6. උපසාළ්හක ජාතකය (166)
උප සාළ්හක නාමානං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් උපසාළ්හක නම් එක්තරා සොහොන් පිරිසිදු කරන බමුණෙකු අරබයා වදාළ සේක. ඔහු වනාහි ආඪ්‍ය වූ මහ ධනවත් පුද්ගලයෙක් විය. මිසදිටු බැවින් සමීප විහාරස්ථානයෙහි වැඩවසන්නා වූ බුදුරජාණන් වහන්සේට පුද පූජා නො කෙළේය. ඔහුගේ පුතා වනාහි නුවණ ඇත්තෙක් විය. ඤාණවන්තය. ඒ පියා මහලු කල්හි දරුව! වෙනත් වසන (නීච) අයකු දවන ලද සොහොනේ මා නොදවන්න. එක්තරා නො ඉඳුල් සොහොන් බිමකම මා ආදාහනය කරන්නැයි පුතාට කීවේය. පියාණෙනි! මම ඔබවහන්සේ දැවිය යුතු ස්ථානයක් නො දනිමි. එම නිසා මාව රැගෙන ගොස් මෙන්න මේ ස්ථානයේ මාව දැවිය යුතුයයි නුඹවහන්සේ විසින්ම කියනු මැනවි. බමුණා දරුව, යහපතැයි කියා ඔහු කැඳවා ගෙන නුවරින් නික්මී ගිජුකුළු පව් මතට නැග දරුව, මේ ස්ථානය වෙනත් වසලයකු නොදැවූ ස්ථානයකි. මෙහි මා දැවිය යුතුයි කියා පුතා සමග පර්වතයෙන් බැසීමට පටන් ගත්තේය.
බුදුරජාණන් වහන්සේ එදවස අළුයම් කාලයෙහි ධර්මය අවබෝධයට සුදුසු අය මහා කරුණා සමාපත්තියට සමවැදී බලන්නාහු ඒ පිය පුත් දෙදෙනාට සෝවාන් වීමට හේතු සම්පත් ඇති බව දුටු සේක. එම නිසා මග සෝදිසියෙන් සිටි වැද්දෙකු මෙන් පර්වතය පාමුලට ගොස් පර්වත මුදුනේ සිට බසින්නා වූ පිය පුතුන් දෙදෙනාගේ පැමිණීම අපේක්ෂාවෙන් වැඩසිටි සේක. බසින්නා වූ ඔවුහු බුදුරජුන් දුටුවාහුය. බුදුරජාණන් වහන්සේ පිළිසඳර කරමින් බමුණ! කොහි ගියාහුදැයි විචාළ සේක. එවිට මානවකයා ඒ කාරණය සැල කළේය. බුදුරජාණන් වහන්සේ එසේ නම් එන්න. ඔබේ පියා කියන ලද තැනට යමුයි පිය පුතු දෙදෙනා රැගෙන පර්වතය මුදුනට නැග කුමන ස්ථානයදැයි විචාළ සේක. මානවකයා ස්වාමීනි, මේ පර්වත තුන අතර කියන ලදැයි කීවේය. බුදුරජාණන් වහන්සේ මානවකය! ඔබේ පියා දැන් පමණක් නොව පෙරත් සුසාන සුද්ධිකයෙක්මය. මොහු මා මෙතන දවන්නැයි ඔබට කීවේ දැන් පමණක් නොවේ. පෙරත් මේ ස්ථානයෙහිම තබා දවන බව කීවේයයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයෙහි මේ රජගහ නුවරම මේ උපසාළ්හක බමුණාම මොහුගේම පුතා වී උපන්නේය. එකල බෝසතාණන් වහන්සේ මගධ රට බමුණු කුලයක ඉපදී පිරිපුන් ශිල්ප ඇත්තෝ තවුස් පැවිද්දෙන් පැවිදිව පඤ්ච අභිඥාවන් ද අට්ඨ සමාපත්තීන් ද උපදවා ධ්‍යාන භාවනා කරමින් හිමවත් පෙදෙසෙහි කලක් වාසයකොට ලුනු ඇඹුල් සෙවීම පිණිස ගිජුකුළු පව්වේ පන්සලක වාසය කළහ. එකල ඒ බමුණා මේ ක්‍රමයටම පුතාට කියා පුතා විසින් තොපම මට එවැනි තැනක් කියවයි කී කල්හි මේ ස්ථානයම කියා පුතා සමග පර්වතයෙන් බසින්නේ බෝසතාණන් වහන්සේ දැක ඔහු සමීපයට එළඹියේය. බෝසතාණන් වහන්සේ මේ ක්‍රමයටම විමසා මානවකයාගේ කීම අසා ඔබේ පියා විසින් කියන ලද ස්ථානයට එව. ඉඳුල් බව හෝ නොඉඳුල් බව දැන ගන්නෙමුයි ඔවුන් සමග පර්වතය මතුවට නැග මේ පර්වත තුන අතරේ මිනී නොදැමූ තැන යයි මානවකයා කී කල්හි, මානවකය! මේ ස්ථානයෙහිම දමන ලද බමුණන්ගේ ප්‍රමාණයක් නැත. ඔබේ පියාම මේ රජගහ නුවරම බමුණු කුලයෙහිම ඉපිද උපසාළ්හක නමින්ම මේ පර්වත අතරෙහිම ආත්ම දහ හතර දහසක්ම ආදාහනය කරන ලදි. මහ පොළොවෙහි ආදාහනය නොකළ තැනක් හෝ සොහොන් බිමක් නොවූ තැන්හි හෝ මිනී හිස් නොතිබූ තැනක් හෝ සොයා ගැනීමට නොහැකි යයි පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණින් පිරිසිඳ දක්වා
උපසාළ්හක නාමානං සහස්සා නි චතුද්දස,
අස්මිං පදෙසෙ දඩ්ඪානි නත්ථි ලොකෙ අනාමතං.
අස්මිං පදෙසෙ දඩ්ඪානි නත්ථි ලොකෙ අනාමතං.
යම්හි සච්චඤ්ච ධම්මො ච අහිංසා සඤ්ඤමො දමො,
එතදරියා සෙවන්ති එතං ලොකෙ අනාමතං
එතදරියා සෙවන්ති එතං ලොකෙ අනාමතං
යන මේ ගාථා දෙක කීවේය.
උපසාළ්හක නමින් ම දාහතර දහසක් ආත්මවලදී මේ ප්‍රදේශයේදීම දවන ලදි. ලොව නොමැරුණු තැනක් නැත.යම් පුද්ගලයෙකු තුළ සත්‍යයද දහමද අවිහිංසාවද, සන්සුන්කමද, ඉන්ද්රිය දමනයද ඇත්තේ නම් ආර්යයෝ එතැන ඇසුරු කරත්. එය ලොවෙහි නොමැරීමයි.
එහි, අනාමතං යනු නො මැරුණ තැන, සමීප වශයෙන් නිවන යයි කියනු ලැබේ. මරණය වැළැක්වීම් වශයෙන් අමත යයි කීය. අනමතං යනුද පාඨයි. ලෝකයෙහි නොමැරෙන තැනක් සොහොනක් නොවූ තැනක් නම් නැත යන අර්ථයි. යම්හි සච්චඤ්ච ධම්මොච යනු යම් පුද්ගලයෙකු කෙරෙහි චතුරාර්ය සත්‍යයට වස්තු වූ පූර්වභාග සත්‍ය ඥානයද ලොව්තුරු දහමද ඇත. අහිංසා යනු අනුන්ට හිංසා නොකිරීම, පීඩා නොකිරීම, සඤ්ඤමො යනු සීල සංවරය, දමො යනු ඉන්ද්රිය දමනය. මේ ගුණ ධර්ම යම් පුද්ගලයෙකු තුළ ඇත්ද? එතදරියා සෙවන්ති යනු ආර්ය වූ බුදුවරයෝද, පසේ බුදුරවයෝද, බුද්ධ ශ්‍රාවකයෝද මේ තැන සේවනය කරත්. මෙබඳු පුද්ගලයෙකු වෙත එළඹෙත් භජනය කරත් යන අර්ථයි. එතං ලොකො අනාමතං යනු මේ ගුණය ලෝකයෙහි නොමැරෙන බව සාධනය කරන බැවින් අමත නමි.