8. සාකේත ජාතකය (68)
“යස්මිං මනො නිවිසතී” යන මේ ජාතක දේශනාව බුදු රජහු සාකේත නුවර ඇසුරු කොට අඳුන් වනයෙහි වැඩවසන සේක්, එක්තරා බමුණකු අරබයා දෙසූහ. බුදු රජහු මහසඟන පිරිවරා සාකේත නුවර ඇසුරු කොට අඳුන් වනයට පිවිසෙන කල්හි, සාකේත නුවර වැසි එක්තරා මහළු බමුණෙක් නුවරින් බැහැරට යන්නේ, දොරටුව අබියෙස බුදු රජුන් දැක පාමුල වැටී ගොප්මස දැඩි ව අල්ලාගෙන දරුව මව්පියන් මහළු දුබල වූ කල්හි පුතුන් විසින් බලාගත යුත්තේ නො වේ ද? කුමක් නිසා මෙතෙක් කලක් අපට තමන් නො දැක්වුවෙහි ද? මා විසින් නම් අද ඔබ දන්නා ලද්දෙහිය. ඔබ මව්තුමිය දැකීමට එනු මැනවැ යි බුදු රජුන් රැගෙන තම ගෙදරට ගොස් බුදු රජහු එහි පැනවූ අසුනෙහි වැඩ හුන්හ. බැමිණිය ද පැමිණ බුදුන් පාමුල වැටී දරුව, මෙතෙක් කල් කොහි ගියෙහිද? මහළු මව්පියෝ උවටැන් කළ යුත්තෝ නො වෙත්දැ යි වැළපුණාය. දූදරුවන් ලවා ද එව්, සොහොයුරා වඳින්නැ යි බුදුන් වැන්දවූහ. දෙදෙනා ම සතුටු ව මහදන් දුන්හ. බුදු රජහු මෙත්සිත නිමවා ඒ දෙදෙනාට ම ජරා සූත්‍රය දෙසූහ. දේශනා සූත්‍රය අවසානයෙහි ඒ දෙදෙනා ම අනාගාමී ඵලයෙහි පිහිටියහ. බුදු රජහු ද වැඩසිටි අසුනින් නැඟිට අඳුන් වනයට වැඩියහ.
භික්‍ෂූහු දම් සභාවෙහි රැස්ව කථාවක් ඉපදවූහ. ඇවැත්නි, බමුණා බුදු රජුන්ගේ මව්පියන් සුද්ධෝදන, මහාමායා දෙදෙන බව දනී. එසේ දැන දැනත් බැමිණිය සමග බුදු රජුන් අපගේ පුත්‍රයා යි කියයි. බුදුහු ද ඒ ඉවසති. හේතුව කිම ද? මේ කථාව ඇසූ බුදුහු, මහණෙනි, ඒ දෙදෙනා ම තමන්ගේ පුත්‍රයාට ම පුත්‍රයා යි කියති යි ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
මහණෙනි, මේ බමුණා අතීතයෙහි අතරක් නැති ව පන්සියයක් අත් බැව්හි එසේ පියා වූයේය. පන්සියයක් අත්බැව්හි සුළු පියා විය. පන්සියයක් අත්බැව්හි මහපියා විය. මේ බැමිණිය ද අතරක් නැති ව පන්සියයක් අත්බැව්හි මව වූවාය. පන්සියයක් අත්බැව්හි සුළු මව වූවාය. පන්සියයක් අත්බැව්හි මහමව වූවාය. මෙසේ මම එක්දහස් පන්සියයක් අත්බැව්හි මේ බමුණා අතෙහි වැඩුණෙමි. එක් දහස් පන්සියයක් බැමිණිය අතෙහි වැඩුණෙමි. තුන්දහසක් ඇත්තෙමි යි වදාරා මේ ගාථාව වදාළහ.
“යස්මිං මනො නිවිසති චිත්තං වාපි පසීදති,
අදිට්ඨපුබ්බකෙ පොසෙ කාමං තස්මිම්පි විස්සසෙති”
“යමකු කෙරෙහි සිත පිහිටා ද සිත පහදී ද පෙර නුදුටුවිරූ ඒ පුරුෂයා කෙරෙහි ඒකාන්තයෙන් විශ්වාසය තබන්නේය.”
එහි, “යස්මිං මනො නිවිසති” යම් පුද්ගලයකු දුටුමතින් ම සිත පිහිටයි ද “චිත්තං වාපි පසීදති” යමකු දුටුමතින් සිත පහදී ද මෘදු වේ ද “අදිට්ඨපුබ්බකෙ පොසෙ” සාමාන්‍යයෙන් එම අත්බැව්හි දී පෙර නුදුටු පුද්ගලයා කෙරෙහි, “කාමං තස්මිම්පි විස්සසෙ” පෙර පුරුදු සෙනෙහසින් ම ඒ පුද්ගලයා කෙරෙහි ද විශ්වාසය තබන්නේය. හිතවත් බවට පත්වන්නේය, යන අර්ථයි.
මෙසේ බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා අනුසන්‍ධි ගළපා ජාතකය නිමවූහ. එකල බමුණා සහ බැමිණිය මේ දෙදෙනා ම වූහ. පුත්‍රයා මම ම වීමි.
9. විසවන්ත ජාතකය (69)
“ධිරත්‍ථුතං විසංවන්තං” යන මේ ජාතක දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වසන්නාහු, දම් සෙනෙවි සැරියුත් තෙරණුවන් අරබයා දෙසූහ. සැරියුත් තෙරණුවන් පිටිකැවිලි වළඳන කාලයෙහි මිනිස්සු සංඝයා උදෙසා බොහෝ පිටිකැවිලි ගෙන විහාරයට ගියාහුය. මහසඟන පිළිගත් පසු බොහෝ ඉතිරිවිය. මිනිස්සු, ස්වාමීනි, ඇතුළු ගමට ගිය භික්‍ෂු සංඝයා උදෙසා ද පිළිගන්නැ යි කීවාහුය. එවෙලාවෙහි තෙරණුවන්ගේ ශිෂ්‍ය ළදරු භික්‍ෂුවක් ඇතුළු ගමෙහි වෙයි. ඔහුගේ කොටස ගෙන ඔහු නො පැමිණි නිසා වේලාව ඉක්මෙතැ යි සිතා තෙරණුවන්ට දුන්හ. තෙරණුවෝ ඒ වැළඳූ කල්හි ළදරු භික්‍ෂුව පැමිණියේය. තෙරණුවෝ ඔහුට ඇවැත්නි, අපි ඔබ සඳහා තැබූ කොටස වැළඳුවෙමු යි කීහ. එවිට ළදරු භික්‍ෂුව, ස්වාමීනි, ඉතා මිහිරි ද? කවරකුට මිහිරි දෙය අප්‍රිය වේදැ යි කීය. තෙරණුවන්ට සංවේගය ඇතිවිය. තෙරණුවෝ එතැන් සිට පිටි ආහාර වර්ග නො වළඳමි යි ඉටා ගත්හ. එතැන් සිට තෙරණුවන් විසින් පිටිකැවිලි නො වළඳන වීරීය. උන් වහන්සේ පිටි කැවිලි නො වළඳන බව භික්‍ෂූන් අතර ප්‍රකට විය. ඔවුහු දම් සබාවෙහි ද මේ පිළිබඳ ව කථා කැරෙමින් හුන්හ. බුදු රජහු මහණෙනි, කවර කථාවකින් දැන් හුන්නාහුදැ යි විචාරා, මෙනම් කථාවකින්යැ යි කී කල්හි, මහණෙනි, සැරියුත්හු එක්වරක් හළදෙය ජීවිතය අත්හළ ද නැවත නො ගනිතැ යි වදාරා ඉකුත් කථාව ගෙන හැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු විෂ වෛද්‍ය කුලයක ඉපිද වෙදකමින් දිවි ගෙවූහ. එකල සර්පයෙක් පිටිසර වැසියකුට දෂ්ට කළේය. ඔහුගේ ඤාතීහු ඔහු නො පමා ව වෛද්‍යවරයා වෙත ගෙන ගියහ. වෛද්‍යවරයා කිම, බෙහෙත් උපයෝගී කොට විෂ හරීම් ද, නැතිනම් සපාකෑ සර්පයා මෙහි ගෙන්වා ඌ ලවා විෂ උරා ඉවත් කැරවන්නේදැ යි සිතන්නේ, ඔහු සර්පයා ගෙන්වා තා විසින් මොහු දෂ්ට කරන ලද්දේදැ යි ඇසීය. එසේය. මා විසිනි. තෝ ඩැහැගත් තැනින් මුව තබා විෂ උරව. එවිට සර්පයා මවිසින් බැහැර කළ විෂ නැවත නො ඉරූ විය. නැවත වෛද්‍යවරයා විසින් ගෙන්වන ලදුව, දර ගිනි දල්වා මෙසේ කීය. ඉදින්, තෝ විෂ බැහැර නො කරන්නේ නම් ගින්නට පිවිසෙව. සර්පයා ද මම හළ විෂ නො උරමි. තමා එක් වරක් හළ විෂ පසු ව වමනය නො කරමි යි කියා මේ ගාථාව කීය.