7. සමිද්ධි ජාතකය (167)
අභුත්‍වා භික්ඛසි භික්ඛු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ඇසුරුකොට තපෝදාරාමයේ වැඩවාසය කරන සේක් සමිද්ධි තෙරුන් අරබයා වදාළ සේක. එක්දිනක් සමෘද්ධි තෙරුන් වහන්සේ මුළු රැයක් කෙලෙස් තැවීම සඳහා උත්සාහ කොට අරුණු නැගෙන වේලාවෙහි ස්නානය කොට රන්වන් සිරුර තෙත සිඳුවමින් අඳනය ඇඳගෙන සිවුර අතින් ගෙන මනාසේ ඔපමට්ටම් කළ රන් පිළිමයක් මෙන් සිටි සේක. පිරිපුන් සිරුරක් ඇති බැවින් උන්වහන්සේට සමිද්ධි යයි නමක් විය. ඉක්බිති උන්වහන්සේගේ ශරීර සෞභාග්‍යය දැක එක්තරා දෙව්දුවක් උන්වහන්සේ පිළිබඳ සිත් ඇතිව තෙරුන් වහන්සේ වෙත පැමිණ භික්‍ෂූන් වහන්ස! නුඹවහන්සේ වනාහි ලාබාලය. තරුණය. කලුකෙස් ඇත්තෝය. භද්‍ර යෞවනයෙන් යුක්තය. විශිෂ්ට වූ රූ ඇත්තෝය. දැකුම්කලුය. දුටුවන් පහදවන සුළුය. මෙසේ ඇතිකල්හි කම්සැප නොවිඳ මහණදම් පිරීමෙන් ඇති ඵලය කුමක්ද? පළමුකොට කම්සුව විඳිත්වා! පසුව පැවිදිව මහණදම් පුරන්නෙහි යයි කීවාය. ඉක්බිති ඇයට තෙරුන් වහන්සේ දෙව්දුවනි! අසවල් නම් වයසෙහි සිටියේ මැරෙන්නෙමියි කියා මගේ මරණයට කල් නොදනිමි. මට ඒ කාලය සැඟවුනේය. ඒ නිසා තරුණ කාලයේදීම මහණදම් පුරා දුක් කෙළවර කරන්නෙමියි කී සේක. දෙව්දුව තෙරුන් වහන්සේගේ සමීපයෙන් සුහද පිළිතුරක් නොලබා එහිම අතුරුදහන් වූවාය. තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ එම කරුණ සැලකර සිටි සේක. එවිට බුදුරජාණන් වහන්සේ සමිද්ධි! දැන් දෙව්දුව විසින් ඔබව පොළඹවන ලද්දේ නොවෙයි. පෙරත් දෙව් දූවරු පැවිද්දන් පෙළඹවූහයි වදාරා සමිද්ධි තෙරුන් විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි අප මහ බෝසතාණන් වහන්සේ කසීරට එක්තරා බමුණු කුලයක ඉපිද වැඩිවියට පත්වු විට සියලු ශිල්පයන්හි නිමාවට පත්ව තවුස් පැවිද්දෙන් පැවිදිව පඤ්ච අභිඥා සහ සමාපත්ති අට උපදවාගෙන හිමාලය වන පෙදෙසෙහි එක්තරා ස්වාභාවික විලක් ඇසුරුකොට වාසය කළ සේක. හෙතෙම මුලු රාත්‍රියෙහිම කෙලෙස් දුරු කිරීමට වීර්ය වඩා අරුණ උදාවන වේලාවෙහි ජලස්නානය කොට එක් වැහැරි සිවුරක් හැඳ එක් සිවුරක් අතින් ගෙන සිරුරේ තෙත සිඳුවමින් සිටියෝය. ඉක්බිති රූපයෙන් අගතැන්පත් මොහුගේ සිරුර බලා පිළිසිඳ සිත් ඇතිව එක් දෙව්දුවක් බෝසතාණන් වහන්සේ පොළොඹවමින්
අභුත්‍වා භික්ඛසි භික්ඛු! නහි භුත්‍වාන භික්ඛසි,
භුත්‍වාන භික්ඛු භික්ඛස්සු මා තං කාලො උපච්චගා.
යන මේ පළමු ගාථාව කීවාය.
මහණ! පස්කම් සුව නොවළඳා පිඬු සිඟන්නෙහිය. පස්කම් සැප වළඳා පසුව පිඬු පිණිස හැසිරිය යුතුයි. තරුණ කාලයෙහි පස්කම් සුව වළඳා මහලු කල පිඬු සිඟන්න. තරුණ කාලය නොඉක්මවන්න.
