9. අරක ජාතකය (169)
යො වෙ මෙත්තෙන චිත්තෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් මෙත්ත සූත්‍රය මුල් කරගෙන දේශනා කළ සේක. එක් සමයෙක්හි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා, මහණෙනි! ආදරයෙන් සෙවුනා ලද භාවිතා කරන ලද, බහුල වශයෙන් වඩනා ලද, යානාවක් මෙන් කරන ලද වස්තුවක් මෙන් කරන ලද, එළඹ සිටියා වූ, පුරුදු කරන ලද මොනවට පටන් ගන්නා ලද, මෛත්‍රී චෙතො විමුත්තියගේ (මෛත්‍රී භාවනාවේ) ආනිසංස එකොළහක් කැමතිවිය යුතුයි. කවර එකොළසක්ද යත්, 1. සැපසේ නිදයි, 2. සැපසේ පුබුදියි, 3. නපුරු සිහින නොදකියි, 4. මිනිසුන්ට ප්‍රිය වෙයි, 5. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි, 6. දෙවියෝ රකිත්, 7. මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයාගේ සිරුරෙහි ගිනි හෝ විෂ හෝ ආයුධ හෝ නොවදියි, 8. වහා සිත සමාධිගත වෙයි, 9. මුහුණ පැහැපත් වෙයි, 10. සිහිමුලා නොවී කලුරිය කෙරෙයි, 11. රහත් ඵලය අවබෝධ කළ නොහැකි වීනම් බඹලොව උපදියි. මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද -පෙ- මෛත්‍රී චේතෝ විමුත්තියගේ මේ එකොළොස් වැදෑරුම් ආනිසංස කැමතිවිය යුතුයි. මේ කරුණු එකොළසෙන් යුත් මෛත්‍රී භාවනාව වර්ණනා කොට වදාරා මහණෙනි! භික්‍ෂුව විසින් සියලු සත්ත්වයන් කෙරෙහි සීමා වශයෙන් හා අසීමිත වශයෙන් මෛත්‍රිය වැඩිය යුතුය. හිතවතාට ද හිතවත්කම පැතිරවිය යුතුයි. අහිතවතාට හිතවත්කම පැතිරවිය යුතුයි. මධ්‍යස්ථ තැනැත්තාටද හිතවත්කම පැතිරවිය යුතුයි. මෙසේ සියලු සත්ත්වයන් කෙරෙහි සීමා ඇතුව හා සීමා නැතුව හෝ මෛත්‍රිය වැඩිය යුතුයි. ඒ වාගේම කරුණාව මුදිතාව උපේක්‍ෂාව වැඩිය යුතුයි. සිව්බඹ විහරණයෙහිම ක්‍රියාකළ යුත්තේමය. මෙසේ මෛත්‍රී භාවනාව වඩමින් මාර්ගයක් හෝ ඵලයක් හෝ නොලැබුවත් බඹලොව උපදින්නෝය. පුරාණයේ නුවණ ඇති අයද සත්වසක් මෛත්‍රි භාවනාව වඩා සංවට්ට විවට්ට කල්ප හතක් බඹලොවෙහිම විසුවාහුයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයේ එක් කල්පයක බෝසතාණන් වහන්සේ එක් බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්වූවාහු කම්සැප හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව සිව්බඹ විහරණ ලැබූ ‘අරක’ නම් ශාස්තෲවරයා වී හිමවත් ප්‍රදේශයේ වාසය කළ සේක. එතුමාට මහත් පිරිවරක් සිටියේය. හෙතෙම වනාහි සෘෂි සමූහයට ඔවදන් දෙමින් පැවිද්දන් විසින් සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී භාවනාව වැඩිය යුතුයි. කරුණා භාවනාවද, මුදිතා භාවනාවද, උපේක්‍ෂා භාවනාවද වැඩිය යුත්තාහ. අර්පණා ධ්‍යානයට පත් මේ මෛත්‍රී සිත බඹලොව උපත සාදා දෙන්නේ යයි මෛත්‍රී භාවනාවේ අනුසස් ප්‍රකාශ කරන්නේ,
යො චෙ මෙත්තෙන චිත්තෙන සබ්බලොකානුකම්පති,
උද්ධං අධො ච තිරියඤ්ච අප්පමාණෙන සබ්බසො.
අප්පමාණං හිතං චිත්තං පරිපුණ්ණං සුභාවිතං,
යං පමාණකතං කම්මං න තං තත්‍රාවසිස්සති.
යන මේ ගාථා කීවේය.
යමෙක් ඒකාන්තයෙන්ම අප්‍රමාණ වූ මෙත් සිතින් උඩින් ද යටින් ද සරසින් ද සර්ව ප්‍රකාරයෙන් සියලු ලෝවැසියන් කෙරෙහි අනුකම්පා කෙරේද,
පිරිපුන්, මනාව වැඩූ අප්‍රමාණ කොට සියලු සතුන් වෙත වැඩූ මෛත්‍රී ධ්‍යාන එකක් වේද ප්‍රමාණකොට කරන ලද යම් කාමාවචර කර්මයක් වේද ඒ කාමාවචර කර්මය ඒ ධ්‍යාන සිතෙහි (රූපාවචර කර්මය තුළ (විපාකදීම් වශයෙන්) ඉතිරි නොවේ.
එහි, යො වෙ මෙත්තෙන චිත්තෙන සබ්බලොකානුකම්පති යනු ක්‍ෂත්‍රිය ආදීන් කෙරෙහි හෝ මහණ බමුණන් කෙරෙහි හෝ යම් කිසිවෙක් අර්පණා ධ්‍යානයට පැමිණි මෛත්‍රී සිතින් සියලු සත්ත්ව ලෝකයට අනුකම්පා කරයි යනු පොළොවේ සිට නේවසඤ්ඤා නාසඤ්ඤායතන බඹලොව දක්වා, අධො යනු පොළොවෙන් යට උසුපත් (උස්සද) මහානිරය දක්වාද, තිරියං යනු මිනිස් ලොවෙහිද යම් පමණ සක්වලවල් ඇත්ද ඒ සියලු තන්හි උපන්නා වූ සියලු සත්ත්වයෝ ද්වේෂ නැත්තෝ වෙත්වා, දොම්නස් නැත්තෝ වෙත්වා. උවදුරු (දුක්) නැත්තෝ වෙත්වා සැපවත් ජීවිත පරිහරණය කරත්වායි කියා මෙසේ වඩනා ලද මෛත්‍රී සිතින් යන අර්ථයි.
අප්පමාණෙන යනු අපමණ සත්ත්වයන් පිළිබඳ අපමණ අරමුණු ඇති බැවින් අප්පමාණෙන. සබ්බසො යනු සියලු ආකාරයෙන් උඩ, යට, සරස වශයෙන්, මෙසේ සියලු සුගති දුගති වශයෙන්ය යන අර්ථයි. අප්පමාණං හිතං චිත්තං යනු අප්‍රමාණ කොට වඩනා ලද සියලු සත්ත්වයන් කෙරෙහි හිතවත් වූ සිත. පරිපුණ්ණං යනු පිරිපුන්. සුභාවිතං යනු මනාව වඩනා ලද මේ අර්පණා (ධ්‍යාන) සිතට නමකි. මේ නම යං පමාණකතං කම්මං යනු යම්බඳු අප්පමාණ අප්පමාණාරම්මණයයි. මෙසේ අරමුණු තුනක් වශයෙන්ද වසීභාවයට පැමිණිම් වශයෙන්ද සිහිකොට කළ ස්වල්ප වූ කාමාවචර කර්මයයි. න තං තත්‍රාවසිස්සති යනු ඒ කාමාවචර නම් වූ කුඩා කර්මය අප්‍රමාණ සිත යන සංඛ්‍යාවට ගිය රූපාවචර කර්මය ඇතුළෙහි ඉතිරි නොවේ. මහජල පාරකින් වැසීගිය සුළු වතුරක් මහජල පහර ඇතුළෙහිම පැතිර යයි. ඒ සුළු වතුරට මහජලපාර යටපත් කළ නොහැකිය. මහජල පාර තුළ සුළුවතුර ඉතිරිවීමක් නොවන අතර මහජල පහරම සුළුවතුර යටපත් කරගෙන සිටියි. එසේම ස්වල්ප වූ කාමාවචර කුශලය ඒ මහග්ගත කර්මය ඇතුළෙහි විපාකදීම ඉඩක් නොලැබීම නිසා ඉතිරි නොවෙයි. කාමාවචර කර්මයට විපාක දීමට ඉඩක් නැත. මහග්ගත කර්මයම කාමාවචර කර්මය යටපත්කොට විපාක දෙයි. (මෙහි අදහස මෙයයි: යම් පුද්ගලයෙක් මුලදී කාමාවචර කර්මයක් කරයි. පසුව රූපාවචර ධ්‍යානයක් ලබයි. රූපාවචර ධ්‍යානයෙන් නොපිරිහී මියයන පුද්ගලයාට විපාක දීමට ඉදිරිපත් වන්නේ රූපාවචර කර්මයයි. කාමාවචර කර්මයට ඒ අවස්ථාව ලබාගත නොහැකිය.)
මෙසේ බෝසතාණන් වහන්සේ අතවැසියන්ට මෛත්‍රී භාවනාවේ අනුසස් කියා නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ බඹලොව ඉපිද සංවර්ත විවර්ත කල්ප හතක් මේ ලෝකයට නොපැමිණි සේක.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල තවුස් පිරිස මේ බුදුපිරිස වූහ. අරක ශාස්තෲවරයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.