3. සුසීම ජාතකය (163)
කාළා මිගා සෙත දන්තා තව ඉමෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරයෙහි වැඩවාසය කරන සේක් වැඩිදෙනාගේ කැමැත්ත අනුව දුන් දානයක් මුල් කරගෙන වදාළ සේක. සැවැත්නුවර වාසීහු එක් දිනක එක් පවුලක් බුදුරජාණන් වහන්සේ ප්රධාන මහා සංඝයාට දන්දෙයි. කිසියම් දිනක සමූහ වශයෙන් බොහෝදෙනා එක්වී දන් දෙති. කිසියම් දිනෙක විථී වශයෙන්ද කිසිදිනක සියලු නගරවාසීන්ගේ කැමැත්ත අනුව දන් දෙත්. මේ කාලයෙහි සියලු නුවර වැස්සන්ගේ කැමැත්ත ඇතිව සියලු පිරිකර සහිත දානයක් සූදානම් කොට කොටස් දෙකකට බෙදී එක් පිරිසක් මේ සියලු පිරිකර දානය අන්ය තීර්ථකයන්ට දෙමුයි කීවාහුය. අනෙක් පිරිස බුදුරජුන් ප්රධාන භික්ෂු සංඝයාට දෙමුයි කීහ. මෙසේ නැවත නැවතත් මේ කථාව පවතිද්දී අන්ය තීර්ථක ශ්රාවකයෝ අන්ය තීර්ථකයන්ටත් බෞද්ධ ශ්රාවකයෝ බුදුන් ප්රධාන භික්ෂු සංඝයාටත් දෙමුයි කී කල්හි වැඩිදෙනාගේ කැමැත්ත අනුව බුද්ධ ප්රමුඛ මහා සංඝයාට දෙමු කියද්දී එයට කවුරුත් එකඟ වූහ. අන්ය තීර්ථක ශ්රාවකයෝ බුදුරජාණන් වහන්සේට දියයුතු දානයට අනතුරක් කරන්නට අසමත් වූහ. නුවරවාසීහු බුදුරජුන් ප්රධාන සංඝයාට ආරාධනාකොට සත්දිනක් මහදන් පවත්වා සත්වෙනි දින සියලු පිරිකර දුන්නාහුය. බුදුරජාණන් වහන්සේ අනුමෝදනාව කොට මහජනයාට මාර්ගඵල අවබෝධ කරවා දෙව්රමටම වැඩමකර භික්ෂු සංඝයා විසින් වත් දැක්වූ කල්හි ගඳකිළිය ඉදිරිපිට වැඩසිට සුගතෝවාදී (බුද්ධ අවවාද) දී ගඳකිළියට වැඩම කළ සේක.
සවස් භාගයෙහි භික්ෂූහු දම් සභාවට රැස්ව ඇවැත්නි, අන්ය තීර්ථක ශ්රාවකයෝ බුදුරජාණන් වහන්සේට දියයුතු දානයට බාධා කිරීමට උත්සාහ කළත් අනතුරක් කිරීම අපොහොසත් වූහ. ඒ සියලු පිරිකර දානය බුදුරජාණන් වහන්සේගේ පාමුලට ආවේය. අහෝ බුදු බලයක මහිමය යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, කවර කථාවකින් යුක්තව මෙහි සිටියාහුදැයි විචාරා මෙනම් කථාව ගැන යයි කී කල්හි, මහණෙනි, මේ අන්ය තීර්ථක ශ්රාවකයෝ මට දිය යුතු දානයට අනතුරු කිරීම දැනුත් උත්සාහ කරති. පෙරත් උත්සාහ කළාහුය. ඒ පිරිකර වනාහි හැමකල්හිම මගේ පාමුලටම පැමිණියේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර සුසීම නම් රජ කෙනෙක් සිටියේය. එකල බෝසතාණන් වහන්සේ රජතුමාගේ පුරෝහිතයාගේ බැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුගේ සොළොස් වයස් කාලයේදී පියා කලුරිය කළේය. ඒ පියා ජීවත්ව සිටි කාලයේදී රජුගේ ඇතුන් පිළිබඳ මංගල චාරිත්ර සිදු කරන්නා විය. ඇතුන්ට මංගල කටයුතු කරන ස්ථානයෙහි ගෙනෙන ලද උපකරණ බඩුද ඇතුන්ගේ ඇඳුම් පැළඳුම්ද සියල්ල ඔහුම ලැබුවේය. මෙසේ මොහුට එක් එක් මංගල අවස්ථාවකදී කෝටියක් පමණ ධනය උපදියි. ඉක්බිති එකල ඇතුන් සම්බන්ධ කරගෙන කරනු ලබන උත්සවය පැමිණියේය. සෙසු බමුණෝ රජු වෙත එළඹ මහරජ! ඇතුන් මඟුල් උළෙල පැමිණියේය. මංගල උත්සවය කරන්නට වටියි. පුරෝහිත බමුණාගේ පුතා ඉතා ලාබාලය. වේදත්රය නොදනී. ඇතුන් පිළිබඳව පිළිවෙත් (සූත්රය) නොදනී. අපි ඇත් මංගල්යය කරන්නෙමුයි කීවාහුය. රජතුමා යහපතැයි පිළිගත්තේය. බමුණෝ පෙරෙවි බමුණාගේ පුතාට ඇත් යාගය කරන්නට නොදී අපි ඇත් යාගය කොට ධනය ගන්නෙමුයි තුටු පහටුව හැසිරෙත්.
ඉක්බිති හතරවෙනි දින ඇත් මංගලය වන්නේ යයි බෝසත් බව ඒ පුවත අසා ඇත් මංගලය කිරීම නම් හත්මුතු පරපුර තෙක් අපගේ වංශයයි. අපගේ වංශයද පසුබසී. ධනයෙන්ද පිරිහෙන්නෙමුයි සෝක කරමින් හැඬුවාය. බෝධිසත්ත්වයන් වහන්සේ මෑණියනි! කුමක් නිසා අඬන්නෙහිදැයි විමසා ඒ සිද්ධිය අසා මෑණියනි! මම හත්ථි මංගලය කරන්නෙමියි කීහ. දරුව! නුඹ වේදත්රය නොදන්නෙහිය. හත්ථි සූත්රයද නොදන්නෙහිය. කෙසේ මංගල්යය කරන්නෙහිද? එවිට මෑණියනි! ඇත් යාගය කවදා කරන්නාහුද? පුතුනි! මින් දින හතරකින් එය සිදු වන්නේය. මෑණියනි! තුන්වේදය ඉගෙනගෙන හත්ථි සූත්රය දන්නා ගුරුවරු කොහි වාසය කරත්දැයි විමසීය. දරුව! එවැනි දිසාපාමොක් ඇදුරෙකු මෙයින් එක්සිය විසි යොදුනක් ඈත ගන්ධාර රටේ තක්ෂිලාවෙහි වාසය කරතියි කීවාය. මෑණියනි! අපේ වංශය නොනසන්නෙමි. හෙට එක දවසින්ම තක්සලාවට ගොස් එකරැයින්ම වේදත්රය හා හත්ථි සූත්රය ඉගෙනගෙන දෙවැනි දින ඇවිත් හතරවෙනි දින ඇත් මංගල්යය කරන්නෙමි. නොහඬන්නැයි මව සනසා බෝසතාණන් වහන්සේ පසුදින උදෙන්ම ආහාර ගෙන තනියම නික්මී එක් දිනකින්ම තක්සලා නුවරට ගොස් ගුරුවරයා හමුවී වැඳ එකත්පසෙක හිඳ ගත්තේය.