1. එකක නිපාතය
1. අපණ්ණක වර්‍ගය
1. අපණ්ණක ජාතකය (1)
පළමු කොට මෙම අපණ්ණක ධර්ම දේශනාව භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩවසන කල්හි දේශනා කළ සේක. කවරකු අරබයා මෙම කථාව පැන නැඟුනේ ද යත්, අනේ පිඬු මහා සිටුහුගේ යහළු පන්සියයක් තීර්ථක සව්වන් අරබයාය. එක් දවසක් අනේ පිඬු සිටු තෙමේ තමාගේ යහළු පන්සියයක් අන්තොටු සව්වන් රැගෙන මල්, ගඳ විලවුන්, තෙල්, මී පැණි, හකුරු, හඳිනා වස්ත්‍ර ගෙන්වා ගෙන දෙව්රමට ගොස් බුදු රජුන් වැඳ මල්දම් ආදියෙන් පුදා බෙහෙත් හා වස්ත්‍ර භික්‍ෂු සංඝයාට පිළිගන්වා හිඳීමේ සදෝෂයන් හැර එක්පසෙක හුන්නේය. අන්තොටු සව්වෝ ද තථාගතයන් මැද උන් වහන්සේගේ පුන් සඳ මඬල වැනි මුහුණ ද මහා ලකුණු, කුඩා ලකුණුවලින් සැදුම් ලත් බඹයක් පමණ පැහැයෙන් වට වූ උතුම් රූප කාය ද යුගල ව නික්මෙන බුදු රැස් මාලාව ද බලමින් අනේ පිඬු සිටුහුගේ ළඟින් ම හිඳගත්හ.
ඉක්බිති, ඔවුන් රන් ගල් තලාවක සිට සිංහනාද කරන තරුණ සිංහයෙක් මෙන් ද ගෙරවුම් සහිත වැසි වලාකුළක් මෙන් ද අහස් ගඟ පහළට ගලා බස්නාක් මෙන් ද රුවන් දමක් ගොතන්නාක් මෙන් ද අටහින් යුත් අවර්ණීය වූ කමනීය වූ බ්‍රහ්මස්වරයෙන් නොයෙක් ක්‍රමයෙන් විසිතුරු මිහිරි දම් දෙසුමක් කළහ. ඔවුහු බුදු රජුන්ගේ දම් දෙසුම අසා පහන් සිතින් නැඟි බුදු රජුන් වැඳ අන්‍ය තීර්ථක සරණ අත්හැර බුදු රජුන් සරණ ගියහ. ඔවුහු එතැන් සිට නිතර අනේපිඬු සිටු සමග සුවඳ මල් ආදිය ගෙන වෙහෙරට ගොස් බණ අසත්. දන් දෙත්. සිල් රකිත්. පෙහෙවස් සමාදන් වෙත්.
පසු කලෙක බුදුන් වහන්සේ සැවැත් නුවර සිට නැවත රජගහ නුවරට වැඩි සේක. ඔවුහු බුදු රජුන් වැඩි තැන් පටන් බුදු සරණ අත්හැර නැවත තීර්ථකයන් සරණ ගොස් තමන්ගේ මුල් තැන ම පිහිටියහ. බුදුන් වහන්සේ ද සත් අට මසක් රජගහ නුවර ගත කොට නැවතත් දෙව්රමට වැඩි සේක. අනේපිඬු සිටුහු නැවත ඔවුන් රැගෙන බුදු රජුන් වෙත එළැඹ සුවඳ ආදියෙන් බුදුන් වැඳ එකත්පසෙක හුන්හ. ඔවුහු ද වැඳ එකත්පසෙක හුන්හ. බුදු රජුන් චාරිකාවෙහි වැඩි කල්හි ඔවුන් ගත් බුදුසරණ හැර නැවත අනික් තීර්ථක සරණ ගෙන මුල්තන්හි පිහිටි බව බුදු රජුන්ට දැන්වූහ.
බුදුන් වහන්සේ අප්‍රමාණ කෙළ ගණන් කල්පවල නිරතුරු ව පුරුදු කළ වාක් සුචරිතයෙහි බලයෙන් දිව සුවඳින් සුවඳවත් වූ නොයෙක් සුවඳින් පිරුණු රන් කරඬුවක් විවර කරන්නාක් මෙන් මුව පියුම විවර කොට මිහිරි හඬ නිකුත් කරමින් උපාසකවරුනි, ඔබ තුන් සරණ හැර තීර්ථකයන් සරණ ගියාහුදැ යි විචාළහ. ඔවුන් සැඟවීමට නො හැකි ව එසේය, භාග්‍යවතුන් වහන්ස යැයි කී කල්හි, උපාසකවරුනි, යටින් අවීචි නිරයත් උඩින් භවාග්‍රයත් පිරිසිඳ කොට සිරසට අපරිමාණ ලෝකධාතූන්හි ශීලාදී ගුණයෙන් බුදු රජුන් සමාන කෙනකු නැත. ඊට වඩා වැඩි කෙනකු කොයි ද? “යාවතා භික්ඛවෙ සත්තා අපදා වා -පෙ- තථාගතො තෙසං අග්ගමක්ඛායති යං කිඤ්චි චිත්තං ඉධවා හුරං වා -පෙ- අග්ගතො වෙ පසන්නානන්ති.” මේ ආදී සූත්‍රවලින් ප්‍රකාශිත පරිදි, මෙසේ උතුම් ගුණයන්ගෙන් යුත් රත්නත්‍රය සරණ ගිය උවැසි උවැසියෝ අපායෙහි උපදින්නෝ නම් නො වෙත්. ඔවුහු අපාය උපතින් මිදී දෙව්ලොව ඉපිද මහත් සැප විඳිත්. එම නිසා මෙබඳු සරණ හැර අන්‍ය තීර්ථකයන් සරණ යන ඔබ විසින් අයුත්තක් කරන ලද්දේයැ යි වදාළහ.