5. නකුල ජාතකය (165)
සන්ධිං කත්වා අධිත්තෙන යනු මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් හමුදාවේ නියුක්ත වූවන්ගේ දබරයක් අරබයා වදාළ සේක. කථා වස්තුව උරග ජාතකයෙහි මුලදී කියන ලද ක්රමයටමය. එහිදී බුදුරජාණන් වහන්සේ මහණෙනි! මේ මහ ඇමතියන් දෙදෙනා මා විසින් සමගි කරන ලද්දේ දැන් පමණක් නොව පෙරත් මම මේ දෙදෙනා සමගි කළෙමියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රාජ්යය කරන කල්හි බෝසතාණන් වහන්සේ එක් ගමක බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූවාහු තක්සලා නුවරින් සියලු ශිල්ප ඉගෙන ගෙන ගිහිගෙය අත්හැර තාපස පැවිද්දෙන් පැවිදිව පඤ්ච අභිඥා හා සමාපත්ති අට උපදවාගෙන පිඬුසිඟා හැසිරීමෙන් වන, මුල්, ගෙඩි ජාතිය ආහාරයට ගනිමින් හිමවත් පෙදෙසෙහි වාසය කළ සේක. ඔහුගේ සක්මන් කෙළවර එක් තුඹසක (හුඹහක) මුගටියෙක්ද ඒ අසලම එක් ගස් බෙනයක සර්පයෙක්ද වාසය කෙළේය. ඒ සර්ප මුගටි දෙදෙනා නිතරම කෝලාහල කරත්. බෝසතාණන් වහන්සේ ඔවුන්ට කෝලාහල කිරීමේ ආදීනව හා මෙත් වැඩීමේ ආනිසංසද කියා කලහ නොකොට සමගිව විසීමට වටීයයි අවවාද දී ඔවුන් දෙදෙනා සමගි කළහ. ඉක්බිති සර්පයා බැහැර යන අවස්ථාවක මුගටියා සක්මන් කෙළවර හුඹස් බිලයෙහි දොරකඩ හිස තබා කර අරගෙන හුන්නේ ආශ්වාස ප්රශ්වාස කරමින් නින්දට ගියේය. බෝසතාණන් වහන්සේ ඌ එසේ නිදන අයුරු දැක කුමක් නිසා තට භයක් උපන්නාදැයි විමසමින්,
සන්ධිං කත්වා අමිත්තෙන අණ්ඩජෙන ජලාබුජ!,
විවරියං දාඨං සයසි කුතො තං භයමාගතං
විවරියං දාඨං සයසි කුතො තං භයමාගතං
යන පළමු ගාථාව කීහ.
ජලාබුජය (මුගටිය) සතුරු වු අණ්ඩජයා (සර්පයා) සමග මිතුරුකම් කොට දළ විවෘත කරගෙන හෝනෙහිය. තට බිය කොයින් ආයේද?
එහි, සන්ධිං කත්වා යනු මිතුරුකම් කොට, අණ්ඩජෙනා යනු බිත්තරයෙන් උපන්නා වූ නයා විසින් ජලාබුජ යනු මුගටියාට අමතයි. ඌ වනාහි වැදෑ මහෙහි උපන් බැවින් ජලාභුජ යයි කියනු ලැබේ. විචරියා හනු හැසිර.
මෙසේ බෝසතාණන් වහන්සේ විසින් කී කල්හි, ආර්යයනි! (කිසිවකු විසින්) සතුරා හෙළා නොදැකිය යුතුය. සැක කටයුත්තේම යයි කියා
සංඛෙථෙව අමිත්තස්මිං මිත්තස්මිම්පි න විස්සසෙ,
අභයා භය මුප්පන්නං අපි මූලං නිකන්තති.
අභයා භය මුප්පන්නං අපි මූලං නිකන්තති.
යන ගාථාව කීවේය.
සතුරා කෙරෙහි ද සැක කරන්නේ ම ය. මිතුරා කෙරෙහිදු විශ්වාස නො කරන්නේය. මිත්ර වූ අභයස්ථානයෙන් උපන් බිය මුල්ද කපා විනාශ කරන්නේය.
එහි, අභයා භය මුප්පන්නං යනු මෙයින් තට බිය නූපන්නේ යයි අභය වේ. ඒ කවරෙක්ද? මිතුරාය. යමෙකුට මිත්රයා කෙරෙහිද විශ්වාසය ඇතිකල්හි එයින් භයක් උපදියි. ඒ මුල්ද කපා විනාශ කරන්නේය. මිත්රයාගේ සියලු සිදුරු (දොස්) දැන ගත් බැවින් සමූල ඝාතනය පිණිස පවතීය යන අර්ථයි.
ඉක්බිති ඔහුට බෝසතාණන් වහන්සේ බිය නොවන්න. යම්සේ සර්පයා තා කෙරෙහි ද්වේෂ නොකරයිද මම එසේ කළෙමි. නුඹ මෙතැන් පටන් ඌ කෙරෙහි සැක නොකරවයි අවවාද දී සිව් බඹ විහරණ වඩා බඹලොව උපන්නේය. ඔවුහු ද කම් වූ පරිද්දෙන් මිය පරළොව ගියහ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල්හි සර්පයාද මුගටියාද මේ ඇමතිවරු දෙදෙනා වූහ. තාපසයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
6. උපසාළ්හක ජාතකය (166)
උප සාළ්හක නාමානං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් උපසාළ්හක නම් එක්තරා සොහොන් පිරිසිදු කරන බමුණෙකු අරබයා වදාළ සේක. ඔහු වනාහි ආඪ්ය වූ මහ ධනවත් පුද්ගලයෙක් විය. මිසදිටු බැවින් සමීප විහාරස්ථානයෙහි වැඩවසන්නා වූ බුදුරජාණන් වහන්සේට පුද පූජා නො කෙළේය. ඔහුගේ පුතා වනාහි නුවණ ඇත්තෙක් විය. ඤාණවන්තය. ඒ පියා මහලු කල්හි දරුව! වෙනත් වසන (නීච) අයකු දවන ලද සොහොනේ මා නොදවන්න. එක්තරා නො ඉඳුල් සොහොන් බිමකම මා ආදාහනය කරන්නැයි පුතාට කීවේය. පියාණෙනි! මම ඔබවහන්සේ දැවිය යුතු ස්ථානයක් නො දනිමි. එම නිසා මාව රැගෙන ගොස් මෙන්න මේ ස්ථානයේ මාව දැවිය යුතුයයි නුඹවහන්සේ විසින්ම කියනු මැනවි. බමුණා දරුව, යහපතැයි කියා ඔහු කැඳවා ගෙන නුවරින් නික්මී ගිජුකුළු පව් මතට නැග දරුව, මේ ස්ථානය වෙනත් වසලයකු නොදැවූ ස්ථානයකි. මෙහි මා දැවිය යුතුයි කියා පුතා සමග පර්වතයෙන් බැසීමට පටන් ගත්තේය.
බුදුරජාණන් වහන්සේ එදවස අළුයම් කාලයෙහි ධර්මය අවබෝධයට සුදුසු අය මහා කරුණා සමාපත්තියට සමවැදී බලන්නාහු ඒ පිය පුත් දෙදෙනාට සෝවාන් වීමට හේතු සම්පත් ඇති බව දුටු සේක. එම නිසා මග සෝදිසියෙන් සිටි වැද්දෙකු මෙන් පර්වතය පාමුලට ගොස් පර්වත මුදුනේ සිට බසින්නා වූ පිය පුතුන් දෙදෙනාගේ පැමිණීම අපේක්ෂාවෙන් වැඩසිටි සේක. බසින්නා වූ ඔවුහු බුදුරජුන් දුටුවාහුය. බුදුරජාණන් වහන්සේ පිළිසඳර කරමින් බමුණ! කොහි ගියාහුදැයි විචාළ සේක. එවිට මානවකයා ඒ කාරණය සැල කළේය. බුදුරජාණන් වහන්සේ එසේ නම් එන්න. ඔබේ පියා කියන ලද තැනට යමුයි පිය පුතු දෙදෙනා රැගෙන පර්වතය මුදුනට නැග කුමන ස්ථානයදැයි විචාළ සේක. මානවකයා ස්වාමීනි, මේ පර්වත තුන අතර කියන ලදැයි කීවේය. බුදුරජාණන් වහන්සේ මානවකය! ඔබේ පියා දැන් පමණක් නොව පෙරත් සුසාන සුද්ධිකයෙක්මය. මොහු මා මෙතන දවන්නැයි ඔබට කීවේ දැන් පමණක් නොවේ. පෙරත් මේ ස්ථානයෙහිම තබා දවන බව කීවේයයි වදාරා ඔහු විසින් ඉල්ලන ලද්දේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.