4. ගිජ්ඣ ජාතකය (164)
යන්නු ගිජ්ඣො යොජනසතං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් මවට උපස්ථාන කරන එක් භික්‍ෂුවක මුල් කරගෙන දේශනා කළ සේක. මේ පුවත සාම ජාතකයෙහි මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුව අමතා ඇත්තද මහණ? ඔබ ගිහියන් පෝෂණය කරන්නෙහිදැයි විමසා එසේය ස්වාමීනියි කී කල්හි ඒ කවුරුන්දැයි විමසා, ස්වාමීනි! මගේ මව්පියන් යයි කී කල්හි යහපත යහපතැයි සාධුකාර දී, මහණෙනි! ඒ භික්‍ෂුවට දොස් නොකියව්. පෙර නුවණ ඇති අය ගුණ වශයෙන් සලකා, ඤාතීන් නොවන අයට පවා උපකාර කළාහුය. මව්පියන්ට උපකාර කිරීම මොහුට භාර දෙයකැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ගිජුලිහිණියන් වෙසෙන පර්වතයෙහි ගිජුලිහිණි යෝනියෙහි ඉපද මව්පියන් පෝෂණය කරති. ඉක්බිති එක් කාලයකදී මහත් සුළං කුණාටුවක් ඇති විය. ගිජුලිහිණියෝ සුළං කුණාටුව විඳ දරා ගන්නට නොහැකි වූවාහු සීතලට බියෙන් බරණැස ගොස් පවුරු අසලද දියඅගල් අසලද සීතලෙන් ගැහි ගැහී සිටියෝය. බරණැස් සිටුතුමා නගරයෙන් නික්මී ජලස්නානය යන්නේ ඒ ගිජුලිහිණියන් වෙහෙස වී සිටිනු දැක එක්තරා නොතෙමෙන තැනකට පමුණුවා ගිනි දල්වා මැරුණු ගවයන් දමන සොහොනට යවා ගව මස් ගෙන්වා උන්ට දී ආරක්‍ෂාව සැලසුවේය. ගිජුලිහිණියෝ සුළං කුණාටුව සංසිඳුනුවිට නිරෝගී සිරුර ඇතිව පර්වතයටම ගියහ. ඔවුහු එහිම රැස්වී මෙසේ සාකච්ඡා කළහ. බරණැස් සිටුතුමා විසින් අපට බොහෝ උපකාර කරන ලදි. උදව් කළ තැනැත්තාට ප්‍රති උපකාරයක් කිරීම වටියි. ඒ නිසා මෙතැන් පටන් නුඹලා අතරින් යමෙක් යම්කිසි වස්ත්‍රයක් හෝ ආභරණයක් හෝ ලබයිද? ඔහු විසින් එය බරණැස් සිටුතුමාගේ මාළිගයේ ඉහළ මිදුලෙහි (ආකාශ අංගනයෙහි) දැමිය යුතුයි.
මෙතැන් පටන් ගිජුලිහිණියෝ අව්වෙහි වේලෙන මිනිසුන්ගේ වස්ත්‍රාභරණ ප්‍රමාදයක් බලා මස්වැදලි වහා ඩැහැගෙන යන්නා සේ වහා රැගෙන ගොස් බරණැස් සිටුතුමාගේ අහස් මිදුලේ හෙළත්. සිටුතුමා ගිජුලිහිණියන් ගෙන දමන ආභරණ බව දැන ඒ සියල්ලම වෙන වෙනම තැබුවේය. “ගිජු ලිහිණියෝ නගරය මංපහරන්නෝය” යි රජුට කීවාහුය. රජතුමා පළමුකොට එක් ගිජු ලිහිණියෙකු අල්ලා ගනිව්. සියල්ල ගෙන්වා ගන්නෙමියි සිතා ඒ ඒ තැන මළපුඩු ද උල්ද ඇටවීය. මව්පියන්ට උපස්ථාන කරන ගිජුලිහිණියා මළපුඩුවෙහි බැඳුනේය. ඌ රැගෙන රජුට පෙන්වන්නෙමුයි ගෙන යති. බරණැස් සිටුතුමා රජුට උපස්ථානයට යන්නේ ඒ මිනිසුන් ගිජුලිහිණියා රැගෙන යනු දැක මේ ගිජුලිහිණියාට බාධා නොකරත්වායි සිතා ඔවුන් සමග ගියේය. ගිජුලිහිණියා රජුට දැක්වූහ. එවිට රජතුමා ගිජු ලිහිණියාගෙන් නුඹ නගරයේ මංපැහැරීම් කරමින් වස්ත්‍රාදිය පැහැර ගන්නෙහිදැ?යි විමසීය. එසේය මහරජ! ඒවා කවරෙකුට දෙන ලදද? බරණැස් සිටුතුමාටයි. ඒ කුමක් නිසාද? මොහු විසින් අපගේ ජීවිතය බේරා දෙන ලදි. උදව් කළ අයෙකුට ප්‍රතිඋපකාර කිරීම වටියි. ඒ නිසා දුන්නෙමි. ඉක්බිති රජතුමා ගිජුලිහිණියෝ වනාහි යොදුන් සියයක් ඈතක සිටත් ගොදුරු දකිත්. කුමක් නිසා නුඹ තමන්ට අටවන ලද උගුල (පුඩුව) නොදැක්කෙහිදැයි කියා
යන්නූ ගිජ්ඣො යොජනසතං කුණපානි අවෙක්ඛති,
තස්මා ජාලඤ්ච පාසඤ්ච ආසජ්ජාපි නබුජ්ඣසි.