2. සන්‍ථව වර්‍ගය
1. ඉන්‍දසමානගොත්ත ජාතකය (161)
න සන්‍ථවං කාපුරිසෙන කයිරා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් අකීකරු භික්‍ෂුවක් මුල් කරගෙන වදාළ සේක. එම කථාපුවත නවවන නිපාතයෙහි ගිජ්ඣ ජාතකයෙහි මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුවට මහණ, නුඹ පෙරත් අකීකරුකමින් නුවන ඇත්තන්ගේ වචනය පිළි නොගෙන මත් ඇතාගේ පාවලින් සුනුවිසුනු කරන ලද්දේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූයේ ගිහිගෙයි වාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදි වී පන්සියයක් තාපසවරුන්ට නායක වී හිමාල වන පෙදෙසෙහි වාසය කළ සේක. එකල ඒ තාපසවරුන් අතරෙහි ඉන්‍දස ගොත්ත නම් අකීකරු අවවාද නොපිළිගන්නා එක් තාපසයෙක් සිටියේය. හෙතෙම එක් ඇත් පොව්වෙකු පෝෂණය කළේය. බෝසතාණන් වහන්සේ ඒ බව අසා ඔහු කැඳවා ඇත්තද, නුඹ ඇත් පොව්වෙකු පෝෂණය කරන්නෙහි දැයි විචාළේය. ගුරුතුමාණෙනි! එය ඇත්තයි. මව මළ එක් ඇත් පොව්වෙකු පෝෂණය කරමියි පිළිතුරු දුන්නේය. ඇත්තු නම් වැඩුනාම පෝෂණය කරන්නුන්ද මරණයට පත් කරති. ඒ නිසා ඒ ඇත්පැටවා පෝෂණය නොකරන්නැයි කීහ. ගුරුතුමනි! ඒ ඇතාගෙන් තොරව මට ජීවත්විය නොහැකිය. එසේ නම් ඉදිරියේදී ඔබට වෙන්නේ කුමක්දැයි පෙනේවි. ඒ ඇතා ඔහු විසින් පෝෂණය කරනු ලබන්නේ පසුකලෙක ලොකු ශරීරයක් ඇතිවිය.
ඉක්බිති එක් කලෙක ඒ තාපසවරු වන මුල් ලොකු කුඩා ගෙඩි ජාති (පලාඵල) පිණිස දුර ගොස් එහිම දින කීපයක් ගතකළහ. ඇතා ද අග්‍ර දක්‍ෂිණ වාතයෙන් වෑහෙන මද ඇතිව තවුසාගේ අසපුව විනාශකොට පැන් කලය බිඳ, ගල්පුවරුව උදුරා දමා වැතිර හිදිනා පෝරුව කඩාදමා ඒ තාපසයා මරා දමා යන්නෙමැයි වන ලැහැබට පිවිස එන්නා වූ මාර්ගය බලමින් සිටියේය. ඉන්‍දස ගොත්ත තවුසා ඇතාට ආහාර රැගෙන හැමට පළමු එන්නේ ඇතා දැක පෙර හිතවත්කම් අනුව ඇතා ළඟට ගියේය. ඉක්බිති ඒ ඇතා වදුලෙන් නික්ම අවුත් තවුසා සොඬින් අල්ලා බිම හෙළා හිස පයින් පාගා මරණයට පත්කොට මැඩ කුඤ්චනාද කොට කැලයට පිවිසියේය. සෙසු තවුසෝ ඒ සිද්ධිය දැක බෝසත් තවුසාට සැළ කළහ. බෝසත් තවුසා අසත්පුරුෂයන් සමග ආශ්‍රය නොකළ යුතුයයි කියා
නසන්‍ථවං කාපුරිසෙන කයිරා, අරියො අනරියෙන පජානමත්‍ථං,
චිරානුවුත්‍ථොපි කරොති පාපං, ගජො යථා ඉන්‍දසමාන ගොත්තං.
යංත්‍ථෙව ජඤ්ඤා සදිසො මමන්ති, සීලෙන පඤ්ඤාය සුතෙන චාපි,
තෙනෙව මෙත්තිං කයිරාථ සද්ධිං, සුඛාවහො සප්පුරිසෙන සංගමො.
යන මේ ගාථා කීවේය.
අර්ථය දන්නා වූ ආර්ය පුද්ගල තෙමේ අනාර්ය වූ පිළිකුල් පුද්ගලයා සමග ඇසුරු නොකරන්නේය. කුමක් නිසාද? බොහෝ කාලයක් එක්ව වාසය කළත් නපුරක් කරන්නේය. බොහෝ කාලයක් එක්ව වාසය කළ ඉන්‍දසමාන ගොත්ත නම් තවුසා මැරූ හස්තියා මෙනි.සීලයෙන් ද ප්‍රඥාවෙන් ද ශ්‍රැතයෙන් ද යම් තැනැත්තෙකු මා හා සමාන යයි දන්නේ ද ඔහු හා සමගම මිත්‍රත්වය කිරීම යහපති. සත්පුරුෂයා හා එක්ව වාසය සුව එළවන්නේය.
එහි, නසන්‍ථවං කාපුරිසෙන කයිරා යනු පිළිකුල් කටයුතු වූ කිපෙනසුළු වූ පුරුෂයා සමග තෘෂ්ණාවෙන් කරන ඇසුරක් හෝ මිතුරුකමින් කරන ඇසුරක් හෝ නොකරව්. අරියො අනරියෙන පජානමත්‍ථං යනු ආර්යයෝ සතර දෙනෙකි. එනම්, ආචාර අරියලිංග අරියදස්සන අරියපටිවෙධ අරිය (මේවායෙහි අර්ථ දැනගැනීමට 3.1.2 තිලමුට්ඨි ජාතකය බලන්න.) මොවුන් අතුරෙන් යහපත් වූ ආචාර ඇත්තා මෙහිදී අදහස් කරන ලදි. හෙතෙම දතයුතු දෙයෙහි අර්ථය දන්නේ අර්ථ හා අනර්ථ තෝරා ගැනීමෙහි දක්‍ෂ වූයේ යහපැවැත්මෙහි පිහිටියේ ආර්ය පුද්ගලයාය. අනාර්ය වූ ලජ්ජා නැති දුසිල් වූවන් සමග ආශ්‍රය නො කරන්නේය යන අර්ථයි. කුමක් නිසාද? චිරානුවුත්‍ථොපි කරොති පාපං යනු යම් හෙයකින් අනාර්යයෝ කලක් එකට ඇසුරු කළත් ඔහු එක්ව වාසය නොසලකා පව් කරයි. ලාමක පාප කර්මයන් කරන්නේමය. කෙසේද? ගජො යථා ඉන්‍දසමාන ගොත්තං යනු යම්සේ ඒ ඇතා ඉන්‍දසමාන ගොත්ත නම් තවුසා මරන්නේ පවක් කෙළේය යන අර්ථයි. යංත්‍ථෙව ජඤ්ඤ සදිසො මමං යනු ආදියෙහි යම්කිසි පුද්ගලයෙක් සීලාදියෙන් මා හා සමාන යයි දන්නේ නම් ඔහු සමග මෛත්‍රී කරව්. සත්පුරුෂයා සමග එක්වීම සැප ගෙන දෙයි.