7. ස්ත්‍රී වර්‍ගය
1. අසාතමන්ත ජාතකය (61)
“අසා ලොකිත්‍ථියො නාමාති” යන යන මේ දේශනාව බුදුරජහු ජේතවනාරාමයෙහි වැඩ වසන සේක්, උකටලී භික්‍ෂුවක් අරභයා වදාළහ. එහි කථාව උම්මදන්ති ජාතකයෙහි මතු සඳහන් වන්නේය. ඒ භික්‍ෂුවගෙන් බුදුරජහු මහණ, ස්ත්‍රීහු නම් වංක ගති ඇත්තෝය. ඔවුන්ගෙන් සැප නැත්තෝය. කෙළවර සිටින්නෝය. නුඹ මෙවැනි පහත් ගති ඇති ස්ත්‍රියක නිසා කුමකට කලකිරුණේදැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසත්හු ගන්‍ධාර රට තක්ෂලාවෙහි බමුණු කුලයක ඉපද වැඩිවියට පත්වූවෝ, තුන් වේදයෙහි ද සියලු ශිල්පයන්හි ද කෙළවරට පැමිණියාහු, දිසාපාමොක් ඇදුරු වූහ. එකල බරණැස් නුවර බමුණු කුලයක පුතකු උපන් දිනයෙහි ගිනි දල්වා නො නිවෙන සේ තැබූහ. ඉන්පසු ඒ බමුණු කුමරා සොළොස් වියට පැමිණි කල්හි මව්පියෝ මෙසේ කීහ. පුත්‍රය, අපි ඔබ උපන් දිනයේ ගිනි දල්වා තැබුවෙමු. ඉදින්, ඔබ බඹලොව යනු කැමැති නම් ඒ ගිනි ගෙන වනයට පිවිස ගිනි දෙවියන් නමදිමින් බඹලොවට යව. ඉදින්, ගිහි ගෙයි වසනු කැමැති නම් තක්සලාවට ගොස් දිසාපාමොක් ඇදුරුතුමා ළඟ ශිල්ප හදාරා පවුල් ජීවිතය සකසනු මැනවි. මානවකයා මට වනයෙහි ගිනි පිදීමට නො හැක්කෙමි. ගෘහ ජීවිතය ම සකස් කැර ගනිමි යි මව්පියන් වැඳ ගුරු පඬුරු වශයෙන් දහසක් ගෙන තක්සලාවට ගොස් සිප් සතර හදාරා ආපසු ආවේය.
මව්පියෝ ඔහුට ගිහි ගෙයින් වැඩක් නැත. වනයෙහි ගිනි දෙවියන් පුදවනු කැමැත්තෝ වූහ. ඉක්බිති, ඔහුගේ මව ස්ත්‍රීන්ගේ දොස් දක්වා වනයට යවනු කැමැත්තී, ඒ ඇදුරුතුමා නැණවත්ය. දක්‍ෂය, මගේ පුතුට ස්ත්‍රීන්ගේ දොස් දැක්වීමට සමත් වන්නේයැ යි සිතා මෙසේ කීවාය. දරුව, ඔබ විසින් ශිල්ප හදාරන ලද්දේ ද? මෑණියනි, එ සේය. දරුව, ඔබ විසින් අසාත මන්ත්‍රය හදාරන ලද්දේ ද? නැත මෑණියනි, දරුව, ඔබ අසාත මන්ත්‍රය නො හදාළේ නම් කවර ශිල්පයක් හදාළේ ද? යව, එය හදාරා එවයි. මානවකයා ද මැනවැ යි පිළිගෙන නැවත තක්සලා දිශාවට ගියේය. ඒ දිසාපාමොක් ඇදුරුතුමාගේ මව, මැහැළියකි. එකසිය විසි වයස් ඇත්තීය. ඒ ඇදුරුතුමා ඇය සියතින් නාවා කවමින් පොවමින් පිළිදැගුම් කරයි. අනිත් මිනිස්සු මෙසේ කරන මහ පිළිකුල් කරත්. ඔහු මෙසේ සිතීය. මම වනයට පිවිස එහි දී මගේ මවට පිළිදැහැමි කරමින් වසන්නේ නම් මැනවි. ඉක්බිති, ඔහු හුදෙකලා ජල පහසුව ඇතිවන පියසක පන්සලක් කැරවා ගිතෙල් සහල් ආදිය ගෙන්වා මව ඔසවාගෙන එහි ගොස් මවට පිළිදැගුම් කැරෙමින් වාසය කෙළේය.
ඒ මානවකයා ද තක්සලාවට ගොස් ගුරුතුමන් නො දක්නේ එතුමා කොහිදැ යි විචාරා එපවත් අසා, ඔහු වෙසෙන වන පියසට ගොස් වැඳ සිටියේය. එවිට ඇදුරු, දරුව, කුමක් නිසා ඉතා ඉක්මණින් ආපසු ආයෙහි ද? ගුරුතුමනි, ඔබතුමා මට අසාත මන්ත්‍රය නො ඉගැන්නුවෙහිය. දරුව, අසාත මන්ත්‍ර ඉගෙන ගත යුත්තක් කොට ඔබට කියන ලද්දේ කවරෙක් ද? ඇදුරුතුමනි, මගේ මවය. බෝසත්හු මෙසේ සිතූහ. ආසාත මන්ත්‍රයයැ යි දෙයක් නැත. මොහුගේ මව ස්ත්‍රී දෝෂයන් මොහුට දන්වනු කැමැති වූවා වන්නීය. දරුව, මැනවි. මම ඔබට අසාත මන්ත්‍රයත් දෙමි. ඔබ අද සිට මගේ තැන සිට මගේ මව සියතින් නහවමින් කවමින් පොවමින් උවටැන් කැරව. ඇගේ අත්, පා, හිස, පිට පිරිමැදීම් ආදිය කරන කල්හි, ආර්යාවනි, වයස්ගත වූ පසුත් ඔබගේ මේ රූපය මෙසේ නම් තරුණ කාලයේ දී කෙබඳු වී ද? එසේ ම අත් පා මෙහෙවර කරන කල්හි අත් පා ආදිය වර්ණනා කැරව. තව ද, ඒ අතර මගේ මව යමක් කියන්නේ ද එය ද ලජ්ජා නො වී නො සඟවමින් මට කියව. මෙසේ කළ කල්හි අසාත මන්ත්‍ර ලබන්නෙහිය. එ සේ නො කළහොත් නො ලබන්නෙහියැ යි කීවේය. මානවකයා ඇදුරුතුමනි, මැනවැ යි ඔහුගේ වචනය පිළිගෙන එතැන් පටන් කියන ලද පරිදි ඒ සියල්ල කෙළේය.