එහි, අභුත්‍වා භික්ඛසි භික්ඛු යනු මහණ! නුඹ තරුණ කාලයෙහි ක්ලේශ කාම වශයෙන් (රාගයෙන්) කාම වස්තූන් නොවළඳාම පිඬු පිණිස හැසිරෙන්නෙහි, නහි භුත්‍වාන භික්ඛසි යනු පස්කම් සුව වළඳා පිඬු පිණිස හැසිරිය යුතු නොවේද? ඔබ කම්සැප නොවිඳම පිඬු පිණිස හැසිරීමට එළඹියෙහිය. භුත්‍වාන භික්ඛු භික්ඛස්සු යනු මහණ! පළමුව තරුණ කාලයේ කම්සැප විඳින්න. එසේ කොට පසුව මහලුකල පිඬු පිණිස හැසිරෙන්න. මා තං කාලො උපච්චගාති, මේ කම්සුව වළඳන තරුණ කාලයයි. එම කාලය නොඉක්මවන්න.
බෝසතාණන් වහන්සේ දෙව්දුවගේ කථාව අසා තමන්ගේ අදහස්ද දක්වනු කැමැත්තේ
කාලං වොහං නජානාමි ඡන්නො කාලො නදිස්සති,
තස්මිං අභුත්‍වා භික්ඛාමි මා මං කාලො උපච්චගා.
යන දෙවන ගාථාව කීහ.
මම කාලය නොදනිමි. සැඟවුනු කාලය නොපෙනේ. එබැවින් කාමයන් අනුභව නොකොට පිඬු පිණිස හැසිරෙමි. මගේ තපස් කාලය නොඉක්මවේවා!
එහි කාලං වොහං න ජානාමි යනු වො යනු නිපාත මාත්‍රයකි. මම ප්‍රථම වයසෙහි. (අවුරුදු 1-33) හෝ මධ්‍යම වයසෙහි (අවුරුදු 34-66) හෝ පශ්චිම වයසෙහි (අවුරුදු 67-100) හෝ මා විසින් මරණයට පත්විය යුතුයයි මෙසේ තමාගේ මරණ කාලය නොදනිමි. අති පණ්ඩිත පුද්ගලයා විසින් ද,
ජීවිතං ව්‍යාධි කාලො ච දෙහ නික්ඛෙපනං ගති,
පඤ්චෙතෙ ජීවලොකස්මිං අනිමිත්තා න ඤායරෙ ති.
මෙපමණ කලක් ජීවත් වෙමි. අසවල් රෝගයෙන් මිය යයි. පෙරවරු පස්වරු ආදී අසවල් කාලයේ මිය යයි. මළසිරුර අසවල් තැන දමයි. මියගොස් අසවල් තැන උපදියි යන මේ රකුණු පහ මේ ජීව ලෝකයෙහි තීරණය කළ නොහැකි හෙයින් අනිමිත්තය. දැනගත නොහැකියි.
ඡන්නො කාලො නදිස්සති යනු ඒ නිසා අසවල් නම් වයස් කාලයේදී හෝ හේමන්ත (සීතල කාලය) ආදී සෘතු කාලයේ හෝ මවිසින් මරණයට පත්විය යුතුයයි මට ඒ වැසී ඇති කාලය නොපෙනේ. මනාකොට වැසී සිටියේ නොපැහැදිළිය. තස්මා අභුත්‍වා භික්ඛාමි යනු ඒ කරුණෙන් කම්සුව නොවළඳාම පිඬු සිඟමි. මා චං කාලො උපච්චගා යනු මා මහණදම් පුරණ කාලය ඉක්ම නොයේවා! මේ කාරණයෙන් ලාබාල කාලයේදීම පැවිදිව මහණදම් පුරමි. දෙව්දුව බෝසතාණන් වහන්සේගේ වචනය අසා එහිම අතුරුදන් වූවාය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල දෙව්දුව ද මේ දෙව්දුවම වූවාය. මම ම එකල තාපසයා වූයෙමි යි වදාළ සේක.
සකුණග්ඝි ජාතකය
සෙණො බලසා පනමානො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් තම අදහස් අනුව සකුණෝවාද සූත්‍රය මුල්කරගෙන දේශනා කළ සේක. එක්දිනක් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා මහණෙනි! සිය පියා ගිය මගෙහි යමින් ගොදුරු සොයව් යන මේ සංයුත්ත නිකායේ මහා වග්ගයෙහි සූත්‍රාන්තය දේශනා කරමින් තෙපි සිටිව්! පෙර තිරිසන්ගත සතුන් පවා සිය පියා ගිය මග හැර අස්ථානයේ හැසිරෙන්නාහු සතුරන්ගේ අතට පත්ව, තම නුවණින් උපාය කුසලතාවයෙන් සතුරන්ගේ අතින් මිදුනාහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.