10. කුද්දාල ජාතකය (70)
“න තං ජිතං සාධු ජිතන්ති” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙරෙහි වසන්නාහු, චිත්තහත්ථ සාරිපුත්ත තෙරණුවන් අරබයා වදාළහ. ඔහු වනාහි සැවැත් නුවර එක් කුල දරුවෙකි. එක් දවසක් ඔහු සී සා එන්නේ විහාරයට ගොස් එක් තෙර නමකගේ පාත්‍රයෙන් සිනිඳු, මියුරු, ප්‍රණීත අහර ලැබ මෙසේ සිතීය. අපි, රෑ දවල් සියතින් නොයෙක් කර්මාන්ත කරන නමුදු මෙවැනි මිහිරි ආහාරයක් නො ලබමු. මා ද පැවිද්දකු විය යුතුය. පැවිදි ව එක මසක් ඇවෑමෙන් නුනුවණින් සිතන්නේ, ක්ලේශයන්ට වසඟ වූවෙක් වී සිවුරු හැර නැවත ආහාරයෙන් ක්ලාන්ත වන්නේ, අවුත් පැවිදි ව අභිධර්මය උගත්තේය. මේ ආකාරයෙන් සය වරක් උපැවිදි ව පැවිදි වූයේය. ඉක්බිති, සත් වැනි භික්‍ෂු භාවයෙහි සිට සප්ත ප්‍රකරණය ප්‍රගුණ කරන්නෙක් වී බොහෝ භික්‍ෂූන්ට ධර්මය උගන්වමින් විදසුන් වඩා රහත් ඵලයට පැමිණියේය. එකල්හි ඔහුගේ යහළු භික්‍ෂූහු ඇවැත්නි චිත්තය, කිම, ඔබ පෙර මෙන් ගිහි වීමට සුදුසු නො වෙයි.
මෙසේ මේ තෙරණුවන් රහත් බවට පැමිණි කල්හි දම් සභාවෙහි මේ කථාව මතුවිය. ඇවැත්නි, මෙබඳු රහත් වීමට හේතු සම්පත් ඇති කල්හිත් චිත්තහත්ථ සාරිපුත්ත තෙරණුවන් සයවරක් උපැවිදි වූහ. අනේ! පුහුදුන් බව මහත් දෝෂයකි. බුදු රජහු වැඩමවා මහණෙනි, දැන් මෙහි කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකින්යැ යි කී කල්හි මහණෙනි, පුහුදුන් සිත නම් වහා වෙනස් වන්නේය. පාලනය කැර ගැනීම අපහසුය. අරමුණු වශයෙන් ගොස් ඇලෙයි. එක වරක් ඇලුණු දෙය අත් හැරීමට අපහසු වන්නේය. මෙබඳු සිත දමනය කැරගැනීම යහපත් වන්නේය. දමනය කැරගත් ඒ සිත සැප එළවයි.
“දුන්නිග්ගස්ස ලහුනො යත්‍ථ කාමනිපාතින,
චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහං”
“පාලනය කිරීමට අපහසු වූ ඉක්මන් ගමන් ඇත්තා වූ කැමැති තැනක එල්බ ගන්නා වූ සිත දමනය කිරීම යහපති. දමනය කළ සිත සැප එළවන්නේය.”
මේ සිතෙහි පාලනය කිරීම අපහසු නිසා පෙර පඬිවරු එක් උදැල්ලක් නිසා එය අත් හැරීමට නො හැකි ව එහි ආශාව නිසා සයවරක් උපැවිදි ව සත් වැනි වර පැවිදි වූ කල්හි ධ්‍යාන උපදවා ඒ ලෝභයට නිග්‍රහ කළහ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරද්දී බෝසතාණන් වහන්සේ පලා විකුණන කුලයෙහි ඉපදී වැඩිවියට පැමිණියේය. කුද්දාල පණ්ඩිතයා යි මොහුට නමක් විය. උදැල්ලෙන් පොළොව සකස්කොට පලා, ලබු, කොමඩු, පුහුල්, කැකිරි ආදිය වපුරා ඒවා විකිණීමෙන් දුගී ජීවිතයක් ගෙවීය. ඔහුට උදැල්ල හැර වෙන ධනයක් නොවීය. ඔහු එක් දිනක් මෙසේ සිතීය. මට ගිහි ගෙයි විසීමෙන් කවර ප්‍රයෝජනයක් ද? ගිහි ගෙයින් නික්මී පැවිදි වන්නෙමි. ඉක්බිති, එක් දවසක් උදැල්ල සැඟවුණු තැනක තබා තාපස පැවිද්දෙන් පැවිදි ව ඒ උදැල්ල නැවත සිහිකොට ආශාව සිඳීමට නො හැකි ව වකුටු උදැල්ල නිසා උපැවිදි විය. මෙසේ දෙවැනි තෙවැනි වාර වශයෙන් හය වරක් ඒ උදැල්ල සඟවා තබා පැවිදි වූයේ ද උපැවිදි වූයේ ද විය.
සත් වැනි වර මෙසේ සිතීය. මම මේ වකුටු උදැල්ල නිසා නැවත නැවත උපැවිදි වීමි. දැන් මම උදැල්ල ගඟට දමා පැවිදි වන්නෙමි. ගංතෙරට ගොස් ඉදින් ඒ උදැල්ල වැටුණු තැන දකින්නේ නම් නැවත අවුත් ගොඩ ගනු කැමැති බවක් වන්නේය. ඒ උදැල්ල මිටෙන් ගෙන ඇතකුගේ ශක්තිය ඇති ඔහු හිස වටා තුන්වරක් කරකවා ඇස් වසා ගඟ මැදට විසිකොට මා විසින් දිනන ලද්දේයැ යි තුන් වරක් සිංහ නාද කෙළේය. එකෙණෙහි බරණැස් රජ පසල් දනව්වක් සංසිඳුවා පැමිණියේ ගඟෙන් දිය නා සියලු ආභරණයෙන් සැරසී ඇතුපිටින් යන්නේ, ඒ බෝසතුන්ගේ ශබ්දය අසා මේ පුරුෂයා මා විසින් දිනන ලදැ යි කියයි. මොහු විසින් දිනන ලද්දේ කුමක් ද? ඔහු කැඳවනු. ඔහු කැඳවා පින්වත් පුරුෂය, මම වනාහි දිනන ලද සංග්‍රාම ඇති ව දැන් ජය ගෙන එමි. නුඹ විසින් කුමක් දිනන ලදදැ යි විචාළේය. බෝසතාණන් වහන්සේ, මහරජ, නුඹ විසින් යුද්ධ දහසක්, ලක්‍ෂයක් දිනුවත් එය දිනන ලද්දක් නො වේ. කෙළෙස් නො දිනන ලද බැවිනි. මම වනාහි මගේ ඇතුළත (සිතෙහි, ලෝභය යටපත් කරමින් කෙළෙස් දිනුවෙමි යි කියමින් ම ගඟ දෙස බලා ආපෝ කසිණය අරමුණු කොටගෙන ධ්‍යාන උපදවා ලබන ලද ආනුභාව ඇත්තේ, අහසෙහි හිඳ රජුට දහම් දෙසමින් මේ ගාථාව කීවේය.