9. විසවන්ත ජාතකය (69)
“ධිරත්ථුතං විසංවන්තං” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන්නාහු, දම් සෙනෙවි සැරියුත් තෙරණුවන් අරබයා දෙසූහ. සැරියුත් තෙරණුවන් පිටිකැවිලි වළඳන කාලයෙහි මිනිස්සු සංඝයා උදෙසා බොහෝ පිටිකැවිලි ගෙන විහාරයට ගියාහුය. මහසඟන පිළිගත් පසු බොහෝ ඉතිරිවිය. මිනිස්සු, ස්වාමීනි, ඇතුළු ගමට ගිය භික්ෂු සංඝයා උදෙසා ද පිළිගන්නැ යි කීවාහුය. එවෙලාවෙහි තෙරණුවන්ගේ ශිෂ්‍ය ළදරු භික්ෂුවක් ඇතුළු ගමෙහි වෙයි. ඔහුගේ කොටස ගෙන ඔහු නො පැමිණි නිසා වේලාව ඉක්මෙතැ යි සිතා තෙරණුවන්ට දුන්හ. තෙරණුවෝ ඒ වැළඳූ කල්හි ළදරු භික්ෂුව පැමිණියේය. තෙරණුවෝ ඔහුට ඇවැත්නි, අපි ඔබ සඳහා තැබූ කොටස වැළඳුවෙමු යි කීහ. එවිට ළදරු භික්ෂුව, ස්වාමීනි, ඉතා මිහිරි ද? කවරකුට මිහිරි දෙය අප්‍රිය වේදැ යි කීය. තෙරණුවන්ට සංවේගය ඇතිවිය. තෙරණුවෝ එතැන් සිට පිටි ආහාර වර්ග නො වළඳමි යි ඉටා ගත්හ. එතැන් සිට තෙරණුවන් විසින් පිටිකැවිලි නො වළඳන වීරීය. උන් වහන්සේ පිටි කැවිලි නො වළඳන බව භික්ෂූන් අතර ප්‍රකට විය. ඔවුහු දම් සබාවෙහි ද මේ පිළිබඳ ව කථා කැරෙමින් හුන්හ. බුදු රජහු මහණෙනි, කවර කථාවකින් දැන් හුන්නාහුදැ යි විචාරා, මෙනම් කථාවකින්යැ යි කී කල්හි, මහණෙනි, සැරියුත්හු එක්වරක් හළදෙය ජීවිතය අත්හළ ද නැවත නො ගනිතැ යි වදාරා ඉකුත් කථාව ගෙන හැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු විෂ වෛද්‍ය කුලයක ඉපිද වෙදකමින් දිවි ගෙවූහ. එකල සර්පයෙක් පිටිසර වැසියකුට දෂ්ට කළේය. ඔහුගේ ඤාතීහු ඔහු නො පමා ව වෛද්‍යවරයා වෙත ගෙන ගියහ. වෛද්‍යවරයා කිම, බෙහෙත් උපයෝගී කොට විෂ හරීම් ද, නැතිනම් සපාකෑ සර්පයා මෙහි ගෙන්වා ඌ ලවා විෂ උරා ඉවත් කැරවන්නේදැ යි සිතන්නේ, ඔහු සර්පයා ගෙන්වා තා විසින් මොහු දෂ්ට කරන ලද්දේදැ යි ඇසීය. එසේය. මා විසිනි. තෝ ඩැහැගත් තැනින් මුව තබා විෂ උරව. එවිට සර්පයා මවිසින් බැහැර කළ විෂ නැවත නො ඉරූ විය. නැවත වෛද්‍යවරයා විසින් ගෙන්වන ලදුව, දර ගිනි දල්වා මෙසේ කීය. ඉදින්, තෝ විෂ බැහැර නො කරන්නේ නම් ගින්නට පිවිසෙව. සර්පයා ද මම හළ විෂ නො උරමි. තමා එක් වරක් හළ විෂ පසු ව වමනය නො කරමි යි කියා මේ ගාථාව කීය.
“ධිරත්ථු තං විසං වන්තං යමහං ජීවිතකාරණා,
වන්තං පච්චාවමිස්සාමි මතම්මෙ ජීවිතා වරන්ති”
වන්තං පච්චාවමිස්සාමි මතම්මෙ ජීවිතා වරන්ති”
“යම් විෂයක් අත්හරින ලද්දේ ද?, වමනය කළ ඒ විෂ ජීවිත පැවැත්ම සඳහාවත් නැවත හැරගැනීම් වේ ද ඒ විෂට නින්දා වේවා.”
එහි, “ධිරත්ථු” යනු ගැරහීම අර්ථයෙහි නිපාතයි. “තං විසන්ති යමයං ජීවිතකාරණා”, ඒ විෂ ජීවිතයේ පැවැත්ම සඳහා වමනය කළ විෂ, “පච්චාවමිස්සාමි” ඒ වමනය කළ විෂට නින්දා වේවා. “මතම්මෙ ජීවිතා වරන්ති” ඒ විෂ පසු ව වමනය නො කිරීම හේතුවෙන් ගින්නට පිවිස මරණයක් වේ ද, ඒ මරණය ජීවත් වීමට වඩා උතුම් වේ යන අර්ථයි.
මෙසේ ද කියා සර්පයා ගින්නට පිවිසීමට ගියේය. එවිට වෛද්‍යවරයා වළකා දෂ්ට කරන ලද මිනිසා බෙහෙත් මන්ත්‍ර විධිවලින් විෂ රහිත කොට නීරෝගී කොට සර්පයාට සිල් දී මින්පසු කිසිවකුට දෂ්ට නො කරවයි අත් හළේය.
මහණෙනි, සැරියුත් වරක් අත්හළ දෙය දිවිය තතත් නැවත නො ගන්නේයැ යි ධර්ම දේශනය ගෙනහැර දක්වා අනුසන්ධි ගළපා ජාතකය නිම කළහ. එදා සර්පයා සැරියුත් තෙරණුවෝ වූහ. වෛද්‍යවරයා මම ම වීමි.
10. කුද්දාල ජාතකය (70)
“න තං ජිතං සාධු ජිතන්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙරෙහි වසන්නාහු, චිත්තහත්ථ සාරිපුත්ත තෙරණුවන් අරබයා වදාළහ. ඔහු වනාහි සැවැත් නුවර එක් කුල දරුවෙකි. එක් දවසක් ඔහු සී සා එන්නේ විහාරයට ගොස් එක් තෙර නමකගේ පාත්‍රයෙන් සිනිඳු, මියුරු, ප්‍රණීත අහර ලැබ මෙසේ සිතීය. අපි, රෑ දවල් සියතින් නොයෙක් කර්මාන්ත කරන නමුදු මෙවැනි මිහිරි ආහාරයක් නො ලබමු. මා ද පැවිද්දකු විය යුතුය. පැවිදි ව එක මසක් ඇවෑමෙන් නුනුවණින් සිතන්නේ, ක්ලේශයන්ට වසඟ වූවෙක් වී සිවුරු හැර නැවත ආහාරයෙන් ක්ලාන්ත වන්නේ, අවුත් පැවිදි ව අභිධර්මය උගත්තේය. මේ ආකාරයෙන් සය වරක් උපැවිදි ව පැවිදි වූයේය. ඉක්බිති, සත් වැනි භික්ෂු භාවයෙහි සිට සප්ත ප්‍රකරණය ප්‍රගුණ කරන්නෙක් වී බොහෝ භික්ෂූන්ට ධර්මය උගන්වමින් විදසුන් වඩා රහත් ඵලයට පැමිණියේය. එකල්හි ඔහුගේ යහළු භික්ෂූහු ඇවැත්නි චිත්තය, කිම, ඔබ පෙර මෙන් ගිහි වීමට සුදුසු නො වෙයි.
මෙසේ මේ තෙරණුවන් රහත් බවට පැමිණි කල්හි දම් සභාවෙහි මේ කථාව මතුවිය. ඇවැත්නි, මෙබඳු රහත් වීමට හේතු සම්පත් ඇති කල්හිත් චිත්තහත්ථ සාරිපුත්ත තෙරණුවන් සයවරක් උපැවිදි වූහ. අනේ! පුහුදුන් බව මහත් දෝෂයකි. බුදු රජහු වැඩමවා මහණෙනි, දැන් මෙහි කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, පුහුදුන් සිත නම් වහා වෙනස් වන්නේය. පාලනය කැර ගැනීම අපහසුය. අරමුණු වශයෙන් ගොස් ඇලෙයි. එක වරක් ඇලුණු දෙය අත් හැරීමට අපහසු වන්නේය. මෙබඳු සිත දමනය කැරගැනීම යහපත් වන්නේය. දමනය කැරගත් ඒ සිත සැප එළවයි.