේ සීමාවෙහි, නොහැසිරෙව්. මහණෙනි! අනුන්ගේ සීමාවෙහි හැසිරෙන තැනැත්තාට මරණයට ඉඩකඩක් ලබයි. මාරයා ආහාරයක් ලබයි. මහණෙනි, භික්‍ෂුවට නුසුදුසු තැන අනුන්ගේ සීමාව කුමක්ද? මේ පංචකාම ගුණයයි. ඒ පහ මොනවාද? ඇසට අරමුණු වන රූපය, කනට අරමුණු වන ශබ්දය, නාසයට අරමුණු වන ගඳසුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන ස්පර්ශය. මහණෙනි, මේ භික්‍ෂුවට නුසුදුසු තැනයි. අනුන්ගේ සීමාවයි යනුවෙන් වදාරා බුදුවී
සෙණො බලසා පතමානො ලාප ගොචරඨායිනං,
සහසා අජ්ඣප්පත්තො මරණං තෙනුපාගමි.
යන පළමු ගාථාව වදාළසේක.
වේගයෙන් දිවෙන උකුස්සා සුදුසු තැන සිටියා වූ කිරිල්ල වෙතට වහා පැමිණියේය. ඒ සීඝ්‍ර ගමනින් මරණයට පැමිණියේය.
එහි, බලසා පතමානො යනු කැට කුරුල්ලා ගන්නෙමියි බලයෙන්, ශක්තියෙන් වැඩෙන්නේ. අගොචරඨායිනං යනු තමන්ගේ සීමාවෙන් නික්මී ගොදුරු පිණිස වනය කෙළවර සිටියේ, අජ්ජප්පත්තො යනු පැමිණියේ. මරණ තෙනුපාගමි යනු එයින් මරණයට පැමිණියේය.