2. සන්ථව ජාතකය (162)
න සන්ථවස්මා පරමත්ථි පාපියො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් ගිනිදෙවියන් පිදීමක් මුල් කරගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථාව යට නංගුට්ඨ ජාතකයෙහි කියන ලද පරිදිමය. භික්ෂූහු ඔවුන් (ජටිලයන්) ගිනිදෙවියන් පුදනු දැක ස්වාමීනි! ජටිලයෝ නොයෙක් ආකාර වැරදි තපස් රකිති. මෙයින් අභිවෘද්ධියක් යහපතක් ඇද්දැයි බුදුරජාණන් වහන්සේගෙන් විචාළහ. උන්වහන්සේ මහණෙනි! එයින් කිසිම ප්රයෝජනයක් නැතැයි වදාළ සේක. පෙර නුවණ ඇති අය පවා ගිනි පිදීමෙහි අභිවෘද්ධියක් ඇතැයි යන හැඟීමෙන් කාලයක් ගිනි පුදා එම ක්රියාවෙහි අවැඩක්ම දැක ගින්න ජලයෙන් නිවා අතු ආදියෙන් පහර දී නැවත හැරී නොබැලූහයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහබෝසතාණන් වහන්සේ බමුණු කුලයෙහි උපන් සේක. මව්පියෝ ඔහු උපන්දින දැල්වූ ගිනි (ජාතග්ගි) රැගෙන ඔහු සොළොස් වයසට පැමිණි කල්හි මෙසේ කීහ. පුත, නුඹ උපන්දින දැල්වූ ගිනි රැගෙන කැලයෙහි ගිනි පුදන්නෙහිද? නැතිනම් ත්රිවේදය ඉගෙනගෙන පවුලක් පෝෂණය කරමින් ගිහිගෙයි වසන්නෙහිදැයි ඇසූහ. ඔහු මට ගිහිගෙයි විසීමෙන් ප්රයෝජනයක් නැත. වනයෙහි ගිනි පුදා බඹලොව උපදින්නෙමැයි උපන්දින දැල්වූ ගිනි රැගෙන මව්පියන් වැඳ කැලයට පිවිස පන්සලක වාසය කරමින් ගිනි පිදීය. ඔහු එක්දිනක් ආරාධිත තැනකට ගොස් ගිතෙල් සහිත කිරිබතක් ලැබ මේ කිරිබත මහා බ්රහ්මයාට පුදන්නෙමියි ඒ කිරිබත ගෙනවුත් ගිනි දල්වා පළමුකොට ගින්න මගින් බ්රහ්මයාට ගිතෙල් සහිත කිරිබත් වළඳවමියි කිරිබත ගින්නෙහි දැම්මේය. බොහෝ තෙල් ඇති කිරිබත ගින්නෙහි දැවූ කල්හිම ගින්න ඇවිලී උඩට නැගුණු ගිනිදැල්වලින් පන්සල දැවීය. බමුණා බියෙන් තැති ගත්තේ පලා ගොස් පිටත සිට අසත්පුරුෂයන් සමග ආශ්රය නොකළ යුතුයි. දැන් මේ ගින්නෙන් මා විසින් මහන්සියෙන් තැනූ පන්සල දවන ලදී යයි කියා,
න සන්ථවස්මා පරමත්ථි පාපියො, යො සන්ථවො කාපුරිසෙන හොති,
සන්තප්පිතො සප්පිනා පායසෙන, කිච්ඡා කතං පණ්ණකුටිං අදඩ්ඪහි.
සන්තප්පිතො සප්පිනා පායසෙන, කිච්ඡා කතං පණ්ණකුටිං අදඩ්ඪහි.
යන මේ පළමු ගාථාව කීවේය.
ගැරහිය යුතු පුරුෂයා සමග යම් සහවාසයක් වේද, ඒ සහවාසයට වඩා අධික වූ අන් නපුරෙක් නැත. කුමක් මෙන් ද යත් ගිතෙල් මුසු කිරිබතෙන් පුදනු ලැබූ ගින්න දුකසේ තනන ලද අතුපැල දැවීද? එහෙයිනි.
එහි, සන්ථවසමාති - තෘෂ්ණා ඇසුරටත් මිත්ර ඇසුරටත් යන දෙයාකාර ඇසුරට වඩා උසස් පාපතර වඩාත් පාපී වූ ලාමකතර (වඩාත් ලාමක වූ) අනිත් ඇසුරක් නැත යන අර්ථයි. යො සන්ථවො කාපුරිසෙන යනු පවිටෙකු සමග ගැරහිය යුතු වූ අයෙකු සමග ඇතිකර ගන්නා වූ යම් මේ දෙයාකාර ඇසුරක් වේද එම ආශ්රයට වඩා පව්කාර අනික් ආශ්රයක් නැත. කුමක් නිසාද? සන්තප්පිතො -පෙ- අදඩ්ඪමි යනු යම් හෙයකින් ගිතෙල් කිරිබතින් සපතන ලද මේ ගින්න මා විසින් මහන්සියෙන් කරන ලද අසපුව දවන ලද ද එහෙයිනි යන අර්ථයයි.
බමුණා මෙසේ කියා මිත්රද්රෝහී නුඹගෙන් මට ප්රයෝජනයක් නැතැයි ඒ ගින්න ජලයෙන් නිවා අතුවලින් තලා හිමාල වනය අභ්යන්තරයට පිවිසෙන්නේ අතරමග සිංහයෙකු, ව්යාඝ්රයෙකු, දිවියෙකු යන තුන්දෙනාගේ මුහුණ ලෙව ලෙව සිටි සාමා මුවදෙනක දැක සත්පුරුෂයන් සමග කරන ආශ්රයට වඩා අතිශයින් ශ්රේෂ්ඨ ඇසුරක් නැතැයි සිතා
න සන්ථසවස්මා පරමත්ථි සෙය්යො, යො සන්ථවො සප්පුරිසෙන හොති,
සීහස්ස ව්යග්ඝස්සච දීපිනොච, සාමා මුධං ලෙහති සන්ථවෙනාති.
සීහස්ස ව්යග්ඝස්සච දීපිනොච, සාමා මුධං ලෙහති සන්ථවෙනාති.
යන මේ දෙවන ගාථාව කීවේය.
සත්පුරුෂයා හා යම් සහවාසයෙක් වේද ඒ සහවාසයට වඩා අධික වූ අන් උතුම් භවෙක් නැත. (කුමක් හෙයින්ද යත්) සහවාසය කරණ කොටගෙන සාමා මෘගධේනුව සිංහයාගේ ව්යාඝ්රයාගේද දිවියාගේද මුහුණ ලෙවීම මෙනි.
තත්ථ - එහි, සාමා මුඛං ලෙහති සන්ථවෙනා යනු - සාමා මෘග ධේනුව මේ තිදෙනාගේ ආශ්රයෙන් ස්නේහයෙන් මුහුණ ලෙව කන්නීයයි.
මෙසේ කියා බෝසතාණන් වහන්සේ හිමාලය වනය තුළට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදිව පඤ්ච අභිඥා ද අෂ්ට සමාපත්ති ද උපදවාගෙන ජීවිතයාගේ කෙළවර බඹලොව උපන්නෝය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල තාපසයා මම ම වූයෙමි යි වදාළ සේක.
3. සුසීම ජාතකය (163)
කාළා මිගා සෙත දන්තා තව ඉමෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරයෙහි වැඩවාසය කරන සේක් වැඩිදෙනාගේ කැමැත්ත අනුව දුන් දානයක් මුල් කරගෙන වදාළ සේක. සැවැත්නුවර වාසීහු එක් දිනක එක් පවුලක් බුදුරජාණන් වහන්සේ ප්රධාන මහා සංඝයාට දන්දෙයි. කිසියම් දිනක සමූහ වශයෙන් බොහෝදෙනා එක්වී දන් දෙති. කිසියම් දිනෙක විථී වශයෙන්ද කිසිදිනක සියලු නගරවාසීන්ගේ කැමැත්ත අනුව දන් දෙත්. මේ කාලයෙහි සියලු නුවර වැස්සන්ගේ කැමැත්ත ඇතිව සියලු පිරිකර සහිත දානයක් සූදානම් කොට කොටස් දෙකකට බෙදී එක් පිරිසක් මේ සියලු පිරිකර දානය අන්ය තීර්ථකයන්ට දෙමුයි කීවාහුය. අනෙක් පිරිස බුදුරජුන් ප්රධාන භික්ෂු සංඝයාට දෙමුයි කීහ. මෙසේ නැවත නැවතත් මේ කථාව පවතිද්දී අන්ය තීර්ථක ශ්රාවකයෝ අන්ය තීර්ථකයන්ටත් බෞද්ධ ශ්රාවකයෝ බුදුන් ප්රධාන භික්ෂු සංඝයාටත් දෙමුයි කී කල්හි වැඩිදෙනාගේ කැමැත්ත අනුව බුද්ධ ප්රමුඛ මහා සංඝයාට දෙමු කියද්දී එයට කවුරුත් එකඟ වූහ. අන්ය තීර්ථක ශ්රාවකයෝ බුදුරජාණන් වහන්සේට දියයුතු දානයට අනතුරක් කරන්නට අසමත් වූහ. නුවරවාසීහු බුදුරජුන් ප්රධාන සංඝයාට ආරාධනාකොට සත්දිනක් මහදන් පවත්වා සත්වෙනි දින සියලු පිරිකර දුන්නාහුය. බුදුරජාණන් වහන්සේ අනුමෝදනාව කොට මහජනයාට මාර්ගඵල අවබෝධ කරවා දෙව්රමටම වැඩමකර භික්ෂු සංඝයා විසින් වත් දැක්වූ කල්හි ගඳකිළිය ඉදිරිපිට වැඩසිට සුගතෝවාදී (බුද්ධ අවවාද) දී ගඳකිළියට වැඩම කළ සේක.