7. උච්ඡඞ්ග ජාතකය (67)
“උච්ඡඞ්ගෙ දෙව, මෙ පුත්තොති” යන මේ ජාතක දේශනය බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එක්තරා දනව් වැසි ස්ත්‍රියක අරබයා දේශනා කළහ. කොසොල් වැසි තිදෙනෙක් එක්කලෙක වනයක් අසල සී සාත්. එකල කැලෑවෙහි සිටි සොරු මිනිසුන්ගේ වස්තුව පැහැරගෙන පළා ගියහ. ඔවුහු සොරුන් සොයා නො දැක සී සාන ස්ථානයට පැමිණ තොපි වස්තු පැහැරගෙන දැන් ගොවියෝ මෙන් වන්නහුදැ යි මේ සොරුයැ යි බැඳගෙන අවුත් කොසොල් රජුට දුන්හ. ඉක්බිති, ස්ත්‍රියක අවුත් මට හඳිනා වස්ත්‍රයක් දෙනු මැනව. මට හඳිනා වස්ත්‍රයක් දෙනු මැනව යි මහත් සේ හඬමින් නැවත නැවත රජ මැදුර අබියෙස හැසිරෙයි. රජ ඇගේ හැඬීම අසා මැයට හඳනා වස්ත්‍රයක් දෙව යි කීය. ඇයට වස්ත්‍රයක් ගෙන ආහ. ඈ ඒ දැක මම මෙවැනි වස්ත්‍රයක් නො ඉල්ලමි. මම ස්වාමි වස්ත්‍රය ඉල්ලමි යි කීවාය. මිනිස්සු මැය ඉල්ලන්නී මේ වස්ත්‍රය නො වේ. රජුට සැලකළහ. ඉක්බිති, රජ ඇය ගෙන්වා තී ස්වාමි වස්ත්‍රයක් ඉල්ලන්නීදැ යි ඇසීය. එසේය, දේවයිනි, හිමියා ගැහැනියගේ වස්ත්‍රය වේ. හිමියා නැති කල්හි දහසක් වටිනා වස්ත්‍රයක් ඇන්දත් ස්ත්‍රිය නිරුවත් වන්නීය. මෙකරුණ සනාථ කරනු සඳහා,
“නග්ගා නදී අනොදිකා නග්ගං රට්ඨං අරාජිකං,
ඉත්‍ථීපි විධවා නග්ගා යස්සාපි දසභාතරොති”
දිය නැති ගඟ හෙළුය. රජකු නැති රට හෙළුය. යම් ස්ත්‍රියකට සොහොයුරු දශ දෙනකු සිටිය ද හෙළු වූවාය.
මේ ගාථාව ගෙනහැර දැක්වීය.
කොසොල් රජ ඇයට පැහැදී මේ තිදෙනා තිගේ කවුරු ද? දේවයිනි, එකකු මගේ සැමියාය. එකකු සොහොයුරුය. අනිකා මගේ පුත්‍රයාය. මම තිට පැහැදුනෙමි. මේ තිදෙනාගෙන් එකකු දෙමි. තී කවරකු කැමැත්තීදැ යි ඇසීය. දේවයිනි, මම ජීවත් වුවහොත් තවත් සැමියකු ලැබිය හැක. පුතකු ද ලැබිය හැක. එහෙත් මව්පියන් මළ බැවින් සොහොයුරකු ලැබිය නො හැකිය. එම නිසා මට සොහොයුරා දෙනු මැනවැ යි කීවාය. රජ සතුටු ව තිදෙනා ම නිදහස් කළෙය්. මෙසේ එක කතක් නිසා තිදෙනෙක් දුකින් මිදුණාහ. මෙකරුණ භික්‍ෂූන් අතර ප්‍රකට විය. දිනක් දම් සභාවෙහි රැස්වූ භික්‍ෂූහු, ඇවැත්නි, එක් කාන්තාවක නිසා තිදෙනෙක් දුකින් මිදුණාහුයැ යි ඇගේ ගුණ කියමින් හුන්නාහුය. බුදුහු වැඩ මහණෙනි, දැන් කිනම් කථාවකින් සිටියාහුදැ යි විචාරා, මෙනම් කථාවක්යැ යි කී කල්හි, මහණෙනි, මේ කත මේ තිදෙනා දුකින් මිදුවා දැන් පමණක් නො වේ. පෙර ද දුකින් මිදුවායැ යී වදාරා ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කැරවන කල්හි තිදෙනෙක් වන අබියෙස සී සාත්, සියල්ල පෙර මෙනි. එදා රජු තිදෙනාගෙන් කවරකු කැමැතිදැ යි ඇසූ කල්හි ඒ ස්ත්‍රිය දේවයිනි, තිදෙනා ම දිය හැකිදැ යි කී කල්හි දේවයිනි, තිදෙනා ම දිය නො හැකිදැ යි ඇසුවාය. එසේය, නො හැක්කෙමි. ඉදින්, තිදෙනා ම දෙන්ට නො හැකි නම් මගේ සොහොයුරා දෙනු මැනවි. නැත. පුත්‍රයා හෝ හිමියා ගනුව. සොහොයුරාගෙන් ඇති ඵලය කුමක්දැ යි කියන ලද්දේ, දේවයිනි, මේ දෙදෙනා පහසුවෙන් ලබාගත හැකිය. සොහොයුරා එසේ ලබාගත නො හැකියැ යි කියා මේ ගාථාව කීවාය.
“උච්ඡඞ්ගෙ දෙව මෙ පුත්තො පථෙ ධාවන්තියා පති,
තඤ්ච දොසං න පස්සාමි යතො සොදරියමානයෙති”
“දේවයිනි, පුත්‍රයා මගේ ඇකයෙහිය. මහමඟ යන මට හිමියන් සුලභය. එහෙත් සහෝදරයකු ගෙනෙන ස්ථානය වූ මව් කුස නො දකිමි.”
එහි “උච්ඡඞ්ගෙ දෙව මෙ පුත්තො” දේවයිනි, මගේ පුත්‍රයා ඇකයෙහි මය. යම් සේ වනයට ගොස් පළා නෙලා ඉණෙහි ලාගන්නා මට ඉණට පළා සැළවේය. එමෙන් ස්ත්‍රියට දරුවන් ද ඉණට පළා මෙන් සුලභය. එම නිසා දේවයිනි, මගේ පුත්‍රයා ඉණෙහි යි කීවාය. “පථෙ ධාවන්නියා පති” මඟට බැස හුදකලාව ගමන් කරන ස්ත්‍රියට ද හිමියෝ සුලබය. දුටු දුටු පුරුෂයා හිමියා වෙයි. ඒ නිසා මඟ යනවිට පුරුෂයන් සුලභයැ යි කියන ලදි. “තඤ්ච දොසං න පස්සාමි යතො සොදරියමානයෙති” යම් හෙයකින් මගේ මව්පියන් නැද්ද, එම නිසා ඒ මව් කුස නම් වූ අන් තැනක් නො දකිමි. යම් හෙයකින් මා හා එක කුසෙහි උපන් බැවින් සමාන කුස ඇති සොහොයුරා ගෙන්වා ගනිමි. එම නිසා මට සොහොයුරාව දෙනු මැනවි